වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




හැදුව දවස වැඩක් නැහැ පෙන්නුවේ ගිය අවුරුද්දේ

හැදුව දවස වැඩක් නැහැ පෙන්නුවේ ගිය අවුරුද්දේ

ධීවරී හොඳම චිත්‍රපටය වූයේ මෙහෙමයි බෙනඩික්ට් ජෝශප් පියතුමන් පෙන්වා දෙයි

සම්මාන උළෙලක් යනු සියල්ලන් සතුටු කරන්නක් නොවේ. සම්මාන ලද්දෝ ජූරි සභාව පසසන අතර, නොලද්දෝ එයට බැණ වදිති. සම්මාන ලද්දන් සිතන්නේ මේ තරම් සර්ව සාධාරණ උළෙලක් නැත යනුවෙනි.

නොලද්දෝ ජූරි සභාවේ වටිනාකම සොයා බලති. මෙවර සිග්නිස් උළෙල අරබයා ද එම කරුණ පොදු වන්නකි. ඇතැම්හු නාම යෝජනාවකින් පමණක් තෘප්තිමක් වෙති. සම්මාන උළෙලෙන් අනතුරුව සිග්නිස් සංවිධානය කළ ජාතික කතෝලික සිනමා පර්ෂදයේ අධ්‍යක්ෂ ගරු බෙනඩික්ට් ජෝශප් පියතුමන් සමඟ කළ විශේෂ සංවාදයකි මේ.

තිස් හය වැනි සිග්නීස් උත්තමාචාර උළෙලෙහි තීන්දු තීරණ ගැන සමහරු පැහැදීමකින් කතා කරන බවක් පෙනෙන්නේ නැහැ?

වෙන්න පුළුවන්. අපිට හැමෝමව සතුටු කරන්න බැහැ.

අපක්ෂපාතී විනිශ්චය මණ්ඩලයකින් තමයි අපි මේ හැම තීරණයක්ම ගත්තේ. ඒවාට කාටවත් ඇඟිල්ල දිගු කරන්න බැරි තරම් සෘජුයි. මට ඕනෑම කෙනකුට උළෙලින් අසාධාරණයක් වූයේ නැහැ කියලා පවසන්න පුළුවන්.

ධීවරී චිත්‍රපටය වසරේ නිර්මාණශීලීම චිත්‍රපටය වූයේ කුමන පදනමින්ද?

ධීවරී තැනුවේ කොයි කාලෙද කියන එක අපිට අදාළ නැහැ. හැබැයි ඒක තිරගත වුණේ ගිය අවුරුද්දේ. එබැවින් ධීවරී අපේ සම්මාන උළෙලට වලංගුයි.

එම චිත්‍රපටය හුඟ දෙනෙකු බලන්න නැතිව ඇති. ප්‍රචාරයත් අඩුවෙන් ලැබෙන්නත් ඇති. නමුත් අනෙක් ඒවා සසඳද්දී වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබී තිබුණේ ධීවරීට. මේක එක් කෙනෙක් දෙන්නෙකුගේ නෙවෙයි සමස්ථ විනිශ්ච මණ්ඩලයේම තිරණයක්.

ඒ කියන්නේ ධීවරීට වඩා උසස් චිත්‍රපටයක් තිබුණේ නැහැ?

ධීවරීට වඩා රසඥතාවය වැඩි විඳිය හැකි, හොඳට ආදායම් හොයපු චිත්‍රපට තිබුණා. නමුත් ඒවා යම් යම් තැන්වලදී ධීවරීට වඩා අඩුපාඩු පෙන්නුම් කළා.

සමහරු කියන්නේ මෙය එක් පිරිසක් පමණක් තෘප්තිමත් කරන්න කළ උළෙලක් කියලා?

ඔය කියන්නේ ධීවරී ගැන සහ වසරේ නිර්මාණශීලී නාට්‍ය වුණු සඳගිරි පව්ව ගැන වෙන්න ඇති. නාට්‍ය ගැන මං පසුව කියන්නම්. ධීවරී චිත්‍රපටය තනද්දී සිටි අයගෙන් බාගෙට භාගයක් අද ජීවතුන් අතර නැහැ.

නිර්මාණශීලී කැමරාකරණය ලාල් වික්‍රමආරච්චි, නිර්මාණශීලී රංග කුසලතා රජත සම්මානය ජෝ අබේවික්‍රම, සහය නිළිය ට්‍්‍රලීෂියා ඊට උදාහරණ. සම්මාන දීලා මේ අයව සතුටු කරන්නේ කොහොමද ජීවතුන් අතර නැති කොට.

ධීවරී අධ්‍යක්ෂ සාලින්ද පෙරේරා අද රටෙත් නැහැ. චිත්‍රපටයක් කරලා ණය වෙලා ඔහු නිර්මාණකරණයෙන් ද ඈත් වෙලා.

මේ කරුණු කාරණා එක්ක බලන කොට අපේ තීරණයන් කාවවත් සතුටු කරන්න ගත්තු ඒවා නෙවෙයි කියලා හිතෙනවා නේද .

