වර්ෂ 2012 ක්වූ අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




මුල්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය තිරගත වී මේ වසරට වසර 50 යි

මුල්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය තිරගත වී මේ වසරට වසර 50 යි

බ්‍රිජට් බාඩෝ අලුත් චිත්‍රපටයට

පෘතුගාලයේ වෙරළ තීරය හරහා වැටුණු පාළු මාවතක් ඔස්සේ අධික වේගයෙන් ධාවනය වන නවීන පන්නයේ මෝටර් රථයකි. වහලය විවෘතව ඇති ‘කන්වර්ටබල්’ රථයක් හෙයින් සුළඟට මුසු වී ලෙල දෙන රන් පැහැ කෙස් වැටියෙන්, එය පදවන්නේ නව යොවුන් තරුණියක් බව පැහැදිලි වෙයි. දඟකාර කෙහෙ රැළි අතරින් වරින්වර දිස්වන ඇගේ නෙත් සඟල ශෝකාකූලය.

වත සොවින් බර වී ඇති සෙයකි. නළාව හඬවමින් වෙනත් රථයක් වේගයෙන් පසුකර යන ඇය පාළු ඉසව්වක රථය නවතා ඉන් බැස ඔරු වැල්ල වෙත දිව යයි. පසුපසින් පැමිණි රිය පදවාගෙන ආ තැනැත්තා වේගය බාල කරමින් ඈ ගැන විමිසිලිමත් වෙද්දී, වෙරළේ ගාල් කර ඇති ඔරු අතරින් දිව යන ඈ වහා මුහුදට පැන දියඹට ඇදී යන අයුරු දකියි.

ඇගේ අභිප්‍රාය සිය දිවි හානි කර ගැනීම බව සැනින් වටහා ගත් ඔහු රථය නවතා දුව ගොස් වහා දියට පැන ඇගේ දිවි බේරාගෙන ගොඩට ගෙන එන්නේ දැඩි ආයාසයකිනි. එකෙනෙහිම ඔරු කඳන් අතරින් මෑත්ව එන අවි ගත් මැර පිරිසක් ඇය පැහැර ගෙන යාමට සැරැසෙයි.

අමුත්තා සහ මැර පිරිස අතර මාරාන්තික සටනක් ඇරැඹෙද්දී තරුණිය වහා නැගිට රථය වෙත දිව ගොස් එහි නැගී පලා යයි. සටනේදී එකා පිට එකා වැටෙන තුරු පහර කන මැරයෝ තමන් මෙතෙක් වේලා ගුටි කෑවේ සුපිරි රහස් ඔත්තුකරු වන ජේම්ස් බොන්ඩ්ගෙන් බව දැනගන්නා විට විය යුතුª සියල්ල සිදු වී හමාරයි. කළ උදව්වට ස්තුති කිරීමටවත් නොනැවතී පලා ගිය මෙම රූබර තරුණිය කාගේ කවුද යන පැනය පමණක් බොන්ඩ් ඉදිරියේ ඉතිරි වෙයි.

ඉඔන් ප්‍රඩක්ෂන්ස් සමාගමේ ඊළඟ බොන්ඩ් චිත්‍රපටය ලෙස හැරී සහ බෙ‍්‍රාකොලි විසින් තෝරාගෙන තිබුණේ ‘මෑන් විත් ද ගෝල්ඩන් ගන්’ නවකතාවයි. එහි රූගත කිරීම් කාම්බෝජයේදී සිදු කිරීමට සැලසුම් කර තිබුණත් එවකට එහි පැන නැගී තිබුණු දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් චිත්‍රපටය නිපදවීම කල් දැමුණු අතර, ඒ වෙනුවට තෝරා ගැනුණේ ඉයන් ෆ්ලෙමින් විසින් රචිත ‘ඔන් හර් මැජෙස්ටිස් සීක්‍රට් සර්විස්’ නම් නවකතාවයි.

