වර්ෂ 2012 ක්වූ අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




රිකී මට හමුවෙලා තියෙනවා

රිකී මට හමුවෙලා තියෙනවා

‘දරුවනේ’ රිකී: රිකී ප්‍රනාන්දු ගැන කී අපූරු කතාව

සුදෝ සුදට දිලෙන කිරි කොක් රෑනක් පිට්ටනිය පුරා විහිදිලා. පිට්ටනිය පුරා දුවන පනින මේ සොඳුරු මල් කැකුළු දුටු මනතින් මගේ සිත ඉගිලුණා. ඒ මගේ දඟකාර පාසල් විය ගෙවුණු ඒ සොඳුරු තෝතැන්නට.

ඒ සිතුවිල්ලට ඉඩක් නොතබාම ඊළඟ රූප රාමුවේ මගේ නෙත නතර වුණා. රිකීත්, දිලුකත් දබරයක පැටලිලා. එක් අයෙක් පෙරළගෙන තවත් අයෙක් තවමත් රණ්ඩුවේ.

‘රිකී, දිලුක ඔය වැඩේ නවත්තන්න’

මෙහෙම කිව්වේ එතනට ආ තුන්වැනියා. ඒ චාරුනී. මාරුවෙන් මාරුවට පෙරළගෙන කරන මේ දබරය නවතිනා හැඩක් නැති පාටයි. චාරුනී එක පිම්මට දිව්වා. ඒ ඉස්කෝලේ ශබ්ද විකාශන පද්ධතිය ළඟට. එක්වරම ඇගේ අත නැවතුණේ ජාතික ගීය වාදනය කරන කැසට් යන්ත්‍රය අසල. එක්වරම ඇසුණු ජාතික ගීයේ හඬ ළමෝ හැමෝම සීරුවෙන් තැබුවා. දබර කර ගත්ත රිකීත්, දිලුකත් කිසි කතාවක් බහක් නැතිව මෙන්න සීරුවෙන්.

මගේ මතකයට දැන් නැගුණ දර්ශනය මේ දවස්වල තිරගත වෙන ‘දරුවනේ’ චිත්‍රපටයේ එක්කරා රූප රාමු පෙළක්. පසුගිය දිනක ඒ රූප රාමු පෙළේ සිටිය එක දඟකාරයෙක් සරසවියට ගොඩ වැදුණා.

ඔබ ආදරය කරන රිකී තමයි ඒ දඟකාරයා.

‘පිට්ටනියේ පෙරළගෙන කළ පෙරළියේ ලැබුණු අත්දැකීම් කොහොමද?’

මම රිකීගෙන් මුලින්ම ඇසුවා.

‘ඒක නම් නියම පෙරළියක්. මගෙත් දිලුකගෙත් මේ රණ්ඩුව ඇත්තටම රූපගත කරන්න සිවා අංකල්ට ඕන වුණා. ඒ නිසා අපි දෙන්නට ඇත්තටම රණ්ඩු වෙන්න සිදු වුණා. රණ්ඩුව ආරම්භ කළාට පස්සේ අපි දෙන්නා ඇති තරමට බිම පෙරළි පෙරළි ගහගන්න අමතක කළේ නෑ. මට වඩා දිලුක මහත වුණත් ඒ කිසිම දෙයක් බිම පෙරළාගෙන ගහන කොට මගේ මතකයේ තිබුණේ නැහැ. මම බැලුවේ ඔහු මාව පෙරළන කොට මමත් ඔහුව පෙරළා ගුටියක් ගහන්නයි. මේ නිසා මම හිතන්නේ ඒ රූප රාමු පෙළ ඇත්ත පොරයක් වගේ රූගත වුණා කියලයි. දැන් නම් ඒ දර්ශනය බලන දිලුකටත්, මටත් හොඳටම හිනා.’

රිකීගේ චරිතයට පණ දෙන ෂයන් සම්ප්‍රාප්ති පෙරෙයිරා ඒ සිදුවීම කිව්වෙත් රඟපෑමක් කරනවා වගේ.

දඟකාරකමත්, අවිහිංසක බවත් එක්වුණු හොඳ දරුවෙක් වූ රවීගේ චරිතය වගේ ද ෂයන් සම්ප්‍රාප්තිත්?

