වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ඉතින් සමුගනිමු බැට්මෑන්

ඉතින් සමුගනිමු බැට්මෑන්
 

ද ඩාර්ක් නයිට් රයිසස් ඔබට හුරු පුරුදු කොමික් චිත්‍රකතා සුපිරි වීරයන්ගේ චිත්‍රපටවලින් බොහෝ දුරට ඈත්වුණු චිත්‍රපටයක්.

ඒ වෙනුවට එය ඉදිරිපත් කරන තේමාව නුදුරු අනාගතයක අපට දැකිය හැකි අද දින අප පත්තර ප්‍රවෘත්තිවල දකින හෙඩිම්වලට ඉතා සමාන ඉතා අඳුරු කාලපරිච්ඡේදයක් මවා පෙන්වනවා. නාගරික ත්‍රස්තවාදය, පංති ගැටුම්වලින් ගොනම් නගරයේ යටිතල පහසුකම් සියල්ල බිඳවැටී සමාජ අරාජිකත්වය රජයනවා.

බෲස් වේන් (බැට්මෑන්) අවුරුදු ගණනක් තම වේන් මන්දිරයෙන් වහන් වී ජීවත්වීම අතහැර නැවතත් කරළියට පැමිණෙන්නේ තමන් තරම්ම බලසම්පන්න දුෂ්ටයෙක්ට මුහුණ දීමටයි. චිත්‍රපටය සෙමෙන් සෙමෙන් දිග හැරෙන්නේ ඉතාමත් අඳුරු කතා පුවතක් රැගෙන අලුත් අලුත් චරිත චිත්‍රපටයට හඳුන්වා දෙමින්. එහෙත් එය කෙමෙන් කෙමෙන් ගොඩනැගී උද්වේගකරී කූටප්‍රාප්තියකට එළඹෙනවා.

ප්‍රතිභාපූර්ණ අධ්‍යක්‍ෂක ක්‍රිස්ටෝපර් නෝලන් ගේ බැට්මෑන් ත්‍රිත්වයේ අවසාන ප්‍රතිඵලය වන්නේ විස්මයට කාරණා දෙකක් ඉතිරි කරමින් නිමවන සුපිරි වීර චිත්‍රපටයක්. පුදුමයට කාරණා දෙක නම්, එකක් මෙම චිත්‍රපටය ඇවෙන්ජර්ස් ස්පයිඩර්මෑන් වගේ විනෝදාත්මක නම් නැහැ. අනෙක නම් මෙහි බැට්මෑන් වැඩිපුර පෙනී නොසිටීමයි. මීට පෙර චිත්‍රපටවල තිබුණු ක්‍රියාදාම දර්ශන පෙළවල්, හීත් ලෙජර් ගේ ජෝකර් වැනි සිත් සසල කරවන රඟපෑම් මෙහි නැති නමුත් මෙය ඉතා බරපතල නාටකීය චිත්‍රපටයක්.

හරියට සයිලන්ස් ඔෆ් ද ලෑම්බ්ස් චිත්‍රපටයේ හැනිබල් ලෙක්ටර් මෙන් මුඛවාඩමක් ලා ගත් මෙහි දුෂ්ටයා නමින් බේන්, අපි චිත්‍රපටය පුරාවටම බෲස් වේන් දකින නමුත් බැට්මෑන් පෙනී සිටින දර්ශන ගණන නම් සීමිතයි. එහෙත් සියලු දේ සුණු විසුණු කරමින් චිත්‍රපටයේ කූටප්ප්‍රාප්තියේ නම් බැට්මෑන් හොඳහැටි තම ශිල්ප දක්වනවා.

ටොම් හාඩ් විසින් නිරූපණය කරනු ලබන බේන් (දුෂ්ටයා) මාරාන්තික වෘත්තීය මල්ලවපොර ශූරයෙක්.

නමුත් ඔහුව පොළඹවන කාරණය කුමක්ද යන්න එතරම් පැහැදිලි නැහැ. ඔහු එක් වරක් ගොනම් නගරයේ අපරාධකරුවන් දහස් ගණනක් හිරගෙදරින් මුදා හරිනවා.

