වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




අම්මා මට යෝධ සෙවනැල්ලක්

අම්මා මට යෝධ සෙවනැල්ලක්

- තිසුරි යුවනිකා

ඇය පුංචි තිරයේ අහිංසකම යුවතිය. තවත් විටෙක ඇය අසාධාරණයට දැඩි ලෙස විරුද්ධව යුක්තිය වෙනුවෙන් සෘජුව කතා කරන තරුණියක්. උප්පත්තියෙන්ම රංගනය උරුම කර ගනිමින් කලා ක්ෂේත්‍රයට පය තැබූ ඇය අද වන විට සාර්ථක තරුණ රංගන ශිල්පිනියක්.

තිසුරි යුවනිකා කලා ලෝකයට පය තැබුවේ වයස අවුරුදු පහක තරම් පුංචි වයසකදී. ඒ කුමාරසිරි අභයකොන්ගේ ‘ඊශ්වර සති’ ටෙලි නාට්‍යයෙන්. එහිදී ඇගේ මව වන ප්‍රවීණ නිළි සුසන්තා චන්ද්‍රමාලි සමඟ අම්මයි දුවයි ලෙස රඟපාන්න වරම් ලබා ගැනීමට ඇය වාසනාවන්ත වුණා. සිය මවගේ අඩි පාරේ යමින් ඇයත් අද නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. ප්‍රදීප් ධර්මදාසගේ ‘ඇහිපිල්ලමක් යට’ මෙන්ම සවීණා, වන්දනා වැනි ටෙලි සිත්තම්වලින් ද ඇය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගැනීමට සමත් වුණා. ඒ තිසුරි මේ දවස්වල දඟකාර පෙම්වතියක්.

ඉතිං තිසුරි මොනවද මේ දවස්වල අලුත්ම විස්තර?

ටෙලි නාට්‍ය දෙක තුනකටම දායක වෙලා ඉන්නවා. ජනක සුරංජිත්ගේ බොරලු පාර ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට අමතරව රවීන්ද්‍ර විජේරත්නගේ තූර්යා ටෙලි නාට්‍යයේ වැඩ කටයුතුත් කරගෙන යනවා.

කාලෙකට පසුව සිනමාවට දායක වෙන්නත් අවස්ථාව ලැබුණා නේද?

ඔව්. සිවදාසන් අංකල් සහ සුනිල් ටී. අංකල් දරුවනේ චිත්‍රපටයට ආරාධනා කළා. එහි දුලානිගේ චරිතය ටිකක් වෙනස් චරිතයක්. ටිකක් දඟකාරයි. මම ගොඩාක් ආසාවෙන් කළ චරිතයක්. එහි පූර්ව ප්‍රචාරක දැන්වීම් දැකපු අයගෙන් දැනටමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන සතුටුයි.

සිවදාසන් වැනි අධ්‍යක්ෂවරයෙක් සමඟ කටයුතු කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

මීට පෙර ඔහු සමඟ වැඩ කරල තිබුණෙ නැහැ. එයත් හරියට පොඩි ළමයෙක් වගේ. ඒ වගේම හරිම හොඳයි. ගොඩාක් සැහැල්ලුවෙන් රූගත කිරීම් කළේ. රූගත කරද්දී දන්නෙම නැතුව දවස ගත වෙලා ගියා.

දරුවනේ රූගත කරද්දී සිදු වූ රසවත් සිදුවීම් එහෙමත් ඇති නේද?

එක දර්ශනයක් තිබුණා මම විශ්ව අයියාට (ප්‍රියන්ත) කෝල් එකක් ගන්න. නමුත් ඒකට පිළිතුරු දෙන්නෙ එයාගෙ අයියා. ඒ කියන්නේ ජනක කුඹුකගේ. ඒ වෙලාවෙදි මම කෝල් කළේ නෑ වගේ හයියෙන් වෙන යාළුවකුට කෑමක් හදන හැටි කියල දෙන්න ඕන. හැබැයි ඒක කියන්න ඕන ගොඩාක් හයියෙන් කෑ ගහල. ඉතිං ඒක කරන්න මුලින්ම මට ලැජ්ජා හිතුණා. නමුත් කොහොම හරි ඒක කළා.

ඔබ පුංචි කාලෙදි රඟපෑව උඩුගං යාමය චිත්‍රපටය ගැනත් මතක් කරමු. එහි රංගනයට සම්මානයකුත් හිමි වුණා නේද?