‘අපෝ නැහැ. රිකීට වඩා මම දඟ ළමයෙක්. කොයි තරම් දඟ වැඩ කරනවද කියලා කිව්වොත් අත්තම්මාගෙන් වගේම අම්මගෙන් නිතරම මම බැනුම් අහනවා. ඒ කොයි තරම් දඟ වැඩ කළත් ඔවුන් යමක් එපා කිව්වොත් කියන්නේ මගේ හොඳට කියලා මා දන්නවා.’

දඟකාර කටකාර ෂයන්ට ‘දරුවනේ’ චිත්‍රපටයේ රිකීව ලැබුණේ කොහොමද?

‘දරුවනේ චිත්‍රපටයේ රඟපාන්නට පෙර මාව බොහොම දෙනා අඳුනන්නේ ‘පාන් බට්ටා’ කියන ටෙලි නාට්‍යයෙන්. ඊටත් පෙර මා මුලින්ම රඟපෑමට සම්බන්ධ වෙන්නේ සැමී පවෙල් ගේ ‘ජීව චක්‍රය’ කියන ටෙලි නාට්‍යයෙන්.

විදර්ශනා, ගැහැනු ළමයි වගේ ටෙලි නාට්‍ය කිහිපයක රඟපෑ චරිතවලින් පස්සේ තමයි ‘දරුවනේ’ චිත්‍රපටයට මා රංගනයෙන් දායක වෙන්නේ. දරුවනේ චිත්‍රපටයට අවශ්‍ය චරිත තෝරා ගන්න කාල සීමාවේ සිවා අංකල් මට දුරකතන ඇමතුමක් දුන්නා, පුතේ ශිල්පීන් තෝරා ගැනීමේ පරීක්ෂණයට සහභාගි වෙන්න කියලා.

ඒ පරීක්ෂණයට ගොඩක් ළමයි සහභාගි වුණා. මගේ අවස්ථාව ලැබුණු වෙලාවේ පිටපතෙන් කොටසක් දීලා මට කියන්න කිව්වා. ඊට පස්සේ සුනිල් ටී. අන්කල් මාව රිකීගේ චරිතයට තෝරාගෙන තිබෙන වග කිව්වා. ඒ වගේම එතැනදි අපූරු සිදුවීමක් වුණා. සුනිල් අංකල් මට රිකී නමින් කතා කළාට කමක් නැද්ද කියලත් ඇහුවා. එදා ඉඳලා අද දක්වා අංකල් මට කතා කරන්නේ රිකී කියලා.

රිකී කියන්නේ සුනිල් අංකල්ගේ පුතාගේ නම. රිකී හෙවත් රක්ෂිතගේ චරිතය නිර්මාණය වී තිබෙන්නේ ඔහුගේ පුතාගේ චරිතයෙන්. ඇත්ත රිකී කියන්නේ බොහොම අපූරු චරිතයක්. ඔහු අවිහිංසක වගේම කාටත් උදව් කළ අපූරු ළමයෙක්. ශාන්ත පීතර විද්‍යාලයේ ඉගෙන ගනිද්දී රිකීව මට මුණ ගැහිලා තිබෙනවා. රිකීගේ චරිතය රඟපාන්නට ලැබුණු මේ සුවිශේෂී අවස්ථාව මගේ ජීවිතයට විශේෂයි. ඒ රිකීගේ චරිතය හැකි උපරිමයෙන් කරන්නට මා උත්සාහ ගත්තා.

මේ දවස්වල ‘දරුවනේ’ තිරගත වෙනවා. ලැබෙන ප්‍රතිචාර ගැන මොකද සිතන්නේ?

‘මා ඉගෙන ගන්නේ ශාන්ත පීතර විද්‍යාලයේ දහවැනි ශ්‍රේණියේ. ‘දරුවනේ’ කියන්නේ මගේ පළමු චිත්‍රපටයයි. පාසලේ යාළුවන්ගෙන් වගේම ගුරුවරුන්ගෙන්, විදුහල්පතිතුමාගෙන් ලැබෙන සහයෝගයට මා සදා ණයගැතියි. ඒ වගේම ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මා අගය කොට සලකනවා. පාසලේ බොහෝ දෙනෙක් මට දැන් ආමන්ත්‍රණය කරන්නේ රිකී කියලා. ඒකට මා කැමැතියි.’

සැමී පවෙල්ගේ ‘ජීව චික්‍ර’ ටෙලි නාට්‍යට ඔබව තෝරා ගන්නේ කොහොමද?

