වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




Wanted අප්පු Without කුලප්පු

Wanted අප්පු Without කුලප්පු
 

ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරාට 80 යි

ජූලි 27 වැනිදා, ඉටිපන්දම් අසුවක් දැල්වෙන දිනය, අපේ සිංහල සිනමාවට ද සුබම සුබ දිනයකි. ඒ අපේ සිනමාවේ ජ්‍යෙෂ්ඨයාගේ අසූවැනි ජන්ම දිනය එදිනට යෙදී ඇති නිසයි. ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, නම ඇසුවත් මුවපුරා හිනා යන රංගන පෞරුෂයක්, මතකයක් අපට ඉතිරි කළ සහෘද කලාකාරයා, ජීවිතයේ අසූ වැනි සැතපුම් කණුව අසල සිට, සරසවියසමඟ අතීත සොඳුරු මතක අවදි කළේ අද ඊයේ අත්දැකීම් මෙනෙහි කරන පරිද්දෙනි.

‘1949 රේඩියෝ සිලෝන් එකට ගිය ගමන තමයි මාව මෙච්චර දුර ගෙනාවේ. තේවිස් ගුරුගේ මහත්තයාගේ ‘මාසික රැඟුම්’ වැඩ සටහනේ කොමික් කෑලි මාව නොහිතපු ගමනක් ගෙන ගියා. ඒක හීනයක් සැබෑවීමක්.

කොළඹ ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ ඉපදිලා, කොටහේනේ ශාන්ත ලුසියා ඉංග්‍රීසි පාසලෙන් ඉගෙනුම ලබද්දී මගේ එකම හීනය වුණේ ජනප්‍රිය නළුවෙක් වෙන එක. මං වගේම අපේ පන්තියේ ඒ වගේ හීන මවලා, ඒවා සැබෑ කර ගත්ත තවත් දෙන්නෙක් හිටියා. එක් කෙනෙක් ප්‍රේම් ජයන්ත් (ඇත්ත නම එමානුවෙල් රොද්‍රිගූ). අනෙකා ඒ. බී. ක්‍රිස්ටි පෙරේරා. ප්‍රේම් ජයන්ත් දක්ෂ චිත්‍ර ශිල්පියෙක්, ජනප්‍රිය නළුවෙක් වුණා. ඒ. බී. ක්‍රිස්ටි පෙරේරා දේශපාලනය තෝරා ගත්තා.

තාත්තාත් නැතුව මාව හදා ගත්ත අම්මගේ හීනය වුණේ තාත්තා වගේම මාව වරායේ රස්සාවට අරින්න. ඒත් මගේ හීනය ජය ගන්න පුළුවන් වුණා.

මාසික රැඟූම් වැඩ සටහන කළාම රුපියල් දහයක් අතට හම්බ වුණා. ඒකෙන් සත 5 ක් වියදම් කරලා ට්‍රෑම් කාරයෙන් කොටහේනට ගියා. ඒ කාලෙ අපි හිටපු ගෙදර කුලිය රුපියල් අටයි.

මාසික රැඟුමේ ගැයූ ‘කුල්ලෙන් පොළා පොළා’ වැනි ගීත ඒ කාලේ ජනප්‍රිය වුණා. එච් එම් වී තැටිවලට ගී ගයන්න ලැබුණා. ‘අලි නැව් එන කොළඹ නගරේ’ ගීය ජෝති සමඟ ගැයුවා. ‘ටිකිරි ළඳේ මී පැණි බිඳේ’ ගීයේ සහය ගායිකාව වුණේ නන්දා මාලිනී කියන දැරිවියි.

