වර්ෂ 2012 ක්වූ අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




මම ඒ ලැබෙන ගාණට වඩා රුපියල් පනහක් වැඩියෙ ගෙවන්නම්

මම ඒ ලැබෙන ගාණට වඩා රුපියල් පනහක් වැඩියෙ ගෙවන්නම්

සිළුමිණ පත්තරයේ කවි පිටුවට මම අතරින් පතර කවි ලිව්වෙමි.

සිළුමිණ කර්තෘවරයා වූ මීමන ප්‍රේමතිලක දිනක් කොරිඩෝවේදී මා හමු වූ මොහොතක ළමයො ආස නැද්ද සිළුමිණට වැඩ කරන්න.

ඔය ළමයට සරසවියේ වැඩ කරනවට පඩිය කීයක් ලැබෙනවද? මම ඒ ලැබෙන ගාණට වඩා රුපියල් පනහක් වැඩිය ගෙවන්නම්. කැමැති නම් ඇවිත් මාව හම්බ වෙනව කියා කීවේය.

ලැබෙන පඩියට වඩා තව රුපියල් පනහක් වැඩි නිසා සිළුමිණට යාමට සිත් දුන්න ද පත්තර කලාවට අත්පොත තැබුව සරසවිය දමා යාමට මගේ සිත ඉඩ දුන්නේ නැත.

මට පත්තර කලාවේ අකුරු ටික ඉගැන්නුව විමලසිරි මහතාට පිටුපෑම අනුවන ක්‍රියාවක් කියා මගේ හිත මටම කියන්නට විය.

ඒ වනතුරුත් මා සිතාගෙන සිටියේ විමලසිරි මහතා මාව සරසවියට අරගත් පුද්ගලයා කියාය. මේ හේතු කාරණා සියල්ල නිසාම මම මීමන ප්‍රේමතිලකයන්ට ස්ථිර වචනයක් නොදුන්නෙමි.

පසු කලක මා දැනගත්තේ මගේ සාහිත්‍ය ඇල්ම දැනගත් එවකට ලේක්හවුස් කළමනාකාර අධ්‍යක්ෂ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා මා සරසවියට යොමු කළ බවයි.

1966 දී මට අනපේක්ෂිත ලෙස සරසවියෙන් යන්නට සිදු විය. එයට හේතු වූ සිදුවීම වූයේ මාද නොසිතූ සිදුවීමකි. මම මාස්පතා ලියන ලිපිය වෙනුවෙන් මා හට විමලසිරි පෙරේරා මහතා එවකට විශිෂ්ට ශ්‍රේණියේ ගායිකාවක වූ කෝකිල දේවි වීරතුංග මහත්මිය සමඟ සාකච්ඡාවක් පවත්වා ලිපියක් ලියන ලෙස පැවරුවේය.

මම ඒ අනුව ඇගේ නිවසට ගියෙමි. ඇයව ඉන්ටවීව් කරන අතරේ ඇගේ දියණියක වූ සරෝජිනී මා වෙත තේ කෝප්පයක් රැගෙන ආවාය. ඈ රූමත්ය, සිත්ගන්නා සුළුය.

මාද තාරුණ්‍යයෙන් පිරි පුද්ගලයකු වූ බැවින් මාගේ හද මට ද හොරා ඈ කෙරේ ඇදී ගියේ කාන්දමකට යකඩ කෑල්ලක් ඇදෙන්නා සේය. ඇයව දැකීමෙන් ඈ පිළිබඳ ආල සිතක් මා තුළ පහළ වූවා වැනි හැඟීමක් මා සිත තුළ ඇති විය. මේ ඇති වූ සිතුවිල්ල මගේ හිතේ තබාගෙන එදා කෝකිල දේවි මහත්මියගේ ගෙදරින් ආවෙමි.

