වර්ෂ 2012 ක්වූ අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




හැඳි, ගෑරුප්පු, සාස්පාන් මැද පුංචි සාජ්ජයක්. . .

හැඳි, ගෑරුප්පු, සාස්පාන් මැද පුංචි සාජ්ජයක්. . .

මැස්සෝ එළෙව්වාට උදයන්තිට පැසසුම්....

ෂූටිං අස්සේ තොප්පියට විදලා...

තොප්පි... තොප්පි... තොප්පි ලාභයි.

ගන්න මහත්තයෝ මේවා ඉම්පෝර්ටඩ් තොප්පි....

මහරගම පමුණුව පාරේ ජනාකීර්ණවූ එක්තරා තැනක නානාවිධ තොප්පි ගොඩක් මැදට වී වෙළෙන්දෙක් කෑ මොර දෙයි.

ඔහුගේ හඬින් ඇදගත් බොහෝ පිරිසක් එතැන වටකරගෙන තොප්පි තෝරයි. ඒ අය අතර සුදු මිටි මහත නළුවෙකි. ඔහු අන්කවරකුවත් නොව ඔබ හොඳින් හඳුනන මිහිර සිරිතිලකයි.

මෙදා පාර කාටද තොප්පියක් දාන්න හදන්නේ?

මම මිහිරගේ පිටට තදින් තට්ටුවක් දැම්මෙමි.

අප්පටසිරි, ලොකු අයියා මෙහෙ කොහෙද? හරි හරි අපි යන යන තැන්වල ඔයාලා ඉන්නවානේ. බලන්නකො මේක මට ලස්සනද කියලා?

කළු පැහැති හැට් එකක් පැළඳ ඔහු මගෙන් විමසයි.

අවුලක් නැහැ. ඒත් මොකද මේ....

ජයප්‍රකාශ් සිවගුරුනාදන්

අද සිවගුරුනාදන් අයියගෙ ‘පිනි වැස්සක්’ නාට්‍යයේ ෂූටිං. ඒකේ මම රඟපාන්නේ රිබත් කියලා චරිතයක්. ඒකේ මං ඉන්නේ තොප්පියක් දාගෙන. ඔයාට මතක ඇති...

ඔව්, මට මතකයි. ඒත් ඔයාගේ කලින් තොප්පිය....

ෂ්...ෂ්...ෂ්... කෑගහන්න එපා. පොඩ්ඩක් මෙහාට එන්නකෝ. මටත් වුණේ අර තොප්පි වෙළෙන්දට වෙච්ච වැඩේ. බ්‍රේක් එකක් මැදදි තොප්පිය ගලවලා ඉස්තෝප්පුවෙ පුටුවකට වෙලා පොඩ්ඩක් නිදිය ගත්තා. නැගිටින කොට තොප්පිය අතුරුදහන්. හෙව්වා.. හෙව්වා.. හෙව්වා.. නෑ...උඩත් බැලුවා ගත්ත වඳුරා උඩ ඉන්නවද කියලා. ඒත් නැහැ.

මිහිර එලෙස කීවේ රහසිනි.

යංකෝ ලොකු අයියේ ලොකේෂන් එකට.

අපි ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ නවතම ටෙලි සිතුවම වූ ‘පිනි වැස්සක්’ දර්ශන තලයට ආවෙමු.

මේ ඉන්නේ මිහිරයා. කොහෙද බං ගියේ... ආ...යාළුවකුත් හම්බවෙලා තියෙන්නේ.

ඒ අප හඳුනාගත් සිවා අයියාය.

මං ගියා පොඩි රේසරයක් ගන්න. කාලෙකින් රැවුල කපා ගන්නත් බැරි වුණා.

මිහිර පත ගජබින්නයක් අත හැරියේය.

සිවා අයියේ රොබින් මහත්තයා නිදි. අපිට ඊළඟ සීන් එකට එයාව ඕනකරනවා. මං ඇහැරවන්නද?

සහාය අධ්‍යක්ෂ සිවගුරුනාදන්ට පවසයි. ඔහු කියන්නේ රොබින් ප්‍රනාන්දු ගැනය. පොඩ්ඩක් පිටපත ගේන්නකෝ.

