වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මතක රූප

චිත්‍රකතාවක් - චිත්‍රපටයක්

අපේ සිංහල සිනමා ඉතිහාසයේ සුන්දර මතක නම් අසීමිතය. නමුත් ඒ අසීමිත මතක හැමෝගෙම හිත්වල තිබුණත් තවත් කෙනෙකුට දකින්නට ලැබෙන ඡායාරූප නම් ඉතාම සීමිතයි. ඒ වගේ ඉතාම දුර්ලභ ඡායාරූප කිහිපයක් අදත් මතක පොතට එකතු කරන්නට සරසවිය තීරණය කළා. බලන්න ඒ මතක කෙතරම් නම් සුන්දර ද කියල.

රක්තා කියන්නේ ලංකාවේ අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටයක්. දයා රාජපක්ෂගේ චිත්‍ර කතාවක් අනුව නිෂ්පාදනය වූ රක්තා අධ්‍යක්ෂණය කළේ ගාමිණී හේවාවිතාරණ. මේ එහි එක් දර්ශනයක ඡායාරූපයක්. තාත්තයි පුතයි ලෙස මෙහි චරිත නිරූපණය කරන්නේ මර්වින් ජයතුංග සහ රොබින් ප්‍රනාන්දු. මේ තාත්තා නම් දැන් ජීවතුන් අතර නැහැ. මේ ඡායාරූපයේ වටිනාකම වැඩි වන්නේ ඒ කාලේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් රක්තා හි කැමරාව මෙහෙය වූ පසු කලක චිත්‍රපට අධ්‍යක්ෂ ඩැනී ඩබ්ලිව්. පතිරණ හා ගාමිණී හේවාවිතාරණත් ඉන්න නිසා.


මතක ගොඩක් – පිරුණු තැනක්

මේ තමයි දුකට සැපට ඉන්න මිත්‍රයෝ. වාඩි වෙලා ඉන්නේ අපේ හෙළ සිනමාවේ හිටපු ප්‍රවීණතම රංගධරයෙක් වන ජෝ අබේවික්‍රම.

ජෝගෙන් දුක සැප අහන්නේ පේනව නේද, කොහොමද වැඩේ, ඔක්කොම හරි චිත්‍රපට නිෂ්පාදක වගේම බිශ්වා ෆිල්ම්ස් සහ විශාකා මහල් අධිපති විජයපාල හෙට්ටිආරච්චි, පසුගියදා ජන්ම ශත සංවත්සරය සපිරුණු හියුගෝ ප්‍රනාන්දු, විකට රජෙක් වූ ඇන්තනි සී. පෙරේරා සහ සිනමා නළු හර්බට් අමරවික්‍රමයි. ඇත්තටම මේ ජෝ රෝහල්ගත වෙලා ද නැත්නම් රූගත කිරීමක් අතරෙදි ද කියල නම් දන්නෙ නැහැ. ඒ මේ කට්ටියම ඇවිත් තියෙන්නේ ජෝගේ දුක සැප බලන්න තමයි. කොහොම වුණත් ජෝ ඇතුළු මේ යාළුවන් සියලු දෙනාම රස මතක රැසක් අපට ඉතිරි කරල යන්න ගිහින්.