සරෝජිනීගේ අයියා කෙනකු වූ ජෝර්ජ් වීරතුංග හා මගේ පියා වූ කීර්ති බණ්ඩාර රණසිංහ බටහිර වෛද්‍යවරුන් වූ බැවින් හොඳ මිත්‍රයන් විය. කෝකිල දේවි ගේ පවුලට සමීපකමක් තිබූ මා මිත්‍රයකු වූ සිතාර් වාදනයෙන් ප්‍රවීණයකු වූ කුලරත්න තෙන්නකෝන් (මා ඔහුට කියනුයේ කුලරත්න අයියා කියාය) ට මා තුළ පහළ වූ සිතුවිල්ල පැවසූවේය.

ඒ පවුල්වල නීති රීති හරි තදයි. ඔය වැඩේ කොහොමත් කරන්න බෑ. ඔයාට රස්සාවක් තියන එකේ ගිහිල්ල කතා කරල බලන්න. කුලරත්න අයියා මට උපදෙස් දුන්නේය.

මගේ දැඩි පෙරැත්තය නිසාම කුලරත්න අයියා මේ ගැන අහන්න භාර ගත්ත ද කේන්දරය බලා මිස සරෝජිනීගේ ගෙදරට අඩියක් තියන්නට අවසර දුන්නේ නැත. කේන්දර ගැලපීමත් සමඟ සරෝජිනීගේ ගෙදරට යන්නට මට අවසර ලැබුණු ගමන් මා සරෝජිනීගේ හිත ගත්තේ උපක්‍රමශීලීවය. ආරාධනා නමින් මා සිළුමිණ කවි පිටුවට සරෝජනී වෙනුවෙන් කවියක් ද ලිව්වෙමි.

එය සුනිල් මාධවයන්ගේ උදව්වෙන් සිළුමිණේ කවි පිටුවේ පළ කර ගැනීමට මට හැකි විය.

ඔය අතරේ සරෝජිනීගේ පවුලේ උදවිය මා පිළිබඳ තොරතුරු සෙවීම අරඹා තිබුණේ ඔවුන් දැන හඳුනාගෙන සිටි එවකට ලේක්හවුස් ආයතනයේ ඡායාරූප ශිල්පියකු වූ ලීල් මෝසස් ගෙන් මා පිළිබඳ තොරතුරු සොයා බලන්නට විය.

මේ අතරවාරයේ මා පිළිබඳ විමලසිරි මහතාට කවුරුන් හෝ වැරැදි තොරතුරක් ලබා දීම නිසා ඔහු මාත් සමඟ සිටියේ දැඩි කලකිරීමකිනි. සරසවිය පත්තරයේ නම විකුණමින් ගැහැනියක් සහේට ගන්නට යෑම ගැන ඔහු තුළ තිබුණේ දැඩි කේන්තියකි.

මෙහි තිබූ ඇත්ත නැත්ත මා විමලසිරි මහතාට පැහැදිලි කිරීමට කොතෙකුත් උත්සාහ ගත්තද එය කිසිසේත්ම පිළිගැනීමට ඔහු පෙළඹුණේ නැත. අවසානයේ විමලසිරි මහතා මාව සරසවියට අනවශ්‍ය බව පැවසූ හෙයින් මට තවදුරටත් එහි රැඳිය නොහැකි විය.

දහසකුත් බලාපොරොත්තු මැද ඉල්ලුම් පත්තර දමා ලේක්හවුස් පැමිණ අවසානයේ රස්සාව ද අහිමිව දෙපැත්තෙන්ම කැපී මම නන්නත්තාර වුණෙමි. මා දැඩි කලකිරීමෙන් ලේක්හවුස් ආයතනයෙන් පිටව යන අතරේ සුනිල් මාධව ප්‍රේමතිලකයන් මා හට හමු විය. එදා කර්තෘවරයකුට දැඩි තීරණ ගැනීමේ හැකියාවක් තිබිණ. ඔහුට කවරකු හෝ අනවශ්‍ය නම් ඔහුව ඉවත් කිරීමේ අයිතිය කර්තෘවරයා සතු විය.

මා මිත්‍ර සුනිල් මාධව මට වූ දෙය ඇසීමෙන් දැඩිව කම්පා වී මාව ඔහුගේ පියාණන් වූ මීමන ප්‍රේමතිලකයන් වෙත කැඳවා ගෙන ගියේය.