රිචඩ් මේ බෝම් තිර රචනය ලියූ අතර අමතර දෙබස් රචකයා ලෙස කටයුතු කළේ සයිමන් රැවන්. අධ්‍යක්ෂණය ඔවුන් කලින් කතාකර ගත් පරිදි පසුගිය බොන්ඩ් චිත්‍රපටවල සංස්කරණ ශිල්පියා වූ පීටර් හන්ට් වෙත පැවරුණා. ඊළඟට ඔවුන් අබියස තිබුණ බරපතලම ප්‍රශ්නය වූයේ ෂෝන් කෙනරිගෙන් හිස් වුණු ප්‍රධාන චරිතය සඳහා සුදුසු නළුවෙක් සොයා ගැනීමයි. බෙ‍්‍රාකොලි විසින් තිමති ඩෝල්ටන් නම් බ්‍රිතාන්‍ය ජාතිත නළුවා කැඳවනු ලැබුවත්, තමා බොන්ඩ් චරිතය සඳහා ලාබාල වැඩි යැයි පවසමින් ඔහු එම ඇරැයුම ප්‍රතික්ෂේප කළා.

රොජර් මුවර් ද ‘සේන්ට්’ චිත්‍රපට මාලාව නිසා කාර්යබහුලව සිටි හෙයින් ජෝන් රිචඩ්සන්, හෑන්ස් ඩී ව්රයිස්, රොබට් කැම්බල් සහ ඇන්තනි රොජර්ස් යන නළුවන් කෙරෙහි අවධානය යොමු වූ අතර ඔවුන් තිර පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබුවා. මේ අතර ‘ෆ්රයිස් චොක්ලට් ක්‍රීම්’ දැන්වීම ඇතුළු වෙළෙඳ දැන්වීම් ගණනාවක පෙනී සිටි ඕස්ට්‍රේලියානු ජාතික කඩවසම් තරුණයකු වූ ජෝජ් ලැසන්බ් ඔහුගේ කළමනාකරු රොනන් ඔරයිලි සමඟ ඉඔන් ප්‍රඩක්ෂන් සමාගම වෙත පැමිණියා.

වෙළද දැන්වීම් මඟින් සෑහෙන ප්‍රසිද්ධියක් ලබා සිටි අතමිට සරු පුද්ලයකු වූ ඔහු ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වීම නිසා අධ්‍යක්ෂ පීටර් හන්ට් ඔහුව සම්මුඛ පරීක්ෂණය සඳහා යොමු කළේ ෂෝන් කොනරි වෙනුවෙන් මසා නිමකර තිබූ සෙවිල්රෝ ඇඳුම් කට්ටලයක් අන්දවා, රොලෙක්ස් සබ්මැරිනර් අත් ඔරලෝසුවක්ද අතේ බඳිමිනුයි. සූට් එක ඔහුට නියමෙට ගැළපුණු අතර ඊළඟට ඔහු යොමු කෙරුණේ ඩෝ චෙස්ටර් හෝටලයේ සිටින කොනරිගේ බාබර් වෙතටයි.

ඉන් අනතුරුව ඔහු පෙනී සිටි ප්‍රථම දර්ශනයේදී ඔහුගේ පහරකින් වෘත්තීය මල්ලව පොර ශූරයකු වූ අතිරේත නළුවකුගේ නාසය බිඳී ගියේ අත්වැරැද්දකින්. සියල්ල සලකා බැලූ බෙ‍්‍රාකොලි සහ අධ්‍යක්ෂක පීටර් හන්ට් ඔහු ඊළඟ ජේම්ස් බොන්ඩ් ලෙස තෝරා ගත් අතර ඉදිරි බොන්ඩ් චිත්‍රපට 7 ක් සඳහා ඔහු සමඟ ගිවිසුම් අත්සන් කරනු ලැබුවා.

මෙම චිත්‍රපටයේ කොනරි රඟපෑවේ නම් ඔහුගේ ප්‍රධාන නිළිය ලෙස ප්‍රංශ ජාතික රූමතියක් මෙන්ම දක්ෂ නිළියක් ද වන බ්‍රිජට් බාඩෝ තෝරා ගන්නා ලෙස ඔහු විසින් නිෂ්පාදකයින් වෙත ඉල්ලීමක් කර තිබූ අතර ඇගේ අනුමැතිය ද ඊට ලැබී තිබුණා. ඔවුන් දෙදෙනාගේ ඡායාරූප යොදා පූර්ව ප්‍රචාරක පෝස්ටර් පවා මුද්‍රණය කර මූලික ප්‍රචාරක කටයුත ලක ලෑස්ති වෙමිනුයි තිබුණේ.

