වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ කලබලකාරී ලෝකයට මම කැමති නැහැ

ඒ කලබලකාරී ලෝකයට මම කැමති නැහැ

නදීකා ගුණසේකර සමඟ කතාබහක්

සුරූපි ඇය සිය පළමුවැනි චිත්‍රපටයේ මංගල දර්ශනයේ රූගත කිරීම් සඳහා සූදානම්. නිළියක වන්නට ලැබූ වරමෙන් ඇගේ උවනට ලැබී තිබූ ප්‍රභාව දුටු දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත්.

ඇය සිකුරාදා පාසල අවසන් වීමෙන් පසු සෙනසුරාදා කොළඹට පැමිණෙන්නේ රංගන කටයුතු සඳහා දායක වී යළිත් ඉරිදා සවස යළිත් පාසල් නේවාසිකාගාරය වෙත යාමේ අරමුණෙනි.

දඟකාර කෙළිලොල් පාසල් වියේදීම සිංහල සිනමාවට පා තබන්නට වරම් ලැබූ ඇය නදීකා ගුණසේකර. හැත්තෑව දශකයේ අග භාගයේදී ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ එම්. ඒ. සංඝදාස අධ්‍යක්ෂණය කරන්නට යෙදුන කාංචනා චිත්‍රපටයේ නවක නිළියකගේ චරිතයෙන් රංගන වරම් ලද ඇය සිය ජීවිතයේ විවිධ කඩඉම් පසු කරමින් සිංහල සිනමාව දිග් විජය කළ අපූරුව කා හටත් රහසක් නම් නොවේ. එයට හොඳම උදාහරණය නම් ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහගේ චංචල රේඛා සිනමා සිත්තමේ දං චූටිගේ චරිතයයි.

එදා මෙදාතුර දශක ගණනක් ගත වුණත් දං චූටිගේ චරිතය තවමත් ජීවමානව පවතින්නේ ඒ හේතුවෙනි. බැද්දේගම, යසෝමා, යුගයෙන් යුගයට, රතු අළුයම ඇතුළු චිත්‍රපට රාශියකින් තිස් වසරක පමණ කාලයක් පුරාවට තම රංගන ප්‍රතිභාව පෙන්නුම් කළ ඇය ජාතික චිත්‍රපට සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරියක මෙන්ම වැඩ බලන සාමාන්‍යාධිකාරීවරිය ලෙසත් වගකිවයුතු නිලයන් දරමින් චිත්‍රපට සංස්ථාවේ උන්නතිය වෙනුවෙන් කැප වූවා. එදා දඟකාර යෞවනිය, පෙම්වතියගේ චරිතයට පණ පෙවූ ඇය යළි අපට මුණ ගැසුණේ ආදරණීය මවක් ලෙසිනි. මේ දිනවල තිරගත කෙරෙන වී. සිවදාසන්ගේ ‘දරුවනේ’ චිත්‍රපටය සහ ඉදිරියේදී තිරගත වීමට නියමිත උදයකාන්ත වර්ණසූරියගේ ’සෙනසුරු මාරුව’ චිත්‍රපටයේත් ඇය ආදරණීය මවක ලෙස අප හමුවට පැමිණෙන්නේ පැරැණි මතක අපූරුවට අවධි කරමිනි.

නදීකා අක්කේ එදා ආදරණීය පෙම්වතිය අද මවක් නේද?

ඔව්. කාලයකට පසුව නලින් රාජපක්ෂගේ ‘අඟර දඟර’ චිත්‍රපටයෙන් මවකගේ චරිතයට පණ පොවන්න තීරණය කළා. එදා පෙම්වතියගේ චරිතය අද කාලය සමඟ මවගේ චරිතය බවට පත්වෙලා. මේ වයස එක්ක පෙම්වතිය වෙන්න බැහැනේ. අඟර දඟර චිත්‍රපටයෙන් මව සහ දියණිය අතර ඇති බැඳීම සමඟ සිදුවන සිදුවීම් තමයි පෙළ ගැසුණේ. දරුවනේ චිත්‍රපටයත් ආදර්ශමත්. සෙනසුරු මාරුව චිත්‍රපටයෙත් මම ආදරණීය මවක්. තරුණ කාලයේදී රඟපෑම වෘත්තීය වෙලා තිබුණේ.

