වර්ෂ 2012 ක්වූ අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




අංජලී පටල් රඟන ඔබ නැතිව ඔබ එක්ක වැඩ අවසන්

ප්‍රසන්න විතානගේගේ නවතම සිනමාපටය

අංජලී පටල් රඟන ඔබ නැතිව ඔබ එක්ක වැඩ අවසන්

ඉන්දීය නිළි අංජලී පටෙල් රඟන ප්‍රසන්න විතානගේ ගේ නවතම සිනමාපටය වූ ඔබ නැතිව ඔබ එක්ක හි සියලු වැඩ කටයුතු මේ වන විට අවසන්ව තිබේ.

අංජල, ඩෙල්ලි ඉන් ඩේ සහ තෙළිඟු චිත්‍රපට ගණනාවක චරිත මැවූ අයකි. ශ්‍යාමි ප්‍රනාන්දු, වසන්ත මොරගොඩ, මහේෂ්වරී රත්නම් මෙහි සෙසු චරිත මවති.

ලසන්ත නවරත්න, මොහොමඩ් ඇඩම් අලී, රාහුල් රෝයි සහ එච්. ඩී. ප්‍රේමසිරි මෙය නිෂ්පාදනය කොට තිබේ.


රජ හොරු වැඩ ඇරැඹුදා

රජ හොරු කණ්ඩායමේ ඉදිරි වැඩ කටයුතු ඇරැඹීමේ මූලික පියවර ලෙස එහි මුහුරත් උළෙල ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලවේදී පවත්වන ලදී.

සුරංග ද අල්විස්ගේ කුලුඳුල් සිනමා සිතුවම වන රජ හොරු රන්ජන් රාමනායක, අර්ජුන කමලනාත් සහ බුද්ධික ජයරත්න රිදී තිරයේ එකට රඟන පළමු අවස්ථාවයි.

ඉවෝක් සමාගමේ ඉදිරිපත් කිරීමක් වන මෙහි නිෂ්පාදකවරුන් ලෙස ලහිරු වික්‍රමසිංහ සහ ප්‍රසාද් රොද්‍රිගෝ කටයුතු කරති.

සඳුන් විජේසිරි, නදීකා ගුණසේකර, රොනී ලීච්, හිමාලි සිරිවර්ධන, හේමන්ත ඊරියගම, ආරියසේන ගමගේ, සමන්ති ලැනරෝල්, ප්‍රේමදාස විතානගේ, ඩී. බී. ගංගොඩතැන්න, නන්දන හෙට්ටිආරච්චි, දමිතා සළුවඩන, සමන් පද්මකුමාර, අර්ඩ්ලි වෙදමුණි මෙහි චරිත මවති. රජ හොරු කණ්ඩායම මුහුරත් උළෙලදා සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි මේ.


එස්.වී.චන්ද්‍රන් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය සිංහල චිත්‍රපට රැසක් නිර්මාණය කළ එස්.වී.චන්ද්‍රන් පසුගිය 7 වැනි දින අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ දී අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහු 69 වැනි වියේ පසුවිය. චිත්‍රපට සංස්කරණ ශිල්පියකු ලෙස සිනමාවට පිවිසි චන්ද්‍රන් මුලින්ම එල්.එස්.රාමචන්ද්‍රන් කේ.වෙන්කට් වැනි සිනමාකරුවන් සමග කටයුතු කළ චන්ද්‍රන් බැප්ට්ස්ට් ප්‍රනාන්දු මුල්වරට ප්‍රධාන චරිතයට යොදා ගනිමින් තැණුන දුප්පතාගේ හිතවතා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂණයට එක් විය.

බැප්ටිස්ට් එතෙක් සිනමාවේ දුෂ්ටයා වූ අතර චිත්‍රපටය නිපදවූයේ ද බැප්ටිස්ට් විසින්මය. පසුව චන්ද්‍රන් සිතක සුවඳ,සුභානි,සුදු අය්යා,සිතාරා යන චිත්‍රපට නිර්මාණය කළේය. ඔහුගේ අවසන් නිර්මාණය වූයේ ඔබට පමණයි ආදරේ චිත්‍රපටයයි.

එය ඇන්ටන් කිංස්ලි සමග සම අධ්‍යක්ෂනය කළ චිත්‍රපටයක් විය. චිත්‍රපට රැසකටම සංස්කරණයෙන් දායකවූ හෙතෙම අවසන් වරට සංස්කරණය කරන ලද්දේ රෝයි ද සිල්වා නිර්මාණය කළ ගෙදර බුදුන් අම්මා චිත්‍රපටයයි.

පසුකලක අමෙරිකාවේ පදිංචියට ගිය ද සිතින් ලාංකිකයකු වූ චන්ද්‍රන් මෙරටින් අමෙරිකාව බලා යන සියළු සිනමා හිතවතුන් හමුවන්නට අමතක කළේ නැත.එමෙන්ම මෙරට සිනමා ශිල්පින් සමග ඔහුගේ සබඳතාව ද දිගටම පවත්වා ගෙන ගියේය. චන්දුන් උතුම් ස්ත්‍රිය චිත්‍රපටයේ රෝයි ද සිල්ව ාසමග රංගනයේ ද යෙදුණි.

ඔහුගේ වියෝවෙන් ශෝකයට පත් වූවන් අතර බිරිය මර්සි සහ දියනියන් දදෙදෙනා ද සිටිති.