වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




එබත් සමඟ ගී ගැයූ ටීෂා දැන් කෝ

ඔබත් සමඟ ගී ගැයූ ටීෂා දැන් කෝ

දම්පාට හැන්දෑවේ

ඔබේ මතකයට තුරුලු වූ

රඛිත වෙළන්ගොඩගෙන් අසමු

සොඳුරු සීතල යාමේ

ඔබට ළං වී රහසේ

උණුසුමෙහි හැංගීලා

පාවෙමුද ආකාසේ

දම්පාට හැන්දෑවේ . . .

ඔබ සිතෙහි මතක පිටු අතර මේ රසාලිප්ත ගීතය තැන්පත්ව ඇතිවග නිසැකය.

කාලාන්තරයක් ඇසුණ නමුදු හදවතෙහි සිහිවටන මණ්ඩපයෙන් කෙදිනකවත් බැහැර නොවන ඒ ගීතයට හඬ මුසු කරන ලද්දේ රඛිත, සචිත් සහ ටීෂාය. වත්මන වනවිට මේ තුන්කට්ටුවෙන් වඩාත් සක්‍රීය අන්දමින් සංගීත කටයුතුවල නියැලෙන්නේ රඛිත පමණිය. ඔහු ගැයූ ‘අඳුරු අහසට රෑ කැටයම්’ නිතර දකින ඇසෙන ගීයක් බවට පත්ව ඇත. ඒ ගැන සහ තව බොහෝ දේ ඔබ වෙත පැවසීමට රඛිත සරසවියට ඇවිත්ය.

රඛිත, දැන් තනිවම වගෙයි ගමන?

ඔව්, මං මියුසික් කරන්න පටන් ගත්තේ සචිත් එක්ක. ටීෂා සම්බන්ධ වුණේ ගීත සඳහා විතරයි. සචිත් එයාගේ ජොබ් එක නිසා කාර්යබහුල වුණා. හැබැයි එයා මියුසික් කරන එක නවත්වලා නැහැ. කෙසේ නමුත් මං පුරුදු පරිදි වැඩ කටයුතු කරගෙන යනවා.

රඛිතගේ සංගීත දිවිය ආරම්භ වන තැන කොතැනද?

පාසල් යන කාලයෙදි, ඒ කියන්නේ 1999 වසරේදියි සංගීතයට යොමුවන්නේ. සචිත් මගේ යාළුවෙක්. ඒ දවස්වල ඉඳලම ඔහුත් එක්ක ‘සිහිනයකි ඔබ’ නමින් ගීතයක් කළා. ඒත් ඒක චැනල් එකකවත් ප්ලේ කෙරුවේ නැහැ. ඊට පස්සේ අපි ගීත ඇල්බම් එකක් කරමු යැයි කතිකා කරගත්තා. 2002 ‘තරුකැට’ ලෙසට එය නිකුත් කෙරුවා. අපේ වාසනාවට එහි ‘කවිකාර හැන්දෑවේ’ ගීය ජනප්‍රිය වුණා. ඒකට විෂුවල් එකකුත් කළා.

අපට හොඳ පන්නරයක් ඒ නිර්මාණ තුළින් ලැබුණා. ඊට පස්සෙ තමයි ‘දම් පාට හැන්දෑව’ ගීතය නිකුත් කළේ. එයින් අප ලැබුවේ අසීමිත ජනප්‍රියත්වයක්. වීඩියෝ එකටත් හොඳ ප්‍රතිචාර තිබුණා. ඇතැම් පිරිස් කියනවා වර්තමාන තරුණ පරපුර හදන ගීතවලට පැවැත්මක් නැහැ කියලා. නමුත් දම්පාට හැන්දෑවේ ගීතය තවමත් ජනප්‍රියයි. වසර පහක් වනවා එය නිකුත් කරලා.

ඔය ගීයේ අයිතිය සම්බන්ධව විවිධ මත ගැටුම් පැවතුණා නේද?

මේකයි සිද්ධ වුණේ, මෙහි සංගීත නිර්මාණය කළේ එරංග ජයවංශ. ඔහු එය වෙනත් ගායකයකුට දීලා තියනවා. ඒ මේ පදමාලාව නෙවෙයි. ඔහු ගැයූ ශෛලියට තෘප්තිමත් වෙලා නැහැ එරංග. පස්සේ එරංග අපට මෙලඩිය දුන්නා. තිසරු පෙරේරා කියලා කෙනෙක් ගීතය අලුතින් ලිව්වා. මම සචිත් සහ ටීෂා ගැයුවා. ඒක ජනප්‍රිය වුණා. එරංගත් සැටිස් වැඩේට. ඊට පස්සේ ඉහත ගායකයා ගීතයේ අයිතිය ඉල්ලුවා. එතකොටත් ඒ ගීතය අපේ වෙලා ඉවරයි.

‘අදුරු අහසට රෑ කැටයම්’ ගීතය ගාවට එන්නයි හදන්නේ මං?

මේක සංවේදී විරහ ගීතයක්. ගීය ලිව්වේ හිරාන් විජේසිංහ. සංගීතය මගේ.

වීඩියෝව හින්දා ගීය තවත් ජනප්‍රිය වුණා කිව්වොත් නිවැරදියි.

වීඩියෝව නිර්මාණය කරද්දී කැමරාව අතුරුදන් වුණා කියන්නේ ඇත්තද?

