වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

සමහර අය රුක්මණී දේවිට ද, සමහර අය මාලිනී ෆොන්සේකාට ද, නිළි රැජන කියා හඳුන්වයි. මෙයින් නියම නිළි රැජන විය යුත්තේ කවුද?

සුරවීර නාකන්දල – ධර්ගා නගරය

රුක්මණිය සිනමාවේ මුල්ම නිළි රැජනයි. ගායිකාවක ලෙස ඇයගේ විශිෂ්ට හඬ මුසු කළත් බොහෝ චිත්‍රපටවල ඇයට රඟපාන්ට ලැබුණේ ඒකාකාරී චරිතයි. ඒවා බොහෝ විට ඉන්දියානු මුහුණුවරක් ගත් චිත්‍රපටයි.

එය ඇයගේ වරදක් නොවෙයි. ඒ කාලේ චිත්‍රපට සාම්ප්‍රදාය එයයි. දෛවයෝගය වැනි ගැඹුරින් කළ යුතු රංගනයක් තිබිය යුතු චිත්‍රපටවල ඇය කළ රංගනය අභිබවා ඇයගේ මධුර ගායනයෙන් එය තීව්‍ර කරන්නට සිනමාකරුවන් වග බලා ගත්තා. මේ නිසා රුක්මණිය නිළි රැජන ලෙස හඳුන්වන්නේ ඉතිහාසයේ ඇයට ලබා දිය යුතු ස්ථානය ලබා දීමටයි.

එහෙත් මාලිනිය එසේ නොවේ. ඇය සාම්ප්‍රදායික සිනමාවේ මෙන්ම වාණිජ සිනමාවේ චිත්‍රපටවලත් විශිෂ්ට රංගනයක යෙදුණා පමණක් නොවෙයි. එයට දේශීය මුහුණුවරක් ද දුන්නා. සිනමා රංගනයේදී ඇය හා සමාන කරන්න තාමත් කිසිවකුත් සමත් වී නැහැ.

එසේම මේ කාලය තුළ ඇයට ලැබුණු රංගන පරාසය සලකන විට එබඳු කාලයක් එබඳු පරාසයක් රඟපාන්නට තවත්කෙනෙක් බිහි වේවිදැයි සිතා ගන්නවත් බැහැ. එබැවින් සිනමා රංගනයේදී මාලිනිය එකී ගෞරව නාමයට සම්පූර්ණයෙන්ම සුදුසු යැයි මා විශ්වාස කරනවා.

සිහින පියාපත් ටෙලි නාට්‍යයේ එන ගීතය ගයන උදේශ් ඉන්දුල දෙරණ ඩ්‍රීම් ස්ටාර් උදේශ් ඉන්දුල ද?

පී. ජී. කමල් පද්මලාල්

කමල්, එහි එන ගීතය ගයන්නේ ප්‍රදීප් අංජන හා මේධා ධනංජනී. උදේශ් ඉන්දුල කෙනෙක් නොවේ. ගීතය රචනා කර තිබෙන්නේ චන්න ජයනාත්. සංගීතය ජෝර්ජ් සේනානායක.

*

ගීතයක, කවියක, නවකතා, කෙටි කතා, රස විඳීමේ ශක්තිය තෝරා බේරා ගැනීමේ හැකියාව වත්මන් තරුණ පරපුරෙන් ගිලිහී ඇත්තේ ඇයි?

සුජාතා ගුණවර්ධන – කඩවත

ඔය වගේ මතයක් තියෙන බව සමහරු කියනවා මට ඇහිලා තියෙනවා. හැබැයි ඔය වගේ මතයකට තියෙන පදනම මොකක් ද කියලා මට තේරෙන්නේ නැහැ. අතීතයෙත් ඔය කියන තරම් රසිකයන් හිටියේ නැහැ කියලා ඔප්පු කරන්නත් කරුණු ඕනෑ තරම් තියෙනවා.

*

සිංහල සිනමාවේ එකම ගීතයක්වත් නොමැති චිත්‍රපට තිබේද? ඒ ගැන යමක් කියන්න.

තිලකරත්න විල්වල – කෑගල්ල

ගම්පෙරළියේ සිට ගීත නොමැති චිත්‍රපට රාශියක් තිබෙනවා. ගීත නැති විතරක් නෙමේ, අහන්න බැරි ගීත තියෙන චිත්‍රපටත් තියෙවනවානේ.

*

කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා කවුද?

හර්ෂනාථ බණ්ඩාර – නිකවැරටිය

නාරායන අයියාර්.

*

එදා කොළඹ කොට්ඨාශයට අයත් සිනමා ශාලා විස්සක් පමණ තිබුණා. නමුත් අද චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ඉතිරිව තිබෙන්නේ සිනමාශාලා නවයයි. මෙය මහා ඛේදවාචකයක්. මේ තියෙන ටිකෙත් ඉරණම කුමක් වේද?