සිවා පිටපත පෙරළා බලා, අපිට රොබින් අයිය නිදාගෙන ඉන්න පොඩි සීන් එකක් තියනවා. අපි ඒක ගනිමු ටක්ගාලා. ලයිට් සෙට් කරන්න එතෙන්ට.

ඇක්ෂන් නොකියාම රොබින් නිදාගත් දර්ශනය රූගත කරන ලදී.

රාත්‍රිය උදා වුණා...
නින්ද ඇයි නොඑන්නේ...
රාත්‍රිය උදා වුණා...

නිවසෙහි මුලුතැන්ගෙය පෙදෙසින් කිසියම් අයකු හෝ දෙදෙනකුගේ ගැයීමක් ඇසේ. ඔවුන් තාලය ඇල්ලීමට ගෙන තිබුණේ හැඳි සාස්පාන් වැනි දෑ බව පැහැදිලිය. මම එතැනට ගොස් විපරම් කළෙමි.

එම කුඩා සාජ්ජය අමිල අබේසේකරගේය. ක්‍රමයෙන් එය උත්සන්නවන ආකාරයක් පෙනින.

කවුද අර කොත්තු ගහනවා ඇහෙන්නේ?

අංග රචනා ශිල්පි සනීර දිනේෂ් සාජ්ජයට වඩා උස් හඬින් ඇසීය. කෙසේ නමුත් එම කෙටි සාජ්ජය නතර වූයේ තවත් ගීත කිහිපයක් ගැයීමෙන් අනතුරුවය.

දැන් තේ පැන් සංග්‍රහය සඳහා මද විරාමයකි. පිරිස විශාල බැවින් ඒ සඳහා සකස්කොට තිබුණේ මිදුලේ මේසයක්ය. තේපානය පටන් ගත්තා පමණි කොහෙන්දෝ සිට පැමිණි මැස්සන් රෑනක් එහි අරක් ගත්තේය. ඔවුන් එලවීමේ වගකීම නිතරගයෙන්ම භාර ගත්තේ උදයන්ති කුලතුංගය. අපි සැවොම තේ බී අහවර වනතුරු උදයන්ති මැස්සන් එලවීමේ ව්‍යාපාරයේ යෙදී සිටියාය. සෙස්සෝ ඇයට ස්තුතිය පිරි නැමුවෝය.

පුතා මං අර නිදාගෙන ඉන්න සීන් එක ගත්තෙ නැහැ නේද?

රොබින් සහාය අධ්‍යක්ෂවරයාට පැනයක් යොමු කළේය.

අපි ඒක ෂූට්කළා රොබින් මහත්තයෝ.

කොයි වෙලාවෙද?

ඔයා ඇත්තටම නිදා ගෙන හිටපු වෙලාවෙ.

මොකක්...?

එදිනට පසු රොබින් ප්‍රනාන්දු ‘පිනි වැස්සක්’ දර්ශන තලයේ නිදා නොගත් බව පසුව මට ආරංචි විය.

’පිනි වැස්සක්’ හි සෙසු නළු නිළියන්.

රෙක්ස් කොඩිප්පිලි, ශිරෝෂි රොමේෂිකා, ලූෂන් බුලත්සිංහල, සම්පත් ජයවීර, ගිරිරාජ් කෞශල්‍ය, හෂිනිකා කරලියද්ද, සුසන්තා චන්ද්‍රමාලි, ගයනා සුදර්ශනී

නිෂ්පාදනය - කුෂාන් ටෙලි ෆිල්ම්ස්.

රචනය - චින්තක පීරිස්.

සංස්කරණය - තිසර සමන්ත පෙරේරා.

කැමරාකරණය - ජී. නන්දසේන.

සහාය අධ්‍යක්ෂණය - ෂෙහාන් ඉද්දමල්ගොඩ.

කලා අධ්‍යක්ෂණය - දිනේෂ් ජයශාන්ත

අංග රචනය - සනීර දිනේෂ්

ගී පද රචනය - කැලුම් ශ්‍රීමාල්.

ගායනය - අමල් පෙරේරා