වර්ෂ 2012 ක්වූ අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

අනාදිමත් කාලයක් ප්‍රේක්ෂකයින් නැරඹූ මරදානේ සෙන්ට්‍රල් සිනමාහල හදිසියේම (ආසන හා වෙනත් උපකරණ හා විදුලි උපකරණ සමඟින්) බිමට සමතලා කළේ කුමක් නිසාද?

එච්. ඒ. ජයසේන – රනාලේ

එය එහි පාලක අධිකාරියේ තීරණයක් විය යුතුයි. කොහොම වුණත් නවීකරණය නොවන බොහෝ ස්ථානවලට ඒ ඉරණම අත්වෙනවා. මේ ප්‍රශ්නය නගන ඔබත් පසුගිය අවුරුදු දහය තුළ මේ සිනමාහලට කී වරක් ගොඩ වුණාදැයි ඔබෙන්ම විමසා බලන්න. එක්තරා කාලයක එහි තිරගත වූ හැම ඉංග්‍රීසි චිත්‍රපටයක්ම නැරැඹූ මම පසුගිය අවුරුදු දහය ඇතුළත මේ සිනමාහලට ගොඩ වැදුණේ නැහැ.

*

‘සරසවිය’ පැරැණි පාඨකයන්ව දැන් අමතක කරනවා නේද?

සරත් සේනාධීර – ජා-ඇල

අනේ සරත් කිසිම අමතක කිරීමක් නැහැ. ඒ නිසානේ ඔබ එවූ තැපැල්පත ලැබුණ විගස ගත්තේ.

*

1972 වසරේ පිහිටුවන ලද ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රථම සභාපතිවරයා කවුද?

එම්. ප්‍රෙඩී ප්‍රනාන්දු – කල්දෙමුල්ල

පසු කලෙක කීර්තිමත් දේශපාලඥයෙක් වූ එවකට ඉහළ පෙළේ පරිපාලන නිලධාරියෙක් වූ ආචාර්ය සරත් අමුණුගමයි.

*

විශිෂ්ට රංගනවේදියකු වන රවීන්ද්‍ර රන්දෙණියගේ නිවසේ ලිපිනය සොයා දෙන්න.

උදයන්ත සිරිසේන – රුවන්වැල්ල

283,

පරණ නුවර පාර,

දළුගම,

කැලණිය.

*

කොළඹ එම්පයර් සිනමාහල නැවත විවෘත කරන්නේ නැද්ද?

කරුණාදාස - ඉඳුරුව

විවෘත කරන එකක් නැහැ. දැන් එහි ඇත්තේ නිවාස සංකීර්ණයක්. ඒ එම්පයර් සිටි නමින්.

*

විජය – කුවේණි චිත්‍රපටයේ කුවේණිගේ හා විජයගේ චරිතය රඟපෑ නිළිය හා නළුවා කවුද?

යූ. එච්. සුමනදාස - තිස්සමහාරාමය

දුලානි අනුරාධා හා රොජර් සෙනෙවිරත්න.

*

මොහිදීන් බෙග්ට ගීත රචනා කළ ගීත රචකයින් කිහිප දෙනකුගේ නම් සඳහන් කරන්න.

චිත්‍රානන්ද සමරතුංග - නාරම්මල

කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, හියුගෝ ප්‍රනාන්දු, ඩී. ටී. ප්‍රනාන්දු, ඒ. ජේ. ද සොයිසා, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ප්‍රේමකිර්ති ද අල්විස් යනු ඔහුට ගීත ලියූ ගීත රචකයින් කිහිප දෙනෙකි.

*

චිත්‍රපට අධ්‍යක්ෂ තිලක් වේහැල්ල අධ්‍යක්ෂණය කළ ‘කතරගම රූමතිය’ චිත්‍රපටය ගැන තොරතුරු කියා දෙන්න.

තිලකරත්න විල්වල – කෑගල්ල

මෙම චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූපගත කළත් අදාළ අයගේ අනුමැතිය ඊට නොලැබුණා.

විජය කුමාරණතුංගගේ නිෂ්පාදනයක් වූ ‘සමාව‘ චිත්‍රපටයට මොකද වුණේ?

ආර්. එච්. එම්. ප්‍රේමසිරි – ගනේමුල්ල

‘සමාව’ අතරමග නතර වුණා.

ලෝකයේ දිගම චිත්‍රපටය, එහි අධ්‍යක්ෂ හා කාලය කොපමණද?

විරාජ් හර්ෂනාථ – නිකවැරටිය

එඩ්ගා රයිස්ගේ ‘හයිමාට්’ ජර්මන් චිත්‍රපටයයි.

එහි ධාවන කාලය පැය 53 මිනිත්තු 25 යි.

‘මයුරිගෙ කතාව’ චිත්‍රපටයේ දෙබස් කවුරුන් විසින් ලියන ලද්දේ ද?

මිල්ටන් ප්‍රනාන්දු – මුදුකටුව

ධර්ම ශ්‍රී මුණසිංහ.

අපගෙන් සදහටම සමුගත් මාධ්‍යවේදී නිමල් ලක්ෂපති ආරච්චි හඳුන්වා දිය හැක්කේ කවර අයුරින්ද?

චාමර විජේසිංහ – පිළියන්දල

නිමල් ගැන කෙටියෙන් හඳුන්වා දෙනවා නම් අපේ විද්‍යුත් මාධ්‍ය කලාව තිරිහන් කළේ ඔහුයි. ඒ වගේම අපේ රටේ අගැයීමට ලක් විය යුතු බොහෝ මිනිසුන් වගේම නිමල් ගැන ලියන්නට වන්නේත් නිමල් මියගිය පසුවයි.

එක් අතකින් නිමල් පිළිබඳ මෙසේ ලියන්නේ ඔහුගේ අකල් මරණයත් සමඟයි.

තව ජීවත්ව සිටියා නම් නිමල් මෙරට විද්‍යුත් මාධ්‍ය කලාව පිළිබඳ කවරකුගේ විවේචනයට හසු වුණත් ඔහු ඒ විවේචනවලට මුහුණ දී තමන්ගේ සාධක වෙත යොමු වන්නට ඉඩ තිබුණා.

නිමල් විද්‍යුත් මාධ්‍ය ලොවේ පෙරළිය කරද්දී ඒ විවේචනවලට බය වුණා නම් අදටත් අපගේ විද්‍යුත් මාධ්‍ය කලාව මහලු මඩමක්.