සම්පූර්ණයෙන් නවීකරණයට බැරි දේවල් කාලයට ඉඩ දී වඳ වී යාවි. සිනමා ශාලා නවයක් හැටියට ගණන් බලන්නේ කොහොමද? සරත්, වර්තමානයේ කොළඹ නගරය ඇතුළත සිනමාශාලා 27 ක් තිබෙන බව ඔබ දන්නවාද?

*

සැඩසුලං - සුජාතා යන චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑ ප්‍රේම් ජයන්ත් හා ෆ්ලෝරීඩා ජයලත් දෙපළ දැන් නිහඬ ඇයි?

ඒ. සෝමපාල – ඉඳුරුව

ඒ දෙදෙනාම මිය ගිහින් සෝමේ.

*

විවේක් ඔබ්රෝයි සහ ඓශ්වර්යා රායි එකට රඟපා තිබේද?

ඩී. ටී. අනුර – අවිස්සාවේල්ල

ක්යුං හෝ ගයානා චිත්‍රපටයේ එකට රඟපෑවා.

*

පිරිමියෙක් නිසා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ටී. සෝමසේකරන්ද, කේ. ඒ. ඩබ්. පෙරේරාද?

විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්

එය දෙදෙනාගේම සම අධ්‍යක්ෂණයක්.

*

රන්මුතු දූව චිත්‍රපටයේ එකම පිටපතක්වත් ශ්‍රී ලංකාවේ නැතිවීමට හේතුව කුමක්ද?

ඩබ්. ලෙනාඩ් – දූනගහ

බොහෝමයක් චිත්‍රපට කාලයක් සමඟ විනාශ වී යනවා. රන්මුතු දූව චිත්‍රපටය නිපද වූ සෙරන්ඩිබ් සමාගමවත් එයට දායක වූ කිසිවකුත් දැන් නැහැ. ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක විජය රාමනායකට රන්මුතු දූව අයිති බව ඔහු වරක් සරසවියට පවසා සිටියා. එහෙත් මේ චිත්‍රපටය එංගලන්තයේ ‘ටෙක්නි කලර්’ වෙතින් නැවත ගෙන්වා ගැනීමට වැයවන මුදලින් මෙරටදී අලුත් චිත්‍රපට දෙකක් නිපදවිය හැකියි.

*

වර්තමානයේ බොහෝ දේවල් මිල වැඩි වෙන්න, වැඩි වෙන්න, තත්ත්වයෙන් බාල වුණත් සරසවිය පුවත්පත නම් තත්ත්වයෙන් ඉහළ යනවා නේද?

ලක්ෂ්මන් රණසිංහ – වත්තල

ඔබේ ඇගැයීමට ස්තුතියි.

*

අමර් හින්දි චිත්‍රපටයේ රඟපාන ප්‍රධාන නළු නිළියන් කවුද?

ජේ. නවරත්න – කළඑලිය

දිලිප් කුමාර්, මධුමාලා, නිම්මි.

ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ හා සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා යන මේ දෙදෙනා රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ ඉහළ පුටුවල එදා සිටියා නම් අද සිනමාව කෙබඳු ද?

සරත් රණසිංහ – කපුගොඩ, මාලිඳ

කෙබඳුදැයි හිතාගන්න බැහැ. හේතුව එක නැවක් හසුරුවන්න එක කපිතාන් කෙනෙක් හොඳටම ඇති. කපිතාන්වරු දෙදෙනෙක් හිටියම නැව කොයි දීපංකරේ යයි ද දන්නේ නැහැ.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා රඟපෑ චිත්‍රපටවල ඩී. වී. ඩී පිටපත් මිලදී ගැනීමට වෙළෙඳ පොළේ නැත්තේ ඇයි? ඔහු රඟපෑ නිධානය, ආත්ම පූජා, සැනසුම කොතනද? යන චිත්‍රපටවල පිටපත් තිබේද?

ජයම්පති නවරත්න - මාතලේ

ඉහත දැක් වූ චිත්‍රපට නම් නැහැ. නමුත් පරසතු මල් ඇතුළු චිත්‍රපට රාශියක් නිකුත් වී තිබෙනවා.

ගාන්ධි චිත්‍රපටයේ ගාන්ධිතුමාගේ චරිතය රඟපෑ නළුවාගේ නම කුමක්ද?

මැණිකේ විල්වල – කෑගල්ල

ලෝ ප්‍රකට නළු බෙන් කිංස්ලි.

රන්ජන් රාමනායක සමඟ මාලිනී ෆොන්සේකා රඟපෑ චිත්‍රපට හඳුන්වා දෙන්න.

කමල් පද්මසේන ගාල්ල

‘වීර උදාර’ චිත්‍රපටයේ එකට රඟපෑවා. ඒ හැර ඔවුන් එකට රඟපෑවේ පිටගම්කාරයෝ ටෙලි වෘතාන්තයේ පමණයි .