වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




මතක සැමරුම්

මතක සැමරුම්
 

මහා පුරුෂයන් හා මැදිව

මේ රූප රාමුව ඉතාම සුවිශේෂී එකක්. මෙහි හරි මැදින් සිටින්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නම් නෙවෙයි.

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ කීර්තිමත් චරිතයක්. මෙරට අග්‍රාමාත්‍ය තනතුර හෙබ වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා.

එතුමා ළඟින් සිටින්නේ මීට වසරකට පමණ පෙර අප අතරින් සමුගත් මහා නළු ජෝ අබේවික්‍රම. දකුණු පසින් සිටින්නේ එදා විචාරකයන්ගේ නොයෙක් විවේචනයන්ට හසු වූ අද විශිෂ්ට සිනමාවේදියෙක් ලෙස සැලකෙන ලෙනින් මොරායස් සහ තවත් අග්‍රගණ්‍ය රංගවේදියකු වන ටෝනි රණසිංහ.

මේ අය මේ ඡායාරූපයට පෙනී සිටියේ ලෙනින් මොරායස්ගේ ‘ඔන්න මාමේ කෙල්ල පැනපි’ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරේදි. එදා මේ රූගත කිරීම් සිදු කළේ අද ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය පිහිටා තිබෙන ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ කඳවල වත්තේ පිහිටි නිවසේදී.


මේ සුබ උපන් දිනේ . . .

ඩී. ආර්. නානායක්කාර කියන්නේ ලංකාවේ බිහි වූ විශිෂ්ට නළුවෙක්. සරසවිය සම්මාන උළෙලේ ප්‍රථම වරට හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුණෙත් ඔහු. ඩී. ආර්. ලොව බිහි වූ විශිෂ්ටම නළුවකු බව ඉන්දියානා ජෝන්ස් චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග් පවා ප්‍රකාශ කරලා තිබුණා.

මේ විශිෂ්ට නළුවා විසින් සැමරූ තම එක් උපන් දිනයක්. පාරාමිතා චිත්‍රපටයේ රූගත කිරීමක් අතරතුරදී යෙදී තිබූ එම උපන් දිනය දා ඔහුට දිගාසිරි පතන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි, රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන, කැමරා ශිල්පී වී. වාමදේවන්, ලීනා ද සිල්වා, රවීන්ද්‍ර රන්දෙණිය සහ විජය කුමාරතුංග ඇතුළු පිරිසයි.

අද මේ අය අතරින් ඩී. ආර්. වගේම විජයත් අපි අතර නැහැ. මේ වටිනා ඡායාරූප අපට එව්වේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි.