වර්ෂ 2012 ක්වූ අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




බලු පැටයෙක් ළමයි අටක් එක පොකුරක විකුම් රුසක් නීරෝ - හීරෝ

බලු පැටයෙක් ළමයි අටක් එක පොකුරක විකුම් රුසක් නීරෝ - හීරෝ

නිවාසි පුරට අලුත් දවසක් උදා වුණා. පුංචි පැටව් ටික ඉහිලුම් නැති සතුටින් ඉපිළුණා. ‘අද හරිම ලස්සන දවසක්’ හැමෝම එකතු වෙලා ගස් හෙවණේ කතාවට වැටුණා. එහෙ මෙහේ යන සෙනඟ අතරින් සියලුම දෙනාගේ අවධානය යොමු වුණේ මේ පුංචි දරුවො රෑණට. ගැජට්, ඉනසන්, කචල්, නෙගෙටිව්, ඉන්දියන්, ගර්ල් කියන මේ දරුවො නිවාසි පුරට නුහුරු නුපුරුදු දරුවන් නම් නොවෙයි.

හැමදාමත් දඟකාරකම්වලින් මුලු නිවාසි පුරයම පුරවන මේ ඉහළ මධ්‍යම පාන්තික දරුවන්ගේ එකතුව ගැන හැමෝම නිතර කතාබහ කළා.

‘මේ දන්නවද රවිඳුට අලුත් බයිසිකලයක් හම්බ වෙලා . . .’

ක්‍රිකට් පිත්ත වනමින් ගැජට් ගෙනාවෙ අලුත් ආරංචියක්.

‘ආ . . . ඒක තමයි මිනිහ අපිත් එක්ක කතා නැත්තෙ . . .’

තවත් කෙනෙක් ඊට දුන්නේ පක්ෂපාතී පිළිතුරක්.

අද දරුවන්ගේ සාකච්ඡාවේ මාතෘකාව වූයේ රවිඳුගෙ බයිසිකලය. මේ අතරේ බයිසිකලය ගැන කණ්ඩායමේ ඇති වුණේ වෛරයක්. රවිඳුට නොදැනෙන්නට මේ බයිසිකලය විනාශ කරල දාන්න හැමෝම ඒකමතිකව තීරණය කළේ පුංචිත්තන්ගේ මේ මහා සාකච්ඡාවේදීමයි.

‘අපි තරහ බයිසිකලෙත් එක්කනෙ . . . ඒ හින්ද අපි බයිසිකලේ විනාශ කරල දාමු’

මේ අදහස දිනාගන්න හැමෝම එකතුව කටයුතු කරන්න තීරණය කළා.

හොඳ උපාය තාක්ෂණික දැනුමකින් යුතු මේ ළමුන් කණ්ඩායම බයිසිකලය විනාශ කරන්නට අලුත් උපක්‍රමයක් සොයමින් දිගටම පර්යේෂණවල. කුණු ගොඩින්, වටපිටාවෙන් සොයා ගත් උපකරණ තමන්ට රිසි පරිදි හසුරුවල මේ පුංචි දරු පැටව් රවිඳුගෙ බයිසිකලය විනාශ කරන්න අලුත්ම උපකරණයක් නිර්මාණය කළා.

විවිධ හැකියාවන්ගෙන් අනූන මේ යහළු හවුල රවිඳුට අනතුරක් නොවන පරිදි බයිසිකලය විනාශ කරන්නට වේලාව පැමිණෙන තෙක් රහසේ බලා උන්නා.

දින ගණනක් ගෙවිල ඒ වෙලාව ළඟා වුණා. සිතියමකට අනුව ක්‍රියාත්මක වන නව උපකරණය රවිඳුගේ ලස්සන බයිසිකලය සොයමින් පිට වුණා. හැමෝටම සතුටුයි.

‘අද රවිඳුගෙ බයිසිකලේ ඉවරයි . . .’

උපකරණය ක්‍රියාත්මක කරමින් උන් දරුවෝ උන්නේ සතුටින්.

විනාඩි කිහිපයකින් දරුවන්ගේ බලාපොරොත්තු සුන් වුණේ නීරෝ නිසා. නීරෝ කියන්නේ රවිඳුගෙ සුරතල් බලු පැටියා. තමන් බලාපොරොත්තු වුණු ඉලක්කයට යන්නට බැරි වීම ගැන දරුවෝ දුක් වුණා. ඒ දුක පුංචි මනසේ කේන්තියක් බවට පත්වුණා. රවිඳුගේ බයිසිකලේ එක්ක තිබුණු කේන්තිය නීරෝ පිට පැටවුණේ මේ අතරේ. දැන් පුංචි පැටව් රෑනට නීරෝව පෙන්නන්න බැරි චරිතයක් බවට පත් වුණා. මෙසේ කලක් ගත වුණා. මේ දරුවෝ රෑනෙ විවිධ ක්‍රියාකාරකම් අතරේ නොදැනුවත්වම දින, සති, මාස ගෙවිල ගියා.