තාත්තේ අජන්තව රස්සාවට ගත්තේ නැත්නම් මමත් රස්සාවට එන්නේ නෑ සුනිල් මාධව මගේ අත අල්ලාගෙන සිය පියාණන්ට කීවේය.

මම මේ ළමයට ඔයිට කලිනුත් කිව්වා මම ළඟට එන්න කියලා කෝ මට වචනයක් දුන්නැයැ. මීමන මහතා පැවසුවේය.

එදා සිකුරාදා දවසක් විය. මමත් මීමන මහතාත් හා සුනිල් මාධවත් එකට කාරෙකෙන් ගෙදරට ගියෙමු. එදා සැන්දෑවේ ඇඟපත සෝදාගෙන ගෙදරට ආ මීමන මහතා අඩියක් ගහනවාද යැයි විචාලේය. මීමන මහත්තයෝ මම බියර් එකක් නම් බොනවා. ඒත් පුරුද්දට අඩි ගහන්නේ නෑ යනුවෙන් මම පැවසීමි. ඒ මම කිව්වේ ඇත්තමය. මම ළමයගේ චරිතෙ බලන්න නෙමේ එහෙම ඇහුවේ, ඕනෙ නම් මෙතන සුදු අරක්කුª තියනවා. සුනිල් මාධව මෙතනට එන්න කලින් ඕනෙ නම් ටිකක් ගන්න.

මීමන මහතා මට කිව්වද මම එදා එයට එක් නොවීමි.

පසුදා මම යළිත් ලේක්හවුසියට ගියේ මීමන මහතාගේ ඇරියුමෙනි.

මා ඔහු ළඟට ගිය පසු මීමන මහතා විමලසිරි පෙරේරා මහතා හමුවට ගොස් පැය භාගයක් පමණ කතා කළේය. ටික වේලාවකින් මීමන මහතා පැමිණියේ හෙට ඉඳන් අජන්ත ළමයෝ වැඩට එනවා යැයි පවසමිනි. පසුදා මීමන මහතා ළඟට ගිය මා ඔහු පුස්තකාලයට කැඳවා ගෙන ගියේය.

පළ වූ සිළුමිණ පත්තර ආපස්සට පෙරළමින් ඔහු මට උප කතුවැකිය ලියන්නට කියා දුන්නේය. ඊට උඩ කොටස ඔහු ලියන බව පවසා මට මාතෘකාවක් ලබාදී උප කතුවැකිය ලියන්නට මට භාර කළේය. සිළුමිණ කර්තෘ මණ්ඩලයට ගිය මට මාසික වේතනය ලෙස රුපියල් එකසිය හැත්තෑ පහක් ලැබිණි.

මාස හයක් පමණ එහි වැඩ කරමින් සිටින විට එවක දිනමිණ ප්‍රධාන කර්තෘවරයා වූ ධර්මපාල වෙත්තසිංහ මහතා මීමන මහතාගේ කාමරයට ඇවිත් කිව්වේ හෙට ඉඳලා මෙයා මා ළඟ යනුවෙනි. ඒ අනුව දවසට රුපියල් දොලහයි සත පනහ ගණනේ පඩියකට මා දිනමිණ පත්තරයට ගියේ ස්ථිර සේවකයකු ලෙසටය.

එදා දිනමිණට ගිය මට නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ කරුණාතිලක මහතා කිව්ව දේ මතක් වුණි. අප එදා කට්ට කෑවා. බැනුම් ඇසුවා. වැරැදි කෙරුව.

වැරැදි බොහොමයක් එඩ්මන් රණසිංහගේ කර පිටින් ගිය අවස්ථා තිබුණි. එවන් අවස්ථාවල රණසිංහ මහතා මට දෙවියෙක් මෙන් පිහිට වුණි.

