වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සුදුයි උසයි මුහුරත් උළෙලදා

සුදුයි උසයි මුහුරත් උළෙලදා

* සුනිල් කොස්තාගේ අධ්‍යක්ෂණයක්

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුනිල් කොස්තා අධ්‍යක්ෂණය කරනු ලබන ‘සුදුයි උසයි’ රූපවාහිනි මාලා නාටකයේ මුහුරත් උළෙල පසුගියදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්විණි.

ධනවත් පවුලක දියණියක් වූ රුවිනිට රජයේ රෝහලකදී පිරිමි දරුවෙකු ලැබෙයි. ඒ දරුවාගේ පියා සුප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වන දේවේන්ද්‍රය. එහෙත් රුවිනි සහ දේවේන්ද්‍ර විරසකව සිටිනි අතර විවාහ වී නොමැත.

පියෙක් නැති දරුවෙකු ලැබෙන්නට සිටින ඇයව ඇගේ පියා නිවසින් එලවා දමයි. අසරණ වූ රුවිනිට නිර්මලා පිහිටට එන්නේ වෙනත් අරමුණකිනි. හොඳ මිලකට දරුවා විදේශිකයෙකුට විකිණීමේ නිර්මලාගේ යෝජනාවට රුවිනි එකඟ වන්නේ ඇගේ අසරණකම නිසාය. එහෙත් දරුවා ලැබීමට ආසන්නයේදී ඇය නිවසින් කාටත් හොරා පැන යයි.

මේ සමඟින් ඇතිවන අගක් මුලක් නැති ඒ ගමනේ කතාව සුදුයි උසයි.

ජගත් චමිල, නිරෝෂන් විජේසිංහ, උදයන්ති කුලතුංග, ජයනි සේනානායක, බුද්ධදාස විතානආරච්චි, ග්‍රේස් තෙන්නකෝන්, චමිලා පීරිස්, අංජුලා රාජපක්ෂ, සෝමවීර ගමගේ, ලියෝනි කොතලාවල, රංජිත් රූබසිංහ, අර්ඩ්ලි වෙදමුණි, උදේනි අල්විස්, ඉෂාන් ගම්මුදලි, මහේන්ද්‍ර වීරරත්න ඇතුළු නළු නිළි පිරිසක් මෙහි චරිත නිරූපණයට එක්වීමට නියමිතය.

මෙහි නිෂ්පාදනය සමීර වන්නිආරච්චි, කැමරා අධ්‍යක්ෂණය බ්‍රයන් රත්නසේකර, වේශ නිරූපණය ප්‍රියන්ත දිසානායක, කලා අධ්‍යක්ෂණය අජන්ත ගිහාන් නිෂාන්ගෙනි. සුදුයි උසයි ටෙලි නාට්‍ය මාලාව ඉනොවැටික්ස් ආයතනය සහ සැක් ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.