වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




GOSSIP

ගුරු පූජාවක තරම

නව පරපුරේ දක්‍ෂ සහාය අධ්‍යක්‍ෂවරයකු වන චාමර චින්තක ටෙලි නාට්‍ය කිහිපයකම තමන්ගේ හැකියාව පෙන්නුම් කළා. පසුගිය දවසක රූපවාහිනී වැඩසටහනක් සඳහා දෙමෝදර ආරුක්කු නවයේ පාලම අසල දුම්රිය එන දර්ශනයක් රූගත කෙරුණා. එහි සහාය අධ්‍යක්‍ෂවරයා වූයේ ද චාමරයි.

හරිම අපහසුවෙන් කැමරා ආම්පන්නද රැගෙන ආරුක්කු නවයේ පාලම අසලට චාමර ඇතුළු පිරිස සෙන්දු වුණා. මේ දර්ශනය රූගත කිරීම නැරඹීමට ද විශාල පිරිසක් එක්රොක් වුණා. මෙ පිරිස හැසිරවීමත් චාමරගේ වගකීමේ කොටසක්. හරියටම දුම්රිය ආරුක්කු නවයේ පාලම අසලට පැමිණෙන විට රූගත කිරීම් ඇරඹුණා.

මෙම ස්ථානයට ජනතාවගේ පැමිණීම පාලනය කරමින් සිටි චාමර දුටුවේ දුම්රියේ තමන්ගේ ගුරුවරයා ඉන්න බවයි. එවිටම චාමරට උන්හිටි තැන් අමතක වී..සර්...සර්...කියමින් දුම්රිය පසු පස දිව්වා.

මේ දැකපු කැමරා අධ්‍යක්‍ෂවරයාට තරු පෙණුනා. දර්ශනයේ අවසන් භාගයේ ඇත්තේ ‘චාමර සර්.. සර්.. කිය කියා යන දර්ශනයයි. මේ සිදුවීම නිසා චාමර අධ්‍යක්‍ෂවරයාගෙන් හොඳටම බැනුම් ඇහැව්වලු. දර්ශනය අවසානයේ චාමර රේල් පීල්ල උඩ හිසට අත තියාගෙන ඉන්න කොටස නම් හොඳට රූගත වෙලාලු.

ප්‍රේමදාස විතානගේ ට ත්‍රීවිල් ජරමරයක්

සැන්ඩෝ හැරිස් සමඟ ‘අයුක්තියට හිස නමන්නේ නැහැ’ ගීතය ගයා, රඟන ප්‍රේමදාස විතානගේ අපේ රටේ පැරැණි රංගන ශිල්පියෙක්.

මේ ළඟදී දවසක නෙළුම් පොකුණ රඟහලේ ප්‍රසංගයක් සඳහා ඔහුට පෙර පුහුණුවීම් තිබුණා.

ප්‍රේමදාස සාමාන්‍යයෙන් ගමන් යන්නේ තමන්ගෙම ත්‍රිරෝද රථයෙන්. ඔහු නෙළුම් පොකුණට අදාළ දිනයේ පැමිණියෙත් තමන්ගේම ත්‍රිරෝද රියෙන්. ඔහු ගේට්ටුව අසලට ත්‍රිරෝද රථයෙන් එනවිටම එහි ආරක්‍ෂක නිලධාරියා එය නවත්වන්න නියෝග කළා.

කොහෙද මේ කඩාගෙන බිඳගෙන යන්නේ...?

රිහසල්වලට.

කෝ කවුරුවත් ඇතුළේ නැහැනේ...

මම තමයි... යන්නේ...?

ඒ වුනාට කෝ මේක ඇතුළේ කවුරුවත් නැහැනේ...? මේ විදියට කොච්චර ආරක්‍ෂක නිලධරියාට පැහැදිලි කළත් ප්‍රේමදාසට නෙළුම් පොකුණට යන්න දෙන පාටක් නැහැ. මේ වෙලාවේ එතනට පැමිණි වෙනත් ආරක්‍ෂක නිලධාරියෙක් ප්‍රේමදාසව හඳුනාගෙන ඇතුළට යන්නට අවසර දෙනතුරු ප්‍රේමදාසට ත්‍රිවිල් එකත් සමඟ ගේට්ටුව ළඟ රස්තියාදු වෙන්න වුණා.

