වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මිනිසකුට විදින්න පුළුවන් උපරිම වේදනාව මම වින්දා

මිනිසකුට විදින්න පුළුවන් උපරිම වේදනාව මම වින්දා
 

ආනන්ද පෙරේරා

ජීවිතය, මිහිරි ගීතයක් හෝ මියුරු සත්සර නාදයක් තරමට සුන්දර නැත. සංගීතය සිය ආත්මය කොටගත් විශිෂ්ට ගණයේ ශිල්පියකු හට පවා එය එක සේම අදාළ වේ. දශක තුනක් පුරාවට සප්ත ස්වරයේ ආනන්දයෙන් අප ප්‍රමෝදයට පත් කළ ආනන්ද පෙරේරා ගේ මේ අතිශය සංවේදී කතාව අපට පසක් කර දෙන්නේ එකී සත්‍යයයි.

ආනන්ද යනු සැබෑම සංවේදී, සරල, නිහතමානී කලාකරුවෙකි. මේ ගුණාංගයන් නිසා කලා ලොවේ මෙන්ම පෞද්ගලික ජීවිතයේත් ඔහු ‘හිත හොඳ මිනිසකු’ ලෙස නම් දරා සිටියේය. එහෙත් මේ හිත හොඳ මිනිසා සමඟ දෛවය ඕනෑවටත් වඩා උරණ වී දෝයි සිතෙන්නේ ආනන්දට පසුගිය කාලයේ විඳින්නට සිදු වූ අතොරක් නැති දුක්ඛ – දෝමනස්සයන් නිසාවෙනි.

ජීවිතයේ අවාසනාවන්තම දිනය සේ දින පොතේ නැතත් ආනන්දගේ හදවතේ ලියැවී ඇත්තේ 2006 ඔක්තෝබර් 03 වැනිදා බව නිසැකය. ඔහුගේ දයාබර පුත් ඉසුරු ලක්ෂිත පෙරේරා රුදුරු පිළිකා මාරයාට ගොදුරුව ජීවිතයෙන් සමු ගත්තේ එකී අවාසනාවන්ත දිනයේය.

නමුත් ආනන්දගේ ජීවන ගමන් මගට අපල කාලය උදා වූයේ ඊටත් පෙරය. බෙහෝ සැහැල්ලුවෙන්, සතුටෙන් තම සෞන්දර්ය චාරිකාවේ නියැළි ඔහු හිටි හැටියේ රෝගාතුර විය. ඒ 2003 වසෙර්ය. ආනන්ද ඒ අහිමිරි අතීතය අපට පවසන්නේ දිග සුසුමක් පිට කරමිනි.

මට හදිසියේම අංශභාග රෝගය වැළඳුණා. එක් පැත්තක් පණ නැතිව ගියා. ඇත්තෙන්ම ඒ මොහොතේ මම ගොඩක් අසරණ වුණා. රෝගී තත්ත්වය නිසා මට පෙර පරිදි සංගීත ප්‍රසංගවලට සහභාගි වෙන්න බැරි වුණා. අවසන් වරට මම ‘සිහ ශක්ති’ සංගීත කණ්ඩායමත් එක්ක සංගීත ප්‍රසංගයකට සහභාගි වුණේ 2003 වසරේ දෙමටගොඩ මංසන්ධියේදී. රෝගී තත්ත්වය නිසා චිත්‍රපට, ටෙලි නාට්‍යය සංගීත අධ්‍යක්ෂණය වගේම අනෙක් සියලුම සංගීත කටයුතුª මග හැරුණා. ඒත් වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීමත් උනන්දුවත් නිසා මාස තුනකින් විතර මට සුවය ලැබුණා.

ඉන් පසු ආනන්ද තම සංගීත කටයුතුවල නියැළුණේ පෙර පරිදිම කාර්යබහුල නොවීමට වග බලා ගනිමිනි. ඒ වෛද්‍ය උපදෙස් මතය. සියල්ල සාමාන්‍ය පරිදි සිදු වෙමින් තිබිණ. සිය බාල පුතණුවන් පිළිකා රෝගයට ගොදුරුව ඇති බව ආනන්ද ඇතුළු පවුලේ සමීපතමයන් දැන ගත්තේ ඔය අතරතුරය.

පුතාව බේරා ගන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. භාර – හාර වුණා. පුද පූජා තිබ්බා. ඒත් අන්තිමේදී එයා අපි හැමෝම දාලා එයාගේ ලෝකයට ගියා.

එවර නම් ආනන්ද සිය නෙත් කෙවෙනි අග සිරවුණ කඳුළු කැට සඟවා ගන්නට ගත් වෑයම සාර්ථක වූයේ නැත. කඳුළු අතරින් ආයාසයෙන් හිනැහෙන්නට උත්සාහ දරන මේ අවිහිංසක මිනිසා දෙස මම නිසොල්මනේ බලා සිටිමි.

කළු ගලක් මෙන් දැඩි සිතැත්තකුට පවා විඳ දරා ගන්නට නොහැකි මෙවැනි සිදුවීමක්, මල් පෙත්තක් වන් සුසිනිඳු හදවතක් ඇති ආනන්ද වැනි සංවේදී මිනිසකු, දයාබර පියකු කෙසේ විඳ දරා ගත්තාදැයි මා නම් දන්නේ නැත. සැබැවින්ම එය දන්නේ ඔහුගේ හදවත පමණක්ම විය යුතුය.

සියල්ල එතැනින් නිම වූයේ නැත. මී උණ රෝගය වැළඳීම නිසා නැවතත් ආනන්ද රෝගාතුර වූයේ 2007 වසෙර්ය. දෛවයට අවනත වනු විනා ඊට අභියෝග කරන්නට ආනන්දට හැකියාවක් තිබුණේ ද නැත.