‘පාසලේ 4 ශ්‍රේණියේ ඉගෙන ගනිද්දී කවුදෝ පිරිසක් ඇවිත් අපේ පන්තියම වීඩියෝ කරගෙන ගියා. දවස් කිහිපයකට පස්සේ මාව වගේම මන්දිකටත් ඔවුන් කතා කළා, මාළු බාන චරිතයක් රඟපාන්න පුළුවන් ද කියලා අපි දෙන්නාගෙන් ඇහුවා. රඟපෑමෙන් අනතුරුව එතනදි මාව තෝරා ගත්තා. ටෙලි නාට්‍යයක චරතයක් රඟපාන්න කැමැති ද කියා ඔවුන් මගෙන් ඇහුවා. මාස කිහිපයක් සැමී පවෙල්ගේ නිවසෙහි රඟපෑම පිළිබඳ හොඳ පුහුණුවක් දුන්නා. ‘ජීව චක්‍ර’ ටෙලි නාට්‍යයේ රඟපෑවේ ඉන් පස්සේ.

ඒ ටෙලි නාට්‍යයේ අරුන්ගේ චරිතය කළේ මමයි. නමුත් බොහොම දෙනෙක් හඳුනා ගන්නේ සිරස රූපවාහිනිය් විකාශය වූ ‘පාන් බට්ටා’ගේ චරිතයෙන්. පාන්බට්ටාට ආදරය කළ බොහෝ දෙනෙක් අදටත් මට මුණ ගැහෙනවා. ඔවුන් අදත් මට අමතන්නේ ‘පාන් බට්ටා’ කියන නාමයෙන්. ‘ක්‍රිඩ්ෆ ස්ට්’ කරන අතරතුරදී ලැබෙන ආරංචියට අනුවයි මා එහි පරීක්ෂණයට යන්නේ. අවසානයේදී ‘පාන් බට්ටා’ට තේරුණු බව කිව්ව අවස්ථාවේදී ඒ ගැන මට අදහා ගන්න බැරි වුණා.’

දීපා මෙහෙතාගේ නම් අධ්‍යක්ෂවරියගේ චිත්‍රපටයකටත් ඔබට රංගනයෙන් දායක වීමට ලැබුණා නේද?

‘ඇගේ චිත්‍රපටයේදී රංගනය පිළිබඳ වඩාත් හොඳින් අධ්‍යයනය කිරීමට හැකියාවක් මට ලැබුණා. SALMAN RUSHDIE’S ගේ MIDNIGHTS CHILDREN  කියන මේ චිත්‍රපටය ඔස්සේ කුඩා වයසේ පටන් අවුුරුදු 60 ක් දක්වා වයසක චරිතය දක්වාම රඟපාන්නේ මමයි. ඒ අත්දැකීම බොහොම අපූරුයි.

ඉන්දියාව හා පකිස්තානය වෙන්වන දවසේ විවිධ ප්‍රාන්තවල රාත්‍රී 12 ට ඉපදෙන ළමයි දහසය දෙනෙකු තුළ පවතින බලයක් පිළිබඳයි මෙහිදී කතා වන්නේ. මෙහිදී අවුරුදු 15 ක් පමණ වයසක සිටින ළමයෙකු ලෙස අවුරුදු 60 ක චරිතයක් රඟපෑම මට අලුත් අත්දැකීමක් වුණා. ඒ වගේම මේ චිත්‍රපටයේ බන්ධනාගාරයේ සිර කුටියකින් පැමිණෙන එක් දර්ශනයක් තිබෙනවා. ඒ කළ රඟපෑම වෙනුවෙන් ඇගෙන් ලැබුණු ප්‍රශංසාව මගේ රංගනයට ලැබූ සම්මානයක් වගේ.’

රංගන ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයේම රැඳී සිටින්නද අදහස?

‘මගේ සිහිනය ගුවන් නියමුවෙක් වෙන්නයි. හොඳ නිර්මාණයක් ලැබුණොත් රංගනයෙන් සහභාගි වෙන්න මම අමතක කරන්නේ නෑ. මගේ අම්මා සනාරි, තාත්තා රොෂාන්, අත්තම්මා චන්ද්‍රා ජයතුංග වගේම ස්වන්ත්‍රි, සාකල්‍යා යන නංගිලා දෙදෙනා කියන මේ හැමෝගෙන්ම ලැබෙන සහයෝගය මම අගය කොට සලකනවා. සුනිල් ටී. අන්කල්, සිවා අන්කල්, සුනිල් ධර්මසිරි ඇතුළු මට මෙතෙක් උදව් කළ හැමෝටම මම ස්තුති කරන්නට මෙය අවස්ථාවක් කර ගන්නවා.’