ගිවන්තට, අර්ථසාද් පැටලිලා

සිංහල සිනමාවේ දෘශ්‍ය ප්‍රයෝග කිරීමෙහිලා අති විශේෂ දස්කමක් දැක් වූ කලා ශිල්පී ගිවන්ත අර්ථසාද්ට පසුගිය දිනෙක දිගට හරහට දුරකථන ඇමතුම් ආවා ඔහුගේ උපන් දිනයට සුබ පැතීමට.

නමුත් ගිවන්ත පැවසුවේ ‘මගේ උපන් දිනේ අද නෙමේනේ’ යනුවෙනි. ඒ වුණාට ඔයාගේ උපන් දිනේ ගැන ‘සරසවිය’ පත්තරේ තියෙනවනේ?

‘වෙන්න බෑනේ’ යනුවෙන් ගිවන්ත කීවත්, දුරකථන ඇමතුම් ලබා දන උදවිය දහ අතේ දිවුරා කීවේ ගිවන්තගේ උපන් දිනේ අදයි යනුවෙනි. ගිවන්ත හනිකට සරසවිය පුවත්පත බැලූ විටයි වැටහුණේ මේ උපන් දිනේ තරුණ නව පරපුරේ රංගන ශිල්පී ගිවන්ත අර්ථසාද්ගේ බව.

එම මොහොතේම රංගන ශිල්පී ගිවන්තට දුරකථන ඇමතුමක් ගත් ගිවන්ත අර්ථසාද් සුබ උපන් දිනයක් පුතා. ඔයාගේ උපන් දිනේට මටනේ සුබ පතන්නේ යනුවෙන් පැවසුවා.

දවස පුරාම කලා ශිල්පී ගිවන්තට පැමිණි දුරකථන ඇමතුම් නිසා ඔහු කාර්යය බහුල වුණා කියලත් ආරංචියි.

මහපාරේ වාහනයේ රොඩ්නි නිදි

රොඩ්නි වර්ණකුල අපට සිටින දක්‍ෂ රංගන ශිල්පියෙක් වගේම හිත හොඳ මිනිසෙක්.

දවසක් ඈත පළාතක නාට්‍යයක් අහවර වී එළිවෙන ජාමෙට රොඩ්නි ඇතුළු පිරිස කොළඹට සේන්දු වුණා.

කොළඹට ආව මේ පිරිස තම තමන්ගේ වැඩ කටයුතු වලට පිටත් වුණා. රොඩ්නිත් තමන්ගේ වෑන් රථය පදවාගෙන බේස්ලයින් පාරේ පැමිණියා. උදේම නිසා මාර්ගයේ තද බදයත් වැඩියි. දෙමටගොඩ ගුවන් පාලම අසල ඇති ‘කලර්ලයිට්’ එක ළඟ වාහන තදබදය වැඩියි.

රොඩ්නි සාමාන්‍යයෙන් වාහන තදබදය ඇති විට ‘තමන්ගේ වාහනය’ නියුට්‍රල් එකට දමා, හෑන්ඩ් බ්‍රේක් එක ගසාගෙන නිදහසේ සිටින කෙනෙක්.

වාහන තදබදය වැඩි නිසාම එදා රොඩ්නිට නිදිමතත් වැඩි වෙලා. රොඩ්නිට නොදැනීම වාහනය ඇතුළේ නින්ද ගිහින්. වාහන බොහොමයක් රොඩ්නිව පසු කරගෙන ගිය නිසා අසල සිටි හමුදා නිලධාරියෙක් රොඩ්නිගේ වාහනය ළඟට පැමිණ වීදුරුවට තට්ටුවක් දැම්මලු. රොඩ්නි ඇහැරෙන පාටක් නැති නිසා ටිකක් හයියෙන් තට්ටු කළාලු. ඔන්න රොඩ්නිට ඇහැරිලා.

ආ....මේ අපේ රොඩ්නි මහත්තයනේ...

ඔව්.... මේ...මේ...ටිකක් නින්ද ගියා...ඊයෙ රෑ වැඩක් තිබුණා ඒකයි. කියූ රොඩ්නි හිමිහිට වාහනය පදවාගෙන ජා ඇල පැත්තට ගියාලු.