වර්ෂ 2012 ක්වූ අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




ගයන රඟන තරු අතරේ අලුත්ම තරුව සුබුද්ධි

ගයන රඟන තරු අතරේ අලුත්ම තරුව සුබුද්ධි

හීන්සැරය හොඳම සැරය කියනස්ටාර් ශ්‍රී ලංකා තාරකාව

ඈත පිටිසර ගමක ඉපදුණු නිලූ කොළොම් පුරවරයට පා නගන්නේ කප්පරක් බලාපොරොත්තු හදවත රුවා ගනිමිනි. ඒ ‘ස්ටාර් ශ්‍රී ලංකා . . .’ කියන රියැලිටි ගායන තරගයට සහභාගිවීමේ අදිටනෙනි.

නේක විධ අයුරින් ඇඳ පැළඳ ගත් යෞවන - යෞවනියන් අතර ඇගේ සිත නතර වූයේ ඉබේමය. පළමු වටයෙන් සමත් වූ ඇගේ නෙතට කඳුළක් ඉපදිණි. දින, සති, මාස ගෙවී ගියේ සැනිණි. සියලු බාධා ජය ගනිමින් ඕ අවසාන මහා තරගයට පැමිණියේ සිය සහෝදර තරගකරුවන්ට හා තරගකාරියන්ට අභියීගයක් වෙමිනි. සිය දිළිඳුකම පත්ලේ සිරව සිටි මේ සොඳුරු යුවතිය මුණ ගැසෙන රිසියෙන් පසුගිය දිනෙක අපි එහි ගියෙමු. ඒ හැතැප්ම ගණනක් ඈත පිටිසර ගමට නොව බත්තරමුල්ල පැලවත්තටය.

වෙනදා දකින ඇගේ දුප්පත් නිවෙස අතුරුදන්ව ගොසිනි. අවට සිරි නරඹන අතරතුර නිලූ නමින් ඔබ කවුරුත් හඳුනන ඒ සොඳුරු යුවතිය සුබුද්ධි ලක්මාලි අප හමුවට පැමිණියාය.

‘නිලූ කොහොමද?’

පසුගියදා ජාතික රූපවාහිනියෙහි විකාශය වූ ‘ස්ටාර් ශ්‍රී ලංකා. . .’ ටෙලි නාට්‍යයෙහි ප්‍රධාන චරිතය නිරූපණය කළ කතා නායිකාවගේ නමින්ම අපි ඈව ඇමතීමු.

‘ස්ටාර් ශ්‍රීී ලංකා . . .’ ටෙලි නාට්‍යයේ නිලූට බොහෝ රසික රසිකාවන් ප්‍රමාණයක් ආදරය කළ බව නම් මා දන්නවා. ඒ නිලූගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ඔස්සේ. රංගනයට අමතරව ගායන හැකියාව මේ චරිතයට අවශ්‍ය කාරණයක් වුණා. මා හිතන්නේ ගායනයෙන් වගේම රංගනයෙන් නිලූගේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කළ බවයි. එහෙම හිතෙන්නේ ක්ෂේත්‍රයේ බොහොම දෙනෙකුගෙන් ලැබුණු ප්‍රතිචාර මතයි.’

’සුබුද්ධි මේ දවස්වල මොකද කරන්නේ?

මම විමසුවේ ඇගෙ උවනෙහි නැෙඟන අහිංසක සිනා රැල්ලක් යළිත් දකිනු රිසියෙනි.

‘ස්ටාර් ශ්‍රී ලංකා . . .’ ටෙලි නාට්‍යයේ කළ රංගනය නිසා මට නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ අතරින් සුදත් රෝහණගේ ‘ගිරිකුල’ කියන ටෙලි නාට්‍යයේ රම්‍යලතාගේ චරිතයට රංගනයෙන් දායක වෙන්න මා තීරණය කළා. මේ ටෙලි නාට්‍ය 1940 වැනි කාලයක කොළණියක් මූලික කර ගනිමින් විකාශය වන ටෙලි නාට්‍යයක්. ඊට අමතරව උපාලි ගම්ලත්ගේ චිත්‍රපටයකටත් ආරාධනාවක් ලැබුණා. ශේෂාන් ගමගේ සමඟ කටහඬ පුහුණු කිරීමේ පන්තියක් කරගෙන යනවා. ඒ යටතේ සංගීතයට අදාළ විවිධ වූ විෂයයන් ඉගැන්වීමත් සිදු වෙනවා.’