මොන වැරැද්ද හෝ පරිපාලනයට දැනගන්න නොතියා කොහොම හරි සේප් කරන්න ඔහු වග බලා ගත්තේය. මීමන ප්‍රේමතිලක, එස්. සුබසිංහ, ධර්මපාල වෙත්තසිංහ, පෙරමුණේ තිලක, බන්දුල මෙත්තානන්ද වගේ පරිනත පත්‍ර කලාවේදීන්ගේ ඇසුර මට ලබන්න හැකි වුයේ ලේක්හවුස් ආයතනයට පින් සිදු වන්නටය. එඩ්වින් ආරියදාස මහතාගෙන් ලැබුණු ගුරුහරුකම් ද මගේ ලේක්හවුස් ජීවිතයේ අමතක කළ නොහැක.

කෙසේ වෙතත් විමලසිරි පෙරේරා ඒ හිත හොඳ මහා පත්තර කලාවේදියා ද අමතක නොකළෙමි.මම සරසවියේ සිටින කාලයේ කිසිදු සරසවිය සම්මාන උළෙලකට සහභාගි නොවුණෙමි.

ඒත් සිනමා අඹරේ දිදුලන සම්මානයක් වූ සරසවිය සම්මානයට මාද පාත්‍රවීමට ලැබීම ජීවිතයේ ලැබූ තවත් භාග්‍යයක් විය. කරුණාරත්න අබේසේකර එවක ගී පද රචනා කළ ගීතයන් නිතර ගුවන් විදුලියේ ප්‍රචාරය විය.

ඔහු විසින් රචනා කළ ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මට වාසනා, මා අමතන්න සනසන්න මගෙ වාසනා ගීතය අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ හඬින් ගැයෙන කොට මටත් ඇති වුණා ගීත රචනා කරන්න.

ඒ අනුව මාත් ගීත රචනා කරන්න ලොකු ඇල්මක් ඇති කරගෙන සිටියෙමි. එලෙස මා රචනා කළ ගීත තුනක් වසර කීපයකදී සරසවිය සම්මානයට පාත්‍ර විය.

84 දී ඈතින් ඈතට චිත්‍රපටයේ බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනිම් . . . 85’ දී ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයේ පාලු සුසානේ ප්‍රේම පුරාණේ . . . 95’ දී සුවඳ දැනී දැනෙනවා උදා හිරු එළියේ . . . ගීත තුන සඳහා හොඳම ගීත රචනය සඳහා මට සරසවිය සම්මානය හිමි විය. සරසවිය පත්තරය ඔස්සේ ලේඛන කලාවට අත්පොත තැබූ මා හට සරසවිය මගින්ම මගේ ගීත රචනා වෙනුවෙන් සම්මාන පිරිනැමීමත් මට අදහාගත නොහැකි සතුටට කරුණක් විය.

මගේ පත්තර කලාවේ ආරම්භය වූයේ සරසවිය බව මම අදත් මහත් ආඩම්බරයෙන් කියමි. එදා මම සරසවියේ පටන් සෑම පුවත්පතකටම ලියූ ලිපි සියල්ල එකතු කොට මහත් ආශාවෙන් සුරක්ෂිත කර ඇත්තෙමි. මම ගැන පත්තරවල පල වූ ලිපි ද ඒ අයුරින්ම එකතු කොට තබා ඇත්තෙමි.

මගේ ජීවිතයට විශාල ගෞරවයක් එක්කර දුන්නේ ද සරසවිය බව මම හොඳාකාරවම දනිමි. ලේක්හවුස් ආයතනය නිසා මගේ ජීවිතයට ලැබුණු දේ අපමණය. සරසවිය පත්තරය නිසා මා ජීවිතයේ ලැබූ වටිනාකම මිල කළ නොහැකිය. ලේක්හවුස් ආයතනයට මා ණයගැතිය. වසර පනහක් සපුරන සරසවිය පත්තරයට මා හිස නමා ආචාර කරන්නේ ඒ මගේ පත්තර කලා ජීවිතයේ තිඹිරි ගෙය නිසාය.

ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ගිය ද ඒ හරහා මා ගොඩ නගා ගත් නාමය නිසාම එදත් අදත් මා රැකියාවන් අතර ඉහළින් වැජඹෙමින් දෝලනය වූයේ ලේක්හවුස් නාමයේ තිබූ අමරණීයත්වය නිසා බැව් මා හද පත්ලෙන් සිහිපත් කරමි.