වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර

බොනිපස් ඇගයීම ගෞරවයකි

හැටේ දශකයේ ජනප්‍රිය තරුවක් වූ දැනට ජීවතුන් අතර සිටින පැරණිම රංගන ශිල්පියෙකි බොනිපස් ප්‍රනාන්දු. සුදෝ සුදු, රම්‍යලතා, සිරිමලී, සුවිනීත ලාලනී, සුහද දිවිපිදුම, සුළලිත සෝභනී, සැනසිලි සුවය ඇතුළු චිත්‍රපට රාශියක රඟපෑ ඔහු අගැයීමට ලක්වූයේ ඉතාම සුළුවෙනි.

ඉදිරියේදී පැවැත්වෙන සම්මාන උළෙලයන් හිදීවත් මෙම ජ්‍යෙෂ්ඨ රංගනවේදියාව අගයනවා නම් ඒ ඔහුට වගේම සමස්ත සිනමාවටම කරන්නා වූ මහත් ගෞරවයකි.

ඉහළ තල්දූවේ - ආනන්ද වික්‍රමආරච්චි.

‘ධර්මදාසයෙනි ‘ඔබේ හඬට ඉඩක් නැද්ද ?

ආශ්වාදජනක ධර්මදාස වල්පොල ගී රාවය,

කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා යුදට උපන් කුමරා යැයි නම පතළ වුණා, කොවුලන් හඬයි විටෙක කුහුලක් වගෙයි සිතට වන මලින් එන සුවඳ නැතිනම් බයයි යන්න අම්මා ඉතින් දැක්ම නෑනේ.

ඔහුගේ ඒ සුවහසක් ආත්මයන් සුවපත් කළ මියුරු නදට අද මාධ්‍යවලින් ඉඩක් නොමැති වීම අභාග්‍ය සම්පන්නයි.

බන්දුල මල්ලවආරච්චි - ගම්පහ.

ගීතා කුමාරසිංහ ට

ගීතා කුªමාරසිංහට හබරාදූවේ ගාමා ගාමිණී සුබසිංහ ලියා එවූ පැදි පෙළකි මේ.

සළරූ සැරසූ ලොකු දූ හැඩකාරී
සමන්මලිය ඔබ ගීතා කුමරිය අප රිදී තිරේ
යළි යළි දකිනට සළරූ මත හෙට දිනයේ
පතනෙමු අපි සැම පේළි ගැසී
රසික ලොවෙන්

ආදරයේ කඳුළු බිඳක් සේ වරෙක දුටු
ආදරයේ පිරුණු සඳක් සේ යළි දු දුටු
නැටුමෙන් ගැයුමෙන් රැඟුමෙන් පෑ අයුරූ
අදමෙන් සැමදා මතකයි තාමත් අපට හුරූ

සත්‍ය ඉදිරියේ කිසිවිට ඔබ දෙවැනි නොවූ
වරද අභියසෙත් කිසිවිට පසුපසට නොවූ
අභීත හඬකින් පෙරමුණෙ වැජඹෙන්නාවූ
යුව රාජණි ගීතා ඔබයි තිරයේ රූ ලලනාවූ

මිල්ටන් උදෙසා කිසිවක් නැත

මෙරට මියගිය බොහෝ කලාකරුවන්ගේ නමින් මාවතක්, සංගමයක් හෝ ඔවුන් වෙනුවෙන් අවුරුද්දක් පාසා ගුණසමරු උළෙලක් තිබේ. නමුත් ගීත කේෂත්‍රයට, සිනමාවට අනගිභවනීය මෙහෙවරක් ඉටුකළ මිල්ටන් මල්ලවආරච්චි උදෙසා එවැන්නක් නැත.

රටට වැඩදායී කර්තව්‍යක් ඉටුකළ මිල්ටන්ව නොසලකා හැරීම බලවත් අසාධාරණයකි. ඔහුගේ අසමසම විරහව මුසු ගී හඬ අනුකරණය කරනවා තියා ඔහුගේ ළඟින් තැබීමටවත් කෙනකු බිහිවී නොමැති බව නිර්භයව කිව හැකිය. මිල්ටන් ගැන මීට වඩා යමක් කළ හැකිනම් එය ඔහුට පිනක් වනු ඇත.