දැන් එයින් මිදිලා බිරිඳක් මවක් ලෙස වැඩිපුර පවුල සමඟ තමයි කාලය ගත කරන්නේ. ඒ අතරතුරේදී හොඳ චරිත ලැබුණාම කාල වේලාව බලලා භාර ගන්නවා. මේ චිත්‍රපට දෙකත් ගත්තේ ඒ අනුව තමයි. මීට අමතරව චංචල රේඛා චිත්‍රපටය නැවත ටෙලි නාට්‍යයක් ලෙස නිර්මාණය කෙරෙද්දී එහි අධ්‍යක්ෂ ඒ සඳහා මට ආරාධනා කරලා කිව්වා දං චූටිගේ වැඩිහිටි කාලය අනුව කෙරෙන නිසා නදීකා ඔයා බෑ කිව්වොත් එය සාර්ථක කරන්න බැරි වෙයි කියලා. මම ඒ සඳහා සාධාරණයක් කරන්න ඕන කියල තමයි ඒ සඳහා සම්බන්ධ වෙන්න තීරණය කළේ. දැන් රංගනයට පූර්ණ කාලය වෙන් කරන්න බැහැ. පුළුවන් විදියට තමයි දායක වෙන්නේ. මගේ ජීවිතයේ කවදත් විශේෂ තැනක් සිනමාවට තිබුණා.

ඒ කාලෙත් චිත්‍රපට තෝරා ගෙන ද රඟපෑවේ?

එහෙම විශේෂ තේරීමක් කළේ නැහැ. ඉබේම තේරිලා තමයි මට චිත්‍රපට ලැබුණේ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි අධ්‍යක්ෂවරුන් යටතේ කලාත්මක නිර්මාණ වගේම ලෙනින් මොරායස් වගේ අධ්‍යක්ෂවරුන් යටතේ වාණිජ චිත්‍රපට සඳහාත් දායක වන්න ලැබීම වාසනාවක්. ඩී. බී. නිහාල්සිංහ, සුමිත්‍රා පීරිස්, වී. සිවදාසන්, සුනිල් සෝම පීරිස් වගේම පරාක්‍රම සිල්වා, නලීන් රාජපක්ෂ, උදයකාන්ත වර්ණසූරිය වැනි අධ්‍යක්ෂවරුන් සමඟත් කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. විවිධ අධ්‍යක්ෂවරුන් සමඟ කටයුතු කරන්න ලැබීම තමයි මා ලද වටිනාම සම්මානය.

ඔබ උපාධිධාරිණියක්. ඔබ සතු වූ දැනුමින් එහාට ප්‍රයෝජනයක් ගත්තේ නැහැ කියලා හිතෙන්නේ නැද්ද?

මගේ දැනුමින් මා කරන දේ සඳහා යහපතක් කරන්න උපකාරයක් වුණා. දැනුමෙන් ඉහළ රැකියාවක් කරනවාට වඩා කරන රැකියාවට සාධාරණයක් ඉටු කිරීමයි වැදගත් වන්නේ කියලා මම හිතනවා. අධ්‍යාපනික සුදුසුකම මනස දියුණු කර ගන්න උපකාරී වනවා. චිත්‍රපට සංස්ථාවේදී කටයුතු කළ කාලයේදී ඒ අත්දැකීම් සඳහා මගේ දැනුම ප්‍රයෝජනවත් වුණා. ඇත්තටම එවැනි අධ්‍යාපන සුදුසුකමක් නොතිබුණා නම් ජාතික චිත්‍රපට සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර හෝ වැඩ බලන සාමාන්‍යාධිකාරී තනතුර ලැබෙන්නේ නැහැ. මේ සියලු කටයුතු ක්‍රමවත්ව කරගෙන යන්න එය ඉවහල් වුණා. වෘත්තීය රංගන ශිල්පිනියක් වීම ගැන මම ආඩම්බර වෙනවා.

ඔබගේ සිනමා දිවිය දෙස ආපසු හැරී බලන විට ඔබ මෙතෙක් පැමිණි දුර ගැන දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද?

ඒ පිළිබඳ ලොකු තෘප්තියක් දැනෙනවා. හරිම සතුටුයි. හැමදාම සිනමාවේ රැඳී ඉන්න ඕන නැහැ. අලුත් අයටත් තැනක් දෙන්න ඕනෑ. අපි වයසත් එක්ක සරිලන දේ තමයි කරන්න ඕනෑ. මෙරට සිනමාවේ බොහෝ අධ්‍යක්ෂවරු මැලි වෙනවා පෙම්වතියගේ චරිතයෙන් බැහැරව නිර්මාණ කරන්න. මැදි වියේ චරිත ගැන කතා කරන සිනමා නිර්මාණ මෙරට බිහි වෙන්නේ නැහැ. ඇත්තටම මම බොහෝ කාලයක් සිනමාවේ රැඳිලා හිටියා. ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම ලැබුණ නිර්මාණ ගැනත් මම තෘප්තිමත්.

ජාතික චිත්‍රපට සංස්ථාවේ වගකිවයුතු නිලයක ඔබ කටයුතු කළ නිලධාරිනියක ලෙස අපේ සිනමා කර්මාන්තයේ වර්තමානය ගැන ඔබේ අදහස?

එවකට සභාපති ධූරය දැරූ ජයන්ත ධර්මදාස මහතා සමඟ සිනමා ශාලා, ඩිජිටල් තාක්ෂණය වැනි සිනමා කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් වැඩ කටයුතු රාශියක් සැලසුම් කළා. ඒ සඳහා සංස්ථාවේ සියලු දෙනාම සහයෝගයෙන් කටයුතු කරන්න ඕනෑ. එම අවස්ථාවලදී සංස්ථාවේ ඉහළ පරිපාලනයට සියලු දෙනාගේම සහාය ලැබුණේ නැහැ. එවැනි බොහෝ අවස්ථාවලදී කර්මාන්තයේ උන්නතියට වඩා ගැටලු සමනය කරන්නට තමයි සිදු වුණේ. චිත්‍රපට සංස්ථාව තියෙන්නේ කර්මාන්තය හා එහි නියැළි ඉන්න පිරිස නිසා බව තේරුම් ගන්නට සමහර නිලධාරීන් මැලි වෙනවා. නමුත් මේ වන විට එය සමඟ සබඳතාව නොමැති නිසා මට අද තත්ත්වය ගැන කියන්නට අමාරුයි.

මීට පෙර ඔබ චිත්‍රපට නිෂ්පාදනයටත් දායක වුණා. යළිත් ඒ සඳහා යොමු වන්නට අදහසක් නැද්ද?

‘අහිංසා’ චිත්‍රපටයට සම නිෂ්පාදනය වගේම මගේ අම්මා තලතා ගුණසේකර සමඟ ‘ඇය ඔබට බාරයි’ නිෂ්පාදනය කළා. අදත් මගේ යාළුවො නම් මේ ගැන කියනවා. චිත්‍රපටයක් නිෂ්පාදනය නෙවෙයි, ප්‍රදර්ශනයයි වැදගත් වෙන්නේ. එදා මම දුටු සිනමාවේ යථාර්ථය හා සුන්දරත්වය අද සමාජය මොන විදියට පිළිගනියි ද කියල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මේ දේවල් වෙනුවෙන් මනස යොදවනවාට වඩා මගේ දියණියගේ වැඩ කටයුතු වෙනුවෙන් කාලය වැය කරන්න ඕනෑ කියලා හිතෙනවා. ඒ නිසා ඒ කලබලකාරී ලෝකයට යන්න මම කැමැති නැහැ.

නදීකා අක්කේ ඔයාගේ පවුලේ අලුත් තොරතුරු කොහොමද?

මගේ දියණිය කොළඹ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේ තුන වසරේ ඉගෙනුම ලබනවා. දුව වෙනුවෙන් තමයි මගේ මුළු කාලයම වැය කරන්නේ. සැමියා සුරේන් හපුආරච්චි. කොහේ ගියත් අපි තුන් දෙනා එකටමයි යන්නේ. ඒ නිසාම වෙනත් දේවල් වෙනුවෙන් වැය කරන්න ලැබෙන කාලය හරිම අඩුයි.

ඉදිරියේදී ඔබ නැවතත් දකින්නට ලැබෙන නිර්මාණ?

ඉදිරියේදී අලුත් නිර්මාණ ලැබුණොත් ඒ සඳහා කාල වේලාව ගැනත් හිතලා බාර ගන්නවා. ලැබෙන චරිතය අනුව එහි යමක් තියෙනවා නම් තමයි ඒ ගැන හිතන්න වෙන්නේ.