අපි ලොකේෂන් එකට ඇවිත් සියල්ල සකසා වාහනය යැව්වා වෙනත් වැඩකට. අපට අමතක වුණා කැමරාව ගන්න. ඒක වෑන් රථයෙයි තිබිලා තියෙන්නේ. කොහොම හරි ආයෙත් වෑන් එක එනකම් පැයක් විතර නිකම් ඉන්න වුණා.

ඔබේ වෘත්තීය සංගීතය වෙලා තියෙන වග පේනවා?

ඒක නම් ඇත්ත. මේ වෘත්තිය හරි නිදහස්. මං දැනට රඛිත මියුසික් ප්‍රඩක්ෂන් යනුවෙන් නිෂ්පාදන ආයතනයක් නුගේගොඩ පවත්වාගෙන යනවා. එහි ශබ්ද පරිපාලකවරයා සහ සංගීතඥයා මමයි. ඊට අමතරව ප්‍රසංගවලට සහභාගි වනවා.

පසුගිය කාලේ රියැලිටි වැඩසටහන් මඟින් තරු රැසක් ක්ෂේත්‍රයට දායාද කළා. ඔවුන් නිසා ඔබ වැනි පිරිසට හානියක් වූවා යැයි කිව්වොත්?

අනිත් අය ගැන කියන්න මම දන්නේ නැහැ. මා ගැන කිව්වොත් එදා වගේම අද මං මගේ ගමන එකම මාවතේ යනවා. කුමන කෙනෙක් ආවා හෝ නැතා මට ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මගේ අනන්‍යතාවය මං හදාගෙන ඉවරයි.

පැරැණි ගීත අලුත් අය විසින් ගයා රිඟිං ටෝන්වලට යොදා ගනිමින් මුදල් උපයන මාෆියාවක් ක්‍රියාත්මක වනවා. මේ ගැන රඛිතට කියන්න තියෙන්නේ මොනවාද?

ඒකට මාෆියාවක් කියන්න අමාරුයි නේද? නීත්‍යානුකූලව පැරැණි ගී අරගෙන කිව්වට ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොරකම් කරන එක නම් පවක්. බොහෝ විට නවකයින් පැරැණි ගී කියන්නේ රිඟිංටෝන් කම්පැණිවලින් කතා කළාම.

රඛිතට එවැනි ඇරැයුමක් ලැබුණේ නැද්ද?

මොකද නැත්තේ, මටත් කතා කළා. ඒත් මං ප්‍රිය කරන ගීත නෙවෙයි යළි ගයන්න ආරාධනා කළේ.

නැත්නම් ඔබ ඉල්ලු මුදල් ප්‍රමාණයට එම ආයතනයන් එකඟ නොවූ නිසා ද?

ඔය කතාව රඛිතට වලංගුª නැත. මං පැවසුවේ මට නැවත ගයන්න දුන්ණු පැරැණි ගීත මට අල්ලන්නේ නැහැයි කියන එක. මං ප්‍රිය කරන ගීතයන් නැවත ගයන්න ආසාවෙන් ඉන්නවා. ඒ නීත්‍යානුකූලව අයිතිය ගෙන.

ඔබලාත් සමඟ දම්පාට හැන්දෑවේ ගැයූ ටීෂා කෝ?

එයාට පෞද්ගලික ජීවිතයේ යම් යම් ප්‍රශ්න ආවා. දැන් එයා වෙනත් රටක පදිංචි වෙලා ඉන්නවා කියලයි ආරංචිය.

රඛිත ගැයූ ගොඩක් ගීතවල ‘අහස’, ‘හැන්දෑව’ වැනි වචන විතරමයි තිබෙන්නේ. ඇයි ඒ?

වෙනස් වචන අඩංගු ගීත අපේ ඇල්බම් එකේ තිබුණා. නමුත් ජනප්‍රිය වුණේ ඔය වචන තියෙන ගීතයි. මං හිතන්නේ මිනිස්සුන්ට සමීප වචන ඒවා. අනික ආදර ගීතයක් වුණාම එවැනි වචන නොතිබ්බොතින් රහක් නැහැ.

වාසගමත් එක්ක ඔබේ නම රඛිත වෙළන්ගොඩ. නමුත් භාවිත කරන්නේ රඛිත යන නම පමණයි. ඔබ ඇතුළු නව පරපුරේ වැඩි ප්‍රතිශතයත් එහෙමයි. තමන්ගේ වාසගම නම සමඟ යෙදීම මදිකමක් කියලා හිතනවද?

මම සාමාන්‍යයෙන් මගේ වාසගම පාවිච්චි කරනවා. හැබැයි රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවල මාව හඳුන්වලා දෙන්නේ රඛිත යන නමින් පමණයි. ඒක ලේසි ඇති. මගේ නම අන්වර්ථ නමක් නෙවෙයි කියලත් කියන්න ඕනේ.

මොනවද ඔබේ එන්න තියන අලුත් ගීත?

මල් මල් පොදේ, පුරසාරම්, මගෙ සුරත සහ මතකයට. මේවා මාධ්‍යන්ට නිකුත් කර නැතත් අන්තර් ජාලයට දාලා තියනවා.

මේ රඛිතගේ දුරකතන අංකයයි 0773814284.