‘සුජාතා’ පුරා මාස හයක් තිරගත වෙන කොට, පන්තියේ යාළුවා ප්‍රේම් ජයන්ත් ප්‍රධාන නළුවා ලෙසින් ජනප්‍රිය වෙන කොට මගේ නළු පිස්සුව හොඳටම වැඩි වුණා. වරද කාගෙද සිනමා පටයට නළුවකු සොයා පුවත්පත්වල දැන්වීම් පළ වුණේ ඔය කාලෙදීයි. මේ නළුවෙක්, ගායකයෙක් කියලා ප්‍රේම් ජයන්ත් මාව සුන්දරම්ට හඳුන්වලා දුන්නා. එතැනදී මගේම විකට නිර්මාණයක් කරලා පෙන්නුවා. ‘වෝන්ටඩ් අප්පු – විතවුට් කුලප්පු’ ඒ විකට රසාංගයයි. ගෑනු පිරිමි හඬවල් දෙකම කරමින් කරපු විහිළුවට සුන්දරම් ජෝඩුවටම ඉල කැඩෙන්න හිනා.

මාව චරිතයකට තෝර ගත්තා. චරිත රඟපාන්න ඉල්ලුම් කරපු සිය දහස් ගාණක් පාරේ. දැන් අපි චරිතෙට අවශ්‍ය කෙනාව තෝරා ගෙන ඉවරයි කිව්වත් මේ අය යන්නෙ නැහැ. සමහරු මූදෙ පනිනවා කියලා කෑ ගහනවා. පොලීසිය ගෙනෙල්ලයි මොවුන් ඉවත් කළේ.

මාත් සමඟ සිනමාස් සමාගම ගිවිසුමක් ගැහුවා.

1954 දී ‘වරද කාගෙද?’ චිත්‍රපටියේ ගෙබෝ චරිතයට රුපියල් දෙදාහක් ගෙව්වා. රඟපෑමට ඉන්දියාවට යන්න වුණා. ඉන්දියාවට යන්න අම්මාගෙන් අවසර ගන්න ප්‍රේම් ජයන්ත් අපේ ගෙදර ආවා.

ඉන්දියානු ගමන හරිම සුන්දර අත්දැකීමක්. ඉන්දියාවෙන් ආ පසු ගුණරත්නම් මහතා මට රැකියාවකුත් සොයා දුන්නා. ඒ වෙන කොට එස් එස් සී සමත් වෙලයි හිටියේ. මට කිංස්ලි සිනමාහලේ සහකාර කළමනාකාර වරයා ලෙස වැඩ කරන්න ලැබුණා. ඒත් මේක හරි කරදරකාරී වැඩක් කියලා හිතුණේ ‘වරද කාගෙද?’ චිත්‍රපටියේ පූර්ව දර්ශන පෙන්වන විටයි. සෙනඟ මං වටේ පිරෙන්න ගත්තා. ඒ පාර ගුණරත්නම් මහතා හමුවෙලා චිත්‍රපටි ගබඩාවේ සහකාර කළමනාකරු ලෙස රැකියාව කළා.’

චිත්‍රපටිවල රඟපාන ගමන් රැකියාව කළා. රදළ පිළිරුව, දුප්පතාගේ දුක, සූරයා, සුකුමලී, සල්ලි මල්ලි සල්ලි, සුනීතා, සේපාලි, සිරිමලී, සුන්දර බිරිඳ, වීර විජය, අදට වැඩිය හෙට හොඳයි, චණ්ඩියා, වගේ චිත්‍රපට ගණනාවක රඟපෑවා. සිරිමලී, ධීවරයෝ, සිතක මහිම, ඔක්කොම හරි, සූර චෞරයා, වනසරා, චිත්‍රපටවල රඟපෑමට අමතරව ගී ගැයුවා.

සුකුමලී චිත්‍රපටියේ බූරුවකු පිට නැඟී කළ‘අපි යන්ට යමු’ ගීත රංගනය හරි ජනප්‍රිය වුණා.