‘ආදරය නිසා හර්දේ මැවෙනා

අපරාදේ ජීවිත හානි,

අපරාදේ ජීවිත හානි . . .’

රුක්මණී දේවි නම් අපේ ගීත කෝකිලාවියගේ හඬින් අප අසා ඇති මේ ගීතයට නිලූ කදිම සාධාරණයක් ඉටු කළ බව මට සිතුණි.

මේ ටෙලි නාට්‍යයේදී ඔබේ රංගනය වගේම ගායන හැකියාවත් කැපී පෙනුණා. ඔබ ඉදිරියේදී රසිකයන් හමුවට පැමිණෙන්නේ ගායනයෙන් ද? රංගනයෙන් ද?

‘මම කේමදාස මාස්ටර් කියන ඒ අද්විතීය ගුරුවරයාගේ ගෝලයෙක්. සංගීතය හැදෑරුවේ ඒ සොඳුරු ගුරුතුමාගෙන්. මේ නිසා ප්‍රධාන තැන හිමි වෙන්නේ ගායනයටයි. කාලයක පටන් මගේ හීනයක් විදියට හිතේ ගුලි වුණු ගීත ඇල්බමයක් කිරීමේ හීනයට පසුගිය දිනක මා මුල පිරුවා. ගීත ඇල්බමයක් එළි දැක්වීම කියන්නේ විශාල මුදල් වැයවෙන කාර්යයක්. මට ලැබෙන මුදලේ විදියට මුලින්ම එක් ගීතයක් පටිගත කිරීමේ කටයුතු මේ දවස්වල කරගෙන යනවා. ඇයි සිංදු කිහිපයක් ගයන්නේ නැත්තේ කියලා අහන මගේ රසිකයන්ට මේ ගීතය ඉක්මනින්ම අසන්නට ලැබේවි. ගායනය නිසයි රංගනයට මට ආරාධනා ලැබෙන්නේ. හොඳ නිර්මාණයකට පමණක් දායක වෙමින් හෙමින් ගමනක් යන්න මා කැමැතියි.’

‘හීන් සැරේ තමයි හොඳම සැරේ’ කියන අපූරු කියමන මගේ මතකයට නැඟුණේ ඒ වදනිනි.

රංගනයට ආරාධනා ලැබෙන්නේ?

‘ඒක දිග කතාවක්. සාමාන්‍ය පෙළ දක්වා මා ඉගෙන ගත්තේ ශ්‍රීී සුභූති ජාතික පාසලේ. උසස් පෙළ හදාරන්නේ මා ජීව විද්‍යා අංශයෙන්. ඒ යශෝධරා බාලිකා විද්‍යාලයේ. විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබාගන්න බැරි වෙන නිසා මගේ හැකියාවට මුල්තැන දෙන්න කියලා ගෙදර අයගෙන් තිබුණේ ඉල්ලීමක්. මේ අතරයි මගේ අක්කගේ සැමියා ප්‍රේමසිරි කේමදාස පදනමට ළමයි ගන්න බව සඳහන් කරමින් පණිවුඩයක් ගෙනෙන්නේ. සම්මුඛ පරීක්ෂණයට සහභාගි වුණාට පස්සේ එහි ප්‍රතිඵල දන්වමින් එවන ලියුමෙන් කියන්නේ ඒ පරීක්ෂණයෙන් මා සමත් වුණු බවයි. අපේ පුහුණුවීම් කරනා අතර අග්නි ඔපෙරාවේ පුහුණුවීම් ආරම්භ කරන්න මාස්ටර් තීරණය කරන්නේ මේ අතරයි. ඒ මෙතනට පැමිණෙන සුමුදු පතිරණ, ඉන්දිකා උපමාලි, කමල් අද්දරආරච්චි කියන හිතවතුන් මට හඳුනා ගැනීමට ලැබෙනවා. හදිසියේම මෙහි ප්‍රධාන චරිත හතරෙන් මිහි පබාගේ චරිතය කරන්න හිටිය ශිල්පිනිය අසනීප වන නිසා ඒ චරිතය කිරීමේ අවස්ථාව හිමි වන්නේ මටයි. මෙතනට පැමිණෙන මහේන්ද්‍ර අයියා හඳුනා ගත්තට පස්සේ අපි හැමෝම හොඳ මිත්‍රයන් බවට පත්වෙන්නේ ඉබේමයි. මාස්ටර්ගේ මරණයෙන් පස්සේ අපි හැමෝම විසිරිලා යනවා. මේ ඉන්න කාල සීමාවේදී තමයි මහේන්ද්‍ර අයියගේ ස්ටාර් ශ්‍රී ලංකා. . .’ ටෙලි නාට්‍යයට මට ආරාධනා ලැබෙන්නේ. රංගනය හැදෑරීමේ යම් ආශාවක් තිබුණ නිසාම මම ඒ ආරාධනාව භාර ගත්තේ බොහොම කැමැත්තෙන්. රංගනය පිළිබඳ හදාරලා නැති මම ඒ ආරාධනය අභියෝගයක් ලෙස භාර ගත්තා.’

