වර්ෂ 2012 ක්වූ අගෝස්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




මතක රූප

මතක රූප

රූප පොතේ මතක කියන්නේ අපේ හෙළ සිනමාවේ සුන්දර මතක සැමරුම් එකතුවක්. ඒ අතීතයට තියෙන ඔබේ කැමැත්ත නිසාමයි සරසවිය මතක පොතට රූප පෙළක් එක් කරන්නටත් තීරණය කළේ. අදත් අපේ මතක පොතට හෙළ සිනමාවේ සොඳුරු මතක සැමරුම් රූප පෙළකට පෙළ ගැසුණේ මේ ලෙසයි.

දඩයක්කාරයන්ගේ එකතුව

මේ පිරිස සැරසෙන්නේ සරසවිය සම්මාන කීයක් දිනා ගන්නට ද කියාල නම් දන්නේ නැහැ. නමුත් මේ ඉන්න පිරිස දැක්කම අති විශිෂ්ට සිනමා සිත්තමක් නිර්මාණය කරන්නට යන වග නම් හොඳටම පැහැදිලියි.

හෙළ සිනමාවේ විශිෂ්ට රංගධරයකු වන රවීන්ද්‍ර රන්දෙණිය එදා මේ සැරසුණේ තම රංගන ජීවිතයේ සුවිශේෂී චරිතයක් වූ ජයනාත්ගේ චරිතය නිරූපණයටය. ඒ වගේම ප්‍රවීණ කැමරා ශිල්පි ඩොනල්ඩ් කරුණාරත්න, දකුණ පසින් ඉන්න විශිෂ්ට සිනමාවේදී වසන්ත ඔබේසේකර සහ මේ මැද ඉන්න එවකට සහාය අධ්‍යක්ෂවරයෙක් වගේම සම තිරනාටක රචකයෙක් වූ ක්‍රිස්ටි ෂෙල්ටන් ආදීන් අතින් එදා නිර්මාණය වූයේ දඩයම චිත්‍රපටයයි. කා අතරත් කතාබහට මෙන්ම සම්මානයට පාත්‍ර වීමට දඩයම සුදුසුකම් ලැබීය. එදා දඩයම වැනි විශිෂ්ට නිර්මාණ බිහි කිරීමට දායක වූ ක්‍රිෂ්ටි ෂෙල්ටන් අද පුංචි තිරයේ ටෙලි නාට්‍ය නිර්මාණයටත් දායක වෙලා.

ජෝඩු ජෝඩුමයි ඉන්නේ

මේ ඡායාරූපයේ ඉන්නේ අපේ හෙළ සිනමාව රංගනයෙන් ඔපවත් කළ යුගල දෙකක්. හෙළ සිනමාවේ පළමු නිළි රැජන වගේම ගීත කෝකිලාවිය රුක්මණී දේවි, විකට රජු එඩී ජයමාන්න සමඟ රෝයි සුමනා යුවල තමයි මේ ඉන්නේ.

මේ චිත්‍රපටයේ රෝයි තරුණ පොලිස් නිලධාරියෙක්ගේ චරිතය නිරූපණය කරද්දී සුමනාට නම් මහළු චරිතයක් තමයි නිරූපණය කරන්න සිදු වුණේ. අපේ හෙළ සිනමාව ඔපවත් කළ මේ සුපිරි තරු එදා මේ ලෙස එක්වූයේ සමන්මලී චිත්‍රපටයේදීය. එඩී, රුක්මණී අපගෙන් සමුගෙන ගියද මේ මතක සමගින් රෝයි, සුමනා යුවල අදත් සිනමාව බබළවන්නේ යොවුන් තරු යුගලක් ලෙසිනි.