රඟපාන්න ගිහින් තරු විසිවුණු අවස්ථාත් ඕනෑ තරම්. සුකුමලී චිත්‍රපටියේදී බූරුවාගේ පිටින් වැටුණා. ධීවරයෝ චිත්‍රපටියේදී කකුළුවෝ ඇඟ පුරාම දිව්වා. සිරිමලී චිත්‍රපටියේදී වඳුරෙක් මාව හැපුවා.’

අසූ වියැති මේ ජ්‍යෙෂ්ඨ නළුවාට සිනමාව හා ජීවිතය යනු දෙකක් නොව එකක් විය. සිනමාවෙන් බැහැරව ඔහුගේ ලොවෙහි රජ කළේ එකම එක නමකි. ඒ ‘අම්මා’ යන නමයි. කලා ලෝකයේ අම්මා වෙනුවෙන් ජීවිතයම කැපකළ කලාකරුවන් අතර ක්‍රිස්ටිගේ නම ද මුලින්ම රැඳෙයි. ක්‍රිස්ටි විවාහයක් කර ගත්තේ ද 1979 දී අම්මා මිය යාමෙන් පසුයි. ‘හැම අලුත් අවුරුද්දෙම බුලත් දෙන කොට පුතේ මේ අවුරුද්දෙවත් බඳින්න කියලා අම්මා කියනවා. හිත සතුටු කරන්න මාත් හා කියනවා. ‘අම්මා කියා පිදිය හැකි එකම ළඳකටයි’ ගීය ගැයුවේත් අම්මා වෙනුවෙන්මයි.’

වයස අවුරුදු හතළිස් එකක් වූ පසු ක්‍රිස්ටිට බිරියක් නොව දෙවැනි මවක් වූයේ මේරි ලොරිටා රේචල් පෙරේරායි. මේ දෙන්නාගේ සොඳුරු මංගල්‍යයේ සතුට බෙදා ගන්න වීණා, සන්ධ්‍යා, සබීතා, ස්ටැන්ලි, ගීතා, ජෝතිපාල, විජය කුමාරතුංග ඇතුළු නළු නිළියෝ සැවොම එක් වූහ. විජය කුමාරතුංග මංගල්‍යයට පැමිණියේ යශෝදරා දූ උපන් දිනයේයි.

දෙදෙනාගේ කැදැල්ලට තෙවැන්නෙකුත් එක්වන්නට ආවත් සොබා දහම ඊට එරෙහි විය. අද විශ්‍රාමික ගුරුවරියක වන මේරිගෙත්, ක්‍රිස්ටිගෙත් තනි නොතනියට අපූරු මයිනා පැංචකු ද එක් වී සිටියි.

අසූ වෙනි උපන් දිනයට දැන් සියල්ල සූදානම්ය.

‘එදාට පල්ලියට ගිහින් පූජාව පවත්වනවා. දුප්පත්, වයසක අයට කෑම පාර්සල් බෙදනවා. නෑයෝ, හිතවත්තු එක්ක සතුටු වෙනවා.’ ඒ ක්‍රිස්ටි නම් අප ජ්‍යෙෂ්ඨ කලාකරුවාගේ උපන් දින සැලැස්මයි.

මේ සැලැස්මත් සමඟ ඔහු සිනමාවේ කාටත් මතක තබා ගත යුතු පාඩමක් කියා දෙන්නත් අමතක කළේ නැහැ.

‘සිනමාවේ කාටත් අත පාලා නෑ. මැරුණම පෙට්ටිය ගන්න අනෙක් අයගෙන් සල්ලි එකතු කරන්න ඕන නෑ. සිනමාවෙන් හම්බ කළා. හම්බ කළ දේ ඉතිරි කළා.’ කලක් තිරයේ විකට රජකු වු ඔහු රජකුª වගේ පවසන්නේය.

* රසිකයන්ට අදත් මං ආදරෙයි.

මගේ ලිපිනය, බී 14, 2/3, මාළිගාවත්ත, කොළඹ 10.

දුරකතන අංකය 011/2458646.