කේමදාස මාස්ටර් නම් වූ ඒ සොඳුරු මිනිසාගේ විශිෂ්ට නිර්මාණයක් වූ අග්නි ඔපෙරාවේ ගායනය අවසානයේ සුබුද්ධිගේ නෙතගින් වැටුණේ කඳුළු බිඳු කිහිපයකි. ඒ සිය ගුරුවරයා සිහිපත් වීමෙනි.

‘අග්නි ඔපෙරාවට සම්බන්ධවීම ලෙහෙසියෙන් කෙනෙකුට නොලැබෙන අවස්ථාවක් නේද?’

‘මාස්ටර් කියන්නේ අපූරු මනුෂ්‍යයෙක්. ඔහු ළඟ තිබුණු මනුස්සකම, දයාව වගේ ගුණාංගයන් ගැන වචනවලට නගන්න අමාරුයි. එවන් කෙනකුª අපිට නැති වුණේ අපගේ අවාසනාවටයි. කොහොම වුණත් අග්නි ඔපෙරාවේදී මට ලැබුණේ බොහොම සංකීර්ණ චරිතයක්. තමන්ගේ සැමියා තමන්ට නතුªකර ගැනීමට උත්සාහ දරන ආසියානු ගැහැනියකගේ චරිතය. දඟකාර සැහැල්ලු ජිවිතයක් ගත කළ මම වගේ කෙනෙකුට ඒ වගේ චරිත නිරූපණයක් ලේසි වුණේ නැහැ. නමුත් අවසානයේ මට ඒ චරිතය රඟපෑමට හැකියාව ලැබුණා. මිහි පබාගේ චරිතයට උචිත අයුරින් මා හැඩ ගැන්වෙන්නේ මාස්ටර්ගෙන් ලැබුණු පුහුණුව හරහායි. ඒ සඳහා එහි සිටි අනෙක් ශිල්පීන්ගෙන් මට ලැබෙන්නේ නොමඳ සහයක්.’

දඟකාර සැහැල්ලු යුවතිය මිහි පබා ගේ අභියෝගය ජයග්‍රහණය කරන්නීය.

හෝරා කිහිපයක් ගෙවී ගියේ අපටත් නොදැනීය. ඈ සමඟ කතාබහ බොහොම මිහිරි යැයි මට හැඟුණේ හෝරා යන්ත්‍රය දෙස බැලූ කලය. අනාගතයේදී සුන්දර කලාවක් පිළිබඳ බලාපොරොත්තුවේ සේයාවක් තබන්නට හැකි වෙතියි අපට සිතුණේ ඇගෙන් සමු ගන්නා මොහොතේය. ඒ ඈ වැන්නන් අපට විරල හෙයිනි.