ජීවිතයේ දෛවෝපගත දේවල් අපට විඳින්නටම වෙනවා. ඇත්තෙන්ම මේ ජීවිතයට ලැබුණ අත්දැකීම් කියලත් වෙලාවකට හිතෙනවා. මිනිසකුට විඳීන්න පුළුවන් උපරිම වේදනාවල් මම වින්දා. මම දෙවතාවක් අසනීප වුණා. තුන්වැනි පාර තමයි ගොඩක් අමාරු තත්ත්වයට පත් වුණේ. අංශභාග රෝග තත්ත්වය මට එතරම් බලපෑවේ නෑ. ඒත් මී උණ රෝගය නිසා තමයි මගේ වකුගඩුවලට හානියක් සිදු වෙලා තියෙන්නේ. මුලදී මම ඒ බව දැනගෙන හිටියේ නෑ. මට දියවැඩියා රෝගයත් තිබෙන නිසා ඒකත් බලපාන්නට ඇති. පසුගිය අවුරුද්දේ මැයි මාසේ වෙන කොට රෝග තත්ත්වය උත්සන්න වුණා. හුස්ම ගැනීමේ අපහසුව, ඇවිදීමේ අපහසුව වගේ දේවල් තිබුණා. දවසක් මංගල උත්සවයකට ගිහින් එද්දී මට හොඳටම අපහසු වුණා. ඊට පස්සේ හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගත්තා. එතනදි තමයි දැනගත්තේ වකුගඩු දෙක නරක් වෙලා කියලා. සෑහෙන කාලෙක ඉඳන් මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිට වීමේ රෝග තත්ත්වයකුත් මට තිබුණා. පේරාදෙණිය රෝහලේ වකුගඩු අංශයේ ප්‍රධානි දොස්තර වසීඛල් යටතේ පරීක්ෂණ කිහිපයක් කරලා තමයි ලෙඩේ හොයා ගත්තේ.

වකුගඩු දෙකම නරක් වෙලා තිබුණා?

ඔව්. එක වකුගඩුවක් සම්පූර්ණයෙන්ම අක්‍රීයයි. අනෙක 65% ක් විතර අක්‍රිය වී තිබුණා. ඒ නිසා ඉක්මණින්ම වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය වුණා. ඒ සඳහා ඇත්ත වශයෙන්ම වකුගඩුවක් පරිත්‍යාග කළේ මගේ සංගීත ආයතනයේ ඉගෙන ගන්නා සිසුවියකගේ මවක් විසින්. ඉතාම ඉක්මණින් වකුගඩුවක් ලැබීම මම හිතන්නේ විශාල භාග්‍යයක්. මොකද මට වෛද්‍යවරු උපදෙස් දීලා තිබුණා රුධිර කාන්දුකරණය දිගු කාලයක් කිරීමෙන් රෝගියා දුර්වල වෙන බව. රෝහලේ වෛද්‍යවරුන්, හෙද, හෙදියන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය මා ගැන විශේෂයෙන් සොයා බලා මාව දිරිමත් කළා මේ සැත්කම ඉක්මණින් කරන්න. ජූලි 01 වැනිදා රෝහල්ගත වෙලා සැප්තැම්බර් 01 වැනිදා සැත්කම සිදු කර අවසන් වුණා. මා වෙනුවෙන් වෙහෙස වූ ඒ සෑම දෙනකුටම මා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ.

දැන් ඔබ සම්පූර්ණ  සුවයෙන්ද?

යම්, යම් ශාරීරික අපහසුතා තවමත් තිබෙනවා. විශේෂයෙන්ම පෙර පරිදි වාදනය කිරීමට අපහසුයි. ඒත් ගීත ගායනය නම් කරන්නට පුළුවන්. වෛද්‍යවරුන් කියන විදිහට කාලයත් එක්ක මේ සියලු අපහසුතා දුරු වී යාවි. දැනටමත් මම ටික, ටික වාදනය කරනවා. ශරීරය මහත්වීම, නිදිමත ගතිය වගේ අතුරු ආබාධ මේ ඖෂධ භාවිතය නිසා ඇති වී තිබෙනවා. ඉතින් ඒවා මග හැරෙන්න කාලයක් යනවා.

ආනන්ද පවසන්නේ අනාගතය පිළිබඳ සුබවාදී ආකල්පයකින් යුතුවය. සැබැවින්ම වැටෙමින්, යළි නැගිටිමින් මේ දුෂ්කර ගිරි දුර්ගයේ දිරියෙන් පිය නගන ඔහුට සවියක් වන්නට සහෝදර කලා ශිල්පීන්, හිතවතුන් මෙන්ම රසික, රසිකාවන් ද මේ මොහොතේ් පෙළ ගැසී සිටීම ආනන්දගේ වාසනාවකි.

මේ ක්ෂේත්‍රයේ මම ඇසුරු කළ සියලු දෙනාම පාහේ මට අඩුම වශයෙන් වචනයෙන් හෝ ශක්තියක් වී තිබෙනවා. ඒ වගේම අමෙරිකාව, එංගලන්තය, ප්‍ර‍්‍රංශය, ඉතාලිය වැනි රවල ඉන්න රසිකයන්, හිතවතුන් පවා මට කතා කරනවා. උදවු උපකාර කරනවා. තවමත් ඒ අයට මාව, මගේ ගීත මතකයි. ඒ මානසික ශක්තියත් හේතුª වන්නට ඇති මