වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




වීදි නාට්‍ය රංගනය, රංගන ජීවිතයට පාලමක් වුණා

වීදි නාට්‍ය රංගනය, රංගන ජීවිතයට පාලමක් වුණා

ඉෂාන් මෙන්ඩිස්

මේ දිනවල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ රාත්‍රී 9.00 ට විකාශය වන ‘තරු පිරි අහස’ ටෙලි නාට්‍යයෙහි රූ එෆ්. එම් හි නිවේදකයන් අතර ඔහුත් බොහොම ජනප්‍රිය චරිතයක්.

‘ජනිත්’

ජනිත්ගේ චරිතයට පණ පොවන ඉෂාන් මෙන්ඩිස් කියන යෞවනයාට මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර බොහොමයි.

‘බොහොම දෙනෙක් මට මේ දවස්වල කතා කරන්නේ ජනිත් කියලා. ජනිත් කියන්නේ ඒ තරම්ම හොඳ චරිතයක් නම් නෙමෙයි. කෝසලට උදව් කරන්නට ඇවිත් ඕපාදූප සොයන මනීෂාට යටි සිතින් ආදරය කරන අමුතුම චරිතයක්. ප්‍රේක්ෂකයෝ නිතරම මගෙන් අහන දෙයක් වෙන්නේ ඔයා මනීෂාට ආදරය කරනවා නේද කියන කාරණයයි.’ මාතර මාකඳුර ගමේ උපන් ඉෂාන් මෙන්ඩිස් කොළොම්පුරවරයට පැමිණෙන්නේ විශ්වවිද්‍යාල ආධ්‍යාපනය සඳහායි. කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළුවන ඔහු නාට්‍ය කලාවට ආදරය කළත් හදාරන්නට සිදුවන්නේ ජනසන්නිවේදනයයි. එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයේ වීදි නාට්‍යය කණ්ඩායමට බැෙඳන ඉෂාන් එය සිය රංගන දක්ෂතා සඳහා අපූරු පාලමක් කර ගන්නවා.

ඔහුගේ තරුණ සිත නාට්‍ය කලාවේ නතර වනවාත් සමඟ බොහෝ නිර්මාණ කිහිපයක් ඔහුව සොයාගෙන පැමිණෙන්නේ මේ අතරයි. ක්‍රිෂාන්ත රත්නසිරිගේ ‘කිං තුල්ලෝ’ වේදිකා නාට්‍යයෙහි ප්‍රධාන චරිතයට පණ පොවන මේ යෞවනයා ඔලේ සෝඩා දැන්වීමට ද පෙනී සිටියි. ජනතාව අතරට ඔහු පළමුව පා තබන්නේ ‘කෝපි කඩේ’ සුපුන්ගේ චරිතයෙනි. ‘ගැහැනු ළමයි’ හි කීර්තිත්, ‘රුවන් මාළිගා’ හි සෙන්ටර්, ‘ඕලු – 2’ හි තිලකෙගේ චරිතය ඉෂාන්ව ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යයි. 2008 වසරෙහි යෞවන සම්මාන උළෙලේදී දිගු නාට්‍යයක් වූ ‘හෙට දවස වෙනුවෙන්’ ඔහුට කුසලතා සම්මානයක් ලැබෙයි.

‘මේ ලැබුණු සම්මානයෙන් මගේ රංගන ජීවිතය අලුත් කළා. රංගනය පිිළිබඳ හැදෑරීමට තිබෙන කැමැත්ත දියුණු කළා. ප්‍රසන්නජිත් අබේසූරියගේ පහුර වීදි නාට්‍ය කණ්ඩායමට බැඳුණා.

ඉන් ලබාගත් බොහෝ අභ්‍යාසයන් සමඟ ඊට පස්සේ මගේ ‘මෙහෙවර’ වීදි නාට්‍යය කණ්ඩායමක් නිර්මාණය කිරීම කියන පියවර තබන්නට හැකි වුණේ රංග කලාවේදී මා ලැබූ පන්නරයයි. වේදිකාව හා පුංචි තිරයේදී ලැබෙන චරිත සඳහා සාධාරණයක් ඉෂ්ට කරමින් පැමිණි ගමනේ සංධිස්ථානය වෙන්නේ සිනමාවයි. මා එසේ කියන්නේ මා අද වඩාත් ආදරය කරන මාධ්‍යය බවට පත්ව ඇත්තේ සිනමාව නිසයි.’

මේ දිනවල තිරගත වන ඉසුරු වීරසිංහගේ ‘කලර්’ චිත්‍රපටයෙහිදී ඉෂාන් ඔබව හමුවන්නේ කොන්දොස්තරවරයකුගේ චරිතයෙන්. එම චරිතය බොහෝ දුර විහිද නොයන චරිතයක් වුව ද එහි දැක් වූ රංගනයේ ප්‍රතිභාව වෙනුවෙන් ඔහුට හිමිවන්නේ අපූරු අවස්ථාවක්.

‘මේ කොන්දොස්තරවරයාගේ චරිතයේදී කළ රංගනය නිසා මා කෙරෙහි පැහැදුණ ඉසුරු වීරසිංහ කියන අධ්‍යක්ෂවරයා ඔහුගේ ඊළඟ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා මා තෝරා ගන්නවා. ඊළඟට ප්‍රදර්ශනය කිරීමට නියමිත ඔහුගේ ‘මල්’ කියන යෞවනය අළලා රූපගත වුණු මෙම චිත්‍රපටය මගේ රංගන ජීවිතය නව මඟකට යොමු කළා. දුරකථන ඇමැතුමක් වටා ගෙතී ඇති ‘මල්’ චිත්‍රපටය මා ප්‍රධාන චරිතයක් රඟපාන මගේ කුලුඳුල් චිත්‍රපටයයි. රංගන ජීවිතයෙන් දිගුª ගමනක් යන්නට බලාගෙන සිටි මට මේ චරිතය අපූරු කඩඉමක්.

මා පිළිබඳ විශ්වාසය තබා අධ්‍යක්ෂවරයා මට දුන් කාර්යය නිසි අයුරින් කළාය කියන තෘප්තිමත් බව මා සතුයි. ඉදිරි කාලයේදී එය තිරගත වේවි.’

දක්ෂ, කුසලතා සපිරි රංගන ශිල්පියෙක් වීමේ අධිෂ්ඨානය සිතෙහි රඳවා ගත් ඉෂාන් මේ දවස්වල මුතු පිහාටු ටෙලි නාට්‍යය ඔස්සේ වගේම ‘සුදු ගින්දර’ ටෙලි නාට්‍යය ඔස්සේ ද ඔබ හමුවට පැමිණෙයි. ඔහුගේ සොඳුරු පැතුම සැබෑවක් වන්නට අවැසි ඉඩ හසරෙහි සැරිසැරීමට ඉෂාන්ට අවකාශ ලැබේවා යන්න සරසවිය අපගේ ප්‍රාර්ථනයයි.