කොනරිගේ හදිසි ඉවත් වීම හේතුවෙන් අවසන් මොහොතේ සිය නළු හිතවතා වෙනුවෙන් ඇය චිත්‍රපටයෙන් ඉවත් වීමට තීරණය කළා. ඉන් ඉවත් වූ වහාම ඔවුන් දෙදෙනා ‘ෂලාකෝ’ නමැති බටහිර ගොපලු චිත්‍රපටයක ප්‍රධාන නළු නිළි චරිත සඳහා ගිවිසුම් අත්සන් කරනු ලැබුවා. ඇගෙන් හිස්වුණ ප්‍රධාන නිළි චරිතය සඳහා වරම් ලැබූයේ ‘ද ඇවෙන්ජර්ස්’ චිත්‍රපට මාලාවේ ‘එමා පීල්’ ගේ චරිතය රඟපෑ ඩයනා රිග් නමැති නිළියයි.

බ්‍රොකොල්ගේ තේරීම පරිදි ප්‍රතිවාදී බ්ලොෆෙල්ඩ් ගේ චරිතය රඟපෑවේ එකල ‘කොජැක්’ නමින් ප්‍රකටව සිටි, හිස මුළුමනින්ම මුඩු කරගත් ටෙලී සවාලාස් විසින්. අධ්‍යක්ෂ හන්ට්ගේ අසල්වැසියා වූ ජෝජ් බේකර් එහි උප ප්‍රධාන චරිතයක් වූ ශ්‍රීමත් හිලරි බ්‍රේ ගේ චරිතය රඟපෑවා.

බොන්ඩ් චිත්‍රපටවල යාවජීව චරිත වන ර් සහ ගේ චරිතත් මිස් මනිපෙනි ගේ චරිතයත් පිළිවෙලින් බර්නාඩ් ලී, ඩෙස්මන්ඩ් ලෙවලින් සහ ලුයිස් මැක්ස්වෙල් විසින් නිරූපණය කෙරුණා. ඇල්ප්ස් කඳු වැටියේ පිහිටි බ්ලෝෆෙල්ඩ් ගේ රහස් තිප්පොළේ සිටින ‘මරණයේ සුර දූතිකාවන්’ ගේ චරිත සඳහා ලොව නන් දෙසින් තෝරා ගත් සුරූපී තරුණියන් දොළොස් දෙනා අතර අපේ අසල්වැසි ඉන්දියානු රූමතියක් වූ ‘සාරා’ ද,, නෝර්වේ රූ රැජින වූ ජූලි ඒජ් ද චරිත නිරූපණයෙහි යෙදුණා.

1968 ඔක්ේතීබරයේදී ස්විට්සර්ලන්තයේ කැන්ටන්හිදී මූලික රූගත කිරීම් ඇරැඹුණා. බ්ලොෆෙල්ඩ්ගේ රහස් වාසස්ථානය ලෙස තෝරා ගැනුණේ දර්ශනීය ඇල්ප්ස් කඳු වැටියේ එවකට ඉදි වෙමින් පැවතුණ ‘පිස් ග්ලෝරියා’ නම් සුඛෝපභෝගී අවන්හලයි.

රූගත කිරීමේ පහසුව තකා අදාළ ස්ථානයට විදුලි බලය සහ විදුලි සෝපාන පද්ධතිය ලබාදීමේ සියලු පිරිවැය දරන ලද්දේ නිෂ්පාදක සමාගම විසිනි. හිම මත ලිස්සමින් ලුහුබැඳීමේ අවදානම් දර්ශන සියල්ල රූගත වුණේ ඇල්ප්ස් කඳුකරයේ ‘සාස් ෆී’ සහ ලුතර්බෲනන්හිදීයි.

මෙම අතිශය දුෂ්කර ජවනිකා සඳහා වෘත්තීය හිම ලිස්සුම්කරුවන්ට අමතරව ඔලිම්පික් හිම ධාවකයින් පිරිසකගේ සහාය ද ලබා ගැනීමට සිදු වුණා. හෙලිකොප්ටර් සහ පැරචුට් ආධාරයෙන් සිදු කළ රූගත කිරීම්, යූ ඔන්ලි ලිව් ට්වයිස් චිත්‍රපටයේ ගුවන් දර්ශන කැමරා ශිල්පී ජොනී ජෝර්දාන්ගේ සුවිශේෂ දක්ෂතාවල ප්‍රතිඵලයක්.

ඉතිරිකොටස ලබන සතියේ