වර්ෂ 2012 ක්වූ අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




ශ්‍රීපාලි මණ්ඩපයේ වයස්ගතම ශිෂ්‍යයා

ශ්‍රීපාලි මණ්ඩපයේ වයස්ගතම ශිෂ්‍යයා

ලක්ෂ්මන් මංචනායක

ඔහු නමින් ලක්ෂ්මන් මංචනායක. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ශිෂ්‍යයෙක්. දේශීය නර්තනය විදෙස් වේදිකාවල පවා රඟ දක්වා රටට කීර්තියක් අත්කර දෙන්නට සමත් වී ඇති ඔහුව ඔබ තවම නොහඳුනනවා ඇති. මේ ඔහුගේ කතාවයි.

කුඩා කාලයේ සිටම මම කලාවට ගොඩක් ලැදියි. පාසල් කාලයේදී යෞවන සම්මාන, රාජ්‍ය නර්තන, රාජ්‍ය සාහිත්‍ය උළෙලවල් නියෝජනය කරලා ඒවායෙන් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. නමුත් සාමාන්‍ය පෙළින් පසු මම උසස් පෙළ සඳහා ඉදිරිපත් වුණේ ගණිත අංශයෙන්.

නමුත් සරසවි වරම් ලබන්න මට නොහැකි වුණා. ඒ අතරෙදි ජාතික තරුණ සේවා සභාවේ අනුග්‍රහයෙන් විදෙස් නර්තන තරගාවලියක් සඳහා විදේශ ගත වූ අවස්ථාවේ නර්තනය පිළිබඳ ඇල්ම දැඩි වුණා. ඒ අනුව වසර 10 ට පසුව යළිත් මම කලා අංශයෙන් උසස් පෙළ හදාරා ශ්‍රීපාලි මණ්ඩපයට තේරී පත් වුණා. දැනට මගේ වයසත් එක්ක ශ්‍රීපාලියේ මගේ ගෝලයන් සමඟ එකට ඉගෙන ගන්නවා. සමහර ආචාර්යවරුන් මට වඩා බාලයි. මම තමයි මේ වන විට විශ්වවිද්‍යාලයේ ඉන්න වයස්ගතම ශිෂ්‍යයා.

නර්තන කලාව වෙනුවෙන් ඔබගේ කැප වීම ගැන සඳහන් කළොත්?

වසර 10 ක් පුරා මම ලක්ෂ්මන් මංචනායක රංගායතනය ඔස්සේ දරු දැරියන්ට නර්තනය පිළිබඳ දැනුම ලබා දෙනවා. මේ සඳහා මම මුදල් අය කරන්නේ නැහැ. ඒ වගේම විදේශ සංචාර සඳහා මගේ කලායතනගය මඟින් නර්තන කණ්ඩායම් සහභාගි කරවනවා.

ඒ අවස්ථා ගැනත් ටිකක් කියමුද?

සාම්ප්‍රදායික නර්තන දැනුම දරුවන්ට ලබා දීම වගේම ලෝකයට අපේ වටිනා දේ පෙන්වන්න ලැබීමත් වාසනාවක්. 2001 වසරේ බෲනායි හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය කලා උළෙල, 2003 වසරේ චීන කලා උළෙල, 2004 වසරේදී පෝලන්තයේ පැවති ලෝක ළමා ජන නැටුම් උළෙල වගේම සෑම වසරකම තායිලන්තයේ රජතුමාගේ සහ රැජිනගේ උපන් දින උත්සවය සඳහා අපේ දේශීය නර්තන අංග සමඟින් සහභාගි වෙනවා.

ඉන්දියාවේ බැංගලෝර් කලා උළෙල වගේම බුද්ධගයාව, සැවැත් නුවර, බරණැස කඨින පූජෝත්සව සඳහා වසර 05 ක සිට හේවිසි කණ්ඩායම් සහ නර්තන කණ්ඩායම් සහභාගි කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. මීට අමතරව ස්විට්සර්ලන්තය, දෝහා කටාර්, නේපාලය වැනි රටවල ද මගේ රංගායතනයේ නර්තන කණ්ඩායම් දස්කම් දක්වල තියෙනවා. ඒ වගේම ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානයේ කලා උළෙල, මැලේසියාවේ ජාත්‍යන්තර නර්තන හා බෙර වාදන ප්‍රසංගය සහ සිංගප්පූරුවේ නර්තන උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්න නියමිතයි.

ඔබේ කලා කටයුතුවලට හැම දෙනාගෙන්ම ලැබෙන සහාය කොහොමද?

ගෙදරින් හොඳ සහයෝගයක් ලැබෙනවා. මගේ තාත්තා පාරම්පරික පහත රට නැටුම් ශිල්පියෙක්. ඒ ආභාෂය තමයි මට ලැබුණේ. පාසල් අවධියේ සහ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගෙන් මෙන්ම පාදුක්ක, අවිස්සාවේල්ල, ප්‍රදේශවාසීන් ඇතුළු අනුග්‍රහය දක්වන සියලු දෙනාගෙන් ද ලැබෙන්නේ විශාල සහයෝගයක්. එසේම රවිබන්දු විද්‍යාපති ගුරුතුමන් මට නිරන්තරයෙන් මඟ පෙන්වනවා.

කලායනයේ ඉදිරි කටයුතු පෙළ ගැසෙන්නේ කොහොමද?

කලායතනයට මේ වන විට වසර 10 ක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් ලබන සැප්තැම්බර් මාසයේදී කොහොඹ කංකාරිය ශාන්ති කර්මය සිදු කිරීමට කටයුතු යොදලා තියෙනවා. වසර 20 කට පසුව තමයි ප්‍රදේශයේ මෙම ශාන්ති කර්මය සිදු කෙරෙන්නේ. අධ්‍යාපනික සත්කාරයක් විදියට සිදු කෙරෙන මේ සඳහා අලුදෙණියේ ගුරුතුමන්ගේ ශිල්පීන් සහ මගේ කලායතනයේ ශිල්පීන් සිය දෙනෙකු පමණ සහභාගි වෙන්නට නියමිතයි. ඊට අමතරව එදින කලායතනයේ ශිල්පීන් 14 දෙනෙකුට හිස වෙස් පැළඳවීම ද කටයුතු යොදලා තියෙනවා.