සුදත් දේවප්‍රිය අංකල්ගේ උඩුගං යාමය චිත්‍රපටය ළමුන් දෙදෙනකු වටා ගෙතුන කතාවක්. එහි ටිකිරිගේ චරිතයට තමයි මම පණ පෙව්වේ. ඒ අවස්ථාව මට ලැබුණේ මගේ වාසනාවට. ඒ කාලේ මම පහ වසරේ අධ්‍යාපනය හදාරමින් සිටියේ. නමුත් එය තිරගත වුණේ ඊට අවුරුදු පහකට පස්සේ. ඒ සඳහා මට ජනාධිපති කුසලතා සම්මානයක් හිමි වුණා.

ඒ මතකය අලුත් කළොත්?

ඇත්තටම ඒ චිත්‍රපටයේ මම රඟපෑවේ නැහැ. එහි අධ්‍යක්ෂක සුදත් දේවප්‍රිය අංකල් අපිත් එක්ක වැඩ කළේ හරිම සැහැල්ලුවෙන් තමයි හිටියේ. රඟපානවා කියල දැනුණේ නැහැ. එහි සාර්ථකත්වයට ඒක ගොඩක් බලපාන්න ඇති.

පොඩි කාලේ වගේ නෙවෙයිනේ දැන් ලැබෙන්නේ පෙම්වතියගේ චරිතම නේද?

දැන් ලැබෙන්නේ ඒ වගේ චරිත තමයි. ඒවා ඒකාකාරී වගේ වුණත් මම හැම විටම වෙනසක් කරන්න උත්සාහ කරනවා. ඇඳුම් පැළඳුම්, කොණ්ඩ මෝස්තර, දෙබස්වලින් වෙනසක් කරන්න හැකි තරම් උත්සාහ කරනවා. මං හිතනවා ඒක සාර්ථකයි කියලා. ඒ නිසා මට ඒකාකාරී බවක් දැනෙන්නේ නැහැ.

ඔබට ලැබුණ චරිත අතර වැඩියෙන්ම ආසා කරන චරිතය?

මට ලැබුණ හැම චරිතයක්ම ගොඩාක් ආසාවෙන් තමයි කළේ. ඒ අතරේ රුක්මල් නිරෝෂ් අයියාගේ ‘සුළඟ මත මොහොතක්’ ටෙලි නාට්‍යයේ ලැබුණ චරිතයෙන් මට යමක් කරන්න පුළුවන් වුණා.

ඔබේ මව ප්‍රවීණ රංගන ශිල්පිණියක්. ඇය ගැන ඔබේ අදහස?

ඇය තමයි මගේ ගුරුතුමිය. මට හැම දේටම උපදෙස් දෙන්නේ ඇය තමයි. කලා ක්ෂේත්‍රය පිළිබඳ ඇගේ දැනුම පළපුරුද්ද ගොඩාක් ඉහළයි. මම හැම දේම කරන්නේ ඇයගෙන් අහල තමයි. මගේ අම්මා තමයි මගේ හෙවණැල්ල.

රංගන කටයුතුවලදී පවුලේ අයගෙන් ලැබෙන සහාය?

අම්මයි තාත්තයි ගොඩාක් ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ දෙන්නම මගේ අඩුපාඩු පෙන්නල දෙනවා. පවුලේ අනෙකුත් නෑදෑයන්ගෙනුත් හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ වගේමයි මගේ යාළුවෝ වගේම රසික රසිකාවියන්ගෙනුත් ලැබෙන සහාය ගොඩක් ආදරයෙන් මතක් කරනවා.

රිදීී තිරයේ තවත් ආරාධනා ලැබිල තියෙනවද?

දරුවනේ චිත්‍රපටයෙන් පසු ආරාධනා ලැබුණෙ නැහැ. මම ආසා කරන, යමක් කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත් ගෙදර අයගේ අවසරය ඇතිව භාර ගන්නවා.

ළඟදීම ඔබව දකින්නට ලැබෙන්නේ?

දරුවනේ චිත්‍රපටයට අමතරව ජනක සුරංජිත්ගේ ‘බොරලු පාර’ සහ රුක්මල් නිරෝෂ්ගේ ‘සුළඟ මත මොහොතක්’ ටෙලි නාට්‍ය දෙකෙන් ප්‍රේක්ෂකයන් හමුවට එනවා.