සපුමල් සේනාරත්න- කළුතර

බර්ටි චරිතාංග නළුවෙකි

සබඳ පබිලිස්, ඇත්කඳ ලිහිණියා වැනි ටෙලි සිතුවම් තුළ මනරම් රැඟුම් ඉදිරිපත් කළ බර්ටි නිහාල් සුසිරිපාල අපට සිටින දක්ෂ චරිතාංග නළුවෙකි.

රඹුක්කන - සරත් විජයානන්ද

නිරෝෂන්ගේ වෙස් ගැන්වීම ඉස්තරම්

නිරෝෂන් විජේසිංහ අමා ටෙලි සිතුවමේ වැඩිහිටියකු ලෙස ඉතාම ප්‍රසංසනීය රංගනයක යෙදෙනවා. යොවුන් වුවත් වෙස් ගන්වා වෙනස් කළ ඔබව අඳුනාගන්නටත් බැරිතරම්.

මීගමුව කටුවාපිටියේ ක්ලෝඩ් ද ලිවේරා සහ නාලිනී ලිවේරා.

දමිළ සංගීත අධ්‍යක්ෂකවරු අප සිත් තුළ රැඳී ඇත

ආර්. මුත්තුසාමි, දක්ෂිණ මූර්ති, එස්.එස්. වේදා, ටී. ආර්. පාපා, සී. රාමචන්ද්‍රන් වැනි දමිළ සංගීත අධ්‍යක්ෂවරු අපේ චිත්‍රපටවලට සැපයූ සංගීත ඛණ්ඩ ඉතා අමරණීයයි. මොවුන් අප සිත් තුළ සදාකල් රැඳී ඇත.

කපුගොඩ මාළිඳ සරසවි නිවසේ - සරත් රණසිංහ.

මේනක, පුබුදු දීප්තිමත් තරු යුවළක්

මේ දිනවල පුංචි තිරයේ හරි හරියට රංගනයේ යෙදෙන මේනක රාජපක්ෂ සහ පුබුදු ගමගේ දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන තරු යුවළකි.

යූ. ජී. පාලිත කුමාරසිංහ ගඩලාදෙණිය

රන් එෆ්. එම් අපව අතීතයට ගෙන යයි

රන් එෆ්. එම්. හි ප්‍රචාරයවන “වයර්ලස් ගීත “ ඉතාම හොඳ වැඩසටහනකි. එහි දී පැරැණි ගීතයක මුල් කෘතිය අසන්නට ලැබේ. එමඟින් නොදැනීම අපව අතීතයට ගෙන යයි.

නිමල් කුලසේකර - මොරටුව

මීගමුව පුරවරයෙහි ඉපිද හැදී වැඩී එහිදීම කලාවේ මුලකුරු කියවූ රිචඩ් මානමුදලි වඩාත් කලඑළියට එන්නේ පාස්කු සමයේය. මීගමුවේ සංවිධානයවන පාස්කු නාට්‍යයන් හි පෙරමුණෙහි සිටින ඔහු විශිෂ්ට රංගන ශිල්පියකු බව කටපුරා කිව හැකිය.

රිදී ඉට්ටංකරය ටෙලි සිතුවමේ කලක් කතා බහ කළ හැකි චරිතයක් රැඟූ ඔහු බහු බූතයෝ චිත්‍රපටයේද කැපී පෙණුනු රංගනයක නියැළුනු අයුරු අදත් මට මතකය. සමාජයට ඉතාම කලාතුරකින් පහළවන මෙවන් කලා කරුවන්ගෙන් නිසි ප්‍රයෝජනයක් ගැනීම අදාළ පුද්ගලයන්ගේ වගකීමකි.