නිවාසි පුර සභාපතිතුමාගේ පුත් ඩන්ස්ටන්. ඩන්ස්ටත් තමා ගැන හිතාගෙන හිටියේ තරමක් ඉහළින්. ඩන්ස්ටන්ගේ තාත්තාට වගේම ඩන්ස්ටන්ටත් සත්තු පෙන්නන්න බැරි ලෙඩක් තිබුණා. නීරෝ මේ දෙන්නට ඇස ගැටෙන්නේ මේ අතරෙදි.පුංචි යාළුවො රංචුව මේ සියල්ල අතරතුර රවිඳුගෙ මිතුරන් බවට පත් වුණා. දැන් මේ හැමෝගෙම අරමුණ නීරෝ බේරා ගැනීම. ඩන්ස්ටන් සහ සභාපතිතුමා නීරෝව විනාශ කරන්නට පොර බදද්දී මේ පුංචි වීරයෝ නීරෝව බේරා ගන්නට උත්සාහ ගන්නා කාලයයි මේ.

ඉන් ඉදිරියට සිදුවන දේ මොනවා වෙයිද කියල දැනගන්න තව ටික කලක් ගත වේවි. මෙහෙම කතාව ගලාගෙන යන්නේ නිශාන්ත ප්‍රදීප් මොහොට්ටිගේ ප්‍රථම වරට නිෂ්පාදනය කරනු ලබන නීරෝ හීරෝ චිත්‍රපටයේ. ප්‍රදීප් මහේෂ් ලියනගේ ප්‍රථම වරට රචනා කොට අධ්‍යක්ෂණය කරනු ලබන මෙම චිත්‍රපටය නවක මුහුණු රැසක් තිරයට දායාද කළ තෝතැන්නක්.

අලුත් පරම්පරාවේ ළමයින් අට දෙනකු තම ආදරය දිනූ සුනඛ මිතුරෙකු බේරා ගැනීමට කරනු ලබන වික්‍රමයන් මෙම චිත්‍රපටයේ මනාව පිළිබිඹු වෙනවා.

රඟපෑම් -

සංගීතා වීරරත්න, මහින්ද පතිරගේ,

දුලීකා මාරපන, නිල්මිණි තෙන්නකෝන්,

අමරසිරි කලංසූරිය,

ඔටරා ගුණවර්ධන (ODEL), නිරෝෂන් විජේසිංහ, සුනිල් ප්‍රේමකුමාර, ප්‍රේමදාස විතානගේ, අංජලි ලියනගේ, රාජසිංහ ලෝලුවාගොඩ, ගන්ගොඩතැන්න.

ළමයින් -

රවිඳු – පවන් හේමචන්ද්‍ර

ගැජට් – මිහිඳු ඔවාල්

ඉනසන් - රෙහාන් ආවින්ද

කචල් - මනෝජ් මදුෂාන්

නෙගෙටිව් – තිලින ලක්ෂාන්

ඉන්දියන් - සොනාල් ස්ටේෂන්

ගර්ල් - පෝෂිනී නදී

ඩන්ස්ටන් – චානක මදුෂාන්

පොඩි සාදු – මලිඳු තිවංක

නිෂ්පාදන කණ්ඩායම -

රචනය සහ අධ්‍යක්ෂණය –

ප්‍රදීප් මහේෂ් ලියනගේ

නිෂ්පාදනය – නිශාන්ත ප්‍රදීප් මොහොට්ටිගේ

කැමරා අධ්‍යක්ෂණය - ශාන්ත රූපස්සර,

විචර්ශණ ජයවර්ධන

කලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල්

වේශ නිරූපණය – සෑම් පෙරේරා

ගී තනු සහ සංගී සැපයුම - ශමිල් බ්

නිෂ්පාදන සැලසුම සහ නිෂ්පාදන

කළමනාකරණය - සුජීව තලංගම

සංස්කරණය – වායිෂ් අමරසේකර

ගී පද රචනය – කැලුම් ශ්‍රීමාල්

නර්ථන අධ්‍යක්ෂණය -

සැපොරෝෂ් කණ්ඩායමේ නායක

සහය අධ්‍යක්ෂණය –1. මදුරංග 2.

දේව් පතිනායක නිෂ්පාදන ආයතනය –

ස්ක්‍රින් සර්වර් ටීම්