එම අපරාධකරුවන් නගර පොලිස් බළකාය සමඟ වීදිවල සටන් වදින අතරේ බේන් උත්සාහ කරන්නේ පාලක පංතිය පන්නා දැමීමටයි. නමුත් ඔහුගේ අනෙක් සැලසුම වන්නේ මුළු නගරයම න්‍යෂ්ටික සමූල ඝාතනයකින් විනාස කිරීමයි. මේ සැලසුම් දෙක අතර අන්තර් සම්බන්ධතාව නම් මටත් අපහැදිලියි.

බේන් විසින් කරන තවත් විනාශකාරී ක්‍රියා දෙකක් වන්නේ නගරයේ . කොටස් වෙළඳ පොළ විනාශ කිරීමත්, අමෙරිකානු පාපන්දු ක්‍රීඩාංගනයක් පුපුරුවා හැරීමත්ය. මෙයින් අධ්‍යක්‍ෂක නෝලන් දෙන පණිවුඩය කුමක් ද?

අද බටහිර ලෝකයේ දේවත්වයෙන් සලකන මුදල් සහ වෘත්තීය ක්‍රීඩා නැති කිරීමෙන් සමාජ අසමතුලිතතාවක් ඇතිකළ හැකි බව පෙන්වීමයි. අවසානයේ බැට්මෑන් සහ බේන් අතර ද්වන්ධ සටනක් ගොනම් වීදියක් දිගේ දිග හැරෙනවා. නමුත් එය නම් භාවාවන්තිය සටනක් හැටියටයි මා දකින්නේ.

මන්ද බේන් එක පැත්තකින් නගරයේ විසාල පාලම් පුපුරවන අතරේ බැට්මෑන් සමඟ අතින් පයින් සටන් කිරීම කෙතරම් උචිත දැයි චිත්‍රපටය නරඹන අතර මට සිතුන නිසාය.

බැට්මෑන් චිත්‍රපට මාලාවේ දුෂ්ටයන් පෙළ ගැස්වූ විට බේන්ට හිමිවන්නේ ඉතාමත් ජනකාන්ත නොවන ස්ථානයක්. නමුත් චිත්‍රපට ධාවන කාලයෙන් නම් බැට්මෑන්

හා සමානම කොටසක් හිමි කරගන්නට ඔහු සමත් වී තිබෙනවා. මෙම චිත්‍රපටයට අලුතෙන් හඳුන්වා දෙන වික්‍රමාන්විත තරුණ පොලිස් නිලධාරියෙක් වන ජෝශප් ගෝඩන් ලෙවිට්, බැට්මෑන් ගේ හිතෛෂී බොටලේරුවා ඇල්ෆ‍්‍රඩ්, පොලිස් කොමසාරිස් ගෝඩන් සහ ලූෂස් ෆොක්ස් නම් විද්‍යාඥයාට ද සැලකිය යුතු තිර කාලයක් ලබා දීමට අධ්‍යක්‍ෂකවරයා සමත් වී තිබෙනවා.

ඊට අමතරව බැට්මෑන් ගේ සිත් ගැනීමට නැතිනම් ආදර සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමට විභවයක් ඇති කාන්තා චරිත දෙකක් ද මෙහි සිටිනවා. ගුප්ත කැට්වුමන් (ඈන් හැතවේ) ඉන් කෙනකු වන අතර අනෙක් තැනැත්තිය මිරැන්ඩා ටේට් (මැරියන් කොට්යාඩ්) නම් කෝටිපතිනියක් වෙනවා. කැට්වුමන් නොබඳි හෙරක් වන අතර මිරැන්ඩා හොඳ දේ පමණක් කරන පරිසර වේදිනියක්.

ද ඩාර්ක් නයිට් රයිසස් අඳුරු බර චිත්‍රපටයක්. එය සුපිරිවීර චිත්‍රපටයකට දරා ගත හැකි බර පරීක්‍ෂණයට ලක් කරනවා. අධ්‍යක්‍ෂ නෝලන් සිවිල් අරාජිකත්වය සහ සමස්ත වැනසීම සංයෝජනය කරමින් මේ දුර්ලභ චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා.

ඔහුට මීටත් වඩා මේ ත්‍රිත්වයට සාධරණයක් කළ හැකිද? ඔහුට මීටත් වඩා තමා තුළ ඇති නිර්මාණශීලිත්වය උද්දීපනය කර ගැනීමට හැකියාවක් නැතිද? ද ඩාර්ක් නයිට් තරම් පරිපූර්ණ නොවූවත් මෙම චිත්‍රපටය බැට්මෑන් ත්‍රිත්වයට ගෞරවනීය අවසානයක්.