නිර්මාණශීලී ටෙලි නාට්‍ය සහ අධ්‍යක්ෂ ඇතුළු සම්මාන එකොළහක් සඳගිරි පව්ව දිනා ගන්නවා. එය විකාශය වූයේ ස්වර්ණවාහිනියේ. මෙවර සිග්නීස් උළෙලේ ද නිල විකාශන මාධ්‍ය වූයේ ස්වර්ණවාහිනියයි. ඒ හින්ද සඳගිරි පව්වට වැඩි තැනක් දුන්නා යැයි පැවසෙනවා?

ස්වර්ණවාහිනියට අපි කතා කරද්දී සමස්ථ ප්‍රතිඵල ටික තෝරලා අවසන්. අපේ උළෙලේ විකාශන අයිතිය බාර දෙන්න හිටියේ වෙනත් නාලිකාවකට. ඔවුන් බැහැ කිව්ව නිසයි අපි ස්වර්ණවාහිනියට ආරාධනා කෙරුවේ. එතකොටත් අපි උළෙලෙහි සම්මානවලට හේතු පාඨත් ලියලා ඉවරයි.

තිස් පස් වැනි සිග්නීස් සම්මාන උළෙලේ
ජූරි සභිකයින්:

සිනමා:
ගරු බෙනඩික්ට් ජෝශප් පියතුමා (සභාපති)
කලා කීර්ති එඩ්වින් ආරියදාස
බුද්ධදාස ගලප්පත්ති
මහාචාර්ය සමන්ත හේරත්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
අතුල සමරකෝන්
විමලනාත් වීරරත්න
අරුණි මුතුමාලි (ලේකම්)
ටෙලි නාට්‍ය:
ගරු බෙනඩික්ට් ජෝශප්
පියතුමා (සභාපති)
ආචාර්ය උදිත ගයාශාන් ගුණසේකර
සුමින්ද වීරසිංහ
කථිකාචාර්ය චන්දිමා නිශ්ශංක
ආචාර්ය ටියුඩර් වීරසිංහ
එම්. ඩී. මහින්දපාල
අජිත් අලහකෝන්

නිර්මාණශීලී රංග කුසලතා හි දෙවැනි තැන ජෝ අබේවික්‍රමයන් ගනිද්දී එහි පළමුවැන්නා වන්නේ බිමල් ජයකොඩියි. ජෝට වඩා බිමල් උසස් වූයේ කොතැනදිද?

ඇත්තටම කිව්වොත් ජෝ අබේවික්‍රමයන් කියන්නේ මෙතෙක් බිහි වූ අගග්‍රණ්‍යම රංගනවේදියෙක්. එයට වාදයක් නැහැ. අපි මෙතෙන්දි ජෝ මහත්තයාවයි බිමල්වයි නෙවෙයි සංසන්ධනය කළේ. ඔවුන් නිරූපණය කළ චරිත ද්විත්වයයි සංසන්ධනය කළේ. එහිදී බිමල්ගේ භාව ප්‍රකාශනය ඉතාම ගුණදායි මට්ටමක තිබුණා. එම නිසයි බිමල් පළමුතැනට පත් වුණේ.

සිග්නීස් උත්තමාචාර උළෙලෙහි ජනප්‍රියම නළුවා. නිළිය තෝරන්නේ නැත්තේ ඇයි?

ඒක අපේ සම්ප්‍රදායක්. සිග්නීස් හි මුල් තැන දෙන්නේ ජනප්‍රියත්වයට නොව නිර්මාණශීලීත්වයටයි.

ටෙලි සිනමා ක්ෂේත්‍රයන් හී සහය අධ්‍යක්ෂ සහ නිෂ්පාදන කළමනාකරු යන සම්මානයන් නිෂ්ඵල යැයි කවුරුන් හෝ කිව්වොත්?

ඒක මං ප්‍රතික්ෂේප කරනවා. මන්ද යත් එම සම්මානයන් මඟින් ඔවුන් දිරි ගැන්වෙනවා. එමෙන්ම එම සම්මාන යුගළ දෙන්න පටන් ගත්තෙත් අපි.

නමුත් ඒවා තෝරන අයුරු විනිවිද නැහැ?

අධ්‍යක්ෂවරුන්ගේ මත විමසුමකින් තමයි අපි ඒ සම්මානයන්ට හිමිකම් කියන අය තෝරන්නේ. අපි විශ්වාස කරනවා ඔවුන් බොරු කියන එකක් නැහැ කියලා. මොකද අධ්‍යක්ෂවරයකු තමන්ගේ නිර්මාණයකට හොඳින් සහය දුන් සහය අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදන කළමනාකරුවකුගේ නම කියනවා විනා කඩාකප්පල්කාරයකුගේ නම දෙන්නේ නැහැනේ.

වසරේ නිර්මාණශීලී සිනමාත්මක ගායනයක් තිබුණේ නැතිද?

සිනමා නිර්මාණයක වඩා හොඳ ගායනයක් සොයා ගන්න අපහසු වුණා.

මෙහි විනිශ්චය මණ්ඩලයේ සිටිනුයේ පෘතග්ජන මිනිසුන්. ඔවුනට වරදින්න පුළුවන් නේද?

ඔව්, නමුත් හැමෝටම එකම විදිහට වරදින්න බැහැනේ. ඒකයි විනිශ්චය මඬුල්ලක් සිටින්නේ.