ජෝසන් වැන්දබෝනා- මීගමුව, කුරණ

ෂෙල්ටන් ඔබ තවමත් අප අතර

සිනමාව හදාරණ ශිෂ්‍යයන්ට ගුරුවරයකු වූ “ගොළු මුහුදේ කුණාටුවක් “ වැනි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ ෂෙල්ටන් පයාගල සදා අමරණීය චරිතයකි. සමුගෙන ගොස් වසර කිහිපයක් ගතවුවද ඔබ අප අතර සිටීයැයි හැඟේ.

ප්‍රභාත් රාජපක්ෂ - නාවලපිටිය

රිචඩ් මානමුදලිට

මීගමුව පුරවරයෙහි ඉපිද හැදී වැඩී එහිදීම කලාවේ මුලකුරු කියවූ රිචඩ් මානමුදලි වඩාත් කලඑළියට එන්නේ පාස්කු සමයේය.

මීගමුවේ සංවිධානයවන පාස්කු නාට්‍යයන් හි පෙරමුණෙහි සිටින ඔහු විශිෂ්ට රංගන ශිල්පියකු බව කටපුරා කිව හැකිය.

රිදී ඉට්ටංකරය ටෙලි සිතුවමේ කලක් කතා බහ කළ හැකි චරිතයක් රැඟූ ඔහු බහු බූතයෝ චිත්‍රපටයේද කැපී පෙණුනු රංගනයක නියැළුනු අයුරු අදත් මට මතකය.

සමාජයට ඉතාම කලාතුරකින් පහළවන මෙවන් කලා කරුවන්ගෙන් නිසි ප්‍රයෝජනයක් ගැනීම අදාළ පුද්ගලයන්ගේ වගකීමකි.

ජෝසන් වැන්දබෝනා- මීගමුව, කුරණ

S.M.S

0757413731

අර්නස්ට් සොයිසා, උපාලි කන්නංගර, කීර්ති පැස්කුවල්, සරත් ද අල්විස් අතුළු පිරිස යළි එක් වූ සුපර් ස්ටාර් බෑන්ඩ් එක නිර්මාණය කොට වඩාත් අර්ථාන්විත සංගීත ප්‍රසංගයක් අප බලාපොරොත්තු වෙමු.

මිලින්ද, කටුගස්තොට


ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ මේ වසන්ත කාලයයි ටෙලි නාට්‍යය ඉතාමත් හොඳයි. එකකැන පල්වන මෙගා නාට්‍ය නිසා හෙම්බත් වුණු රසික සිත්වලට මල් වැස්සක් බඳු මෙම ටෙලි සිතුවමෙහි රඟ පෑ නළු නිළියන්ටත් අධ්‍යක්ෂතුමන්ටත් මගේ ප්‍රණාමය පිරි නමමි.

ලසන්ති - යටියන්තොට


සිනමාවේ, පුංචි තිරයේ මවගේ, මිත්තණියගේ චරිත මනාව නිරූපණය කරන සීතා කුමාරි නම්වූ ඇයට මම දීර්ඝායු පතමි.

දයාන් ප්‍රේමතිලක - ගම්පහ


දහස් ගණනින් සිත් ගීතයෙන් සනහාලූ වික්ටර් රත්නායක සංගීතවේදියාණෙනි “ ස” සමාප්ත කළ ඔබගේ ගී රාවය කිසිදු දිනක සමාප්ත නොවේ.

නිලූප මධුෂාන් - කැස්බෑව


ඔෂීන් නැවත විකාශය කිරීමට තීරණය කිරීම පිළිබඳ මා තුළ ඇත්තේ නිමා නොවන සතුටකි.

චමරි - රත්නපුර


‘ඔබ තරම් පෙම් කළ කිසිවෙක්’ ගීතය මේ දිනවල හරිම ජනප්‍රියයි. එය ගයන්නේ තීක්ෂණ අනුරාධ. ඔහුගේ ළයාන්විත හඬින් එම ගීතය ඇතුළු තවත් ඒවා අප වෙනුවෙන් ඔහු ගයා ඇත. මට දැණෙන පරිදි අප හදවත් සොරා ගැනීමට මෑත කාලයේ බිහි වූ හොඳම ගායකයා ඔහුය.

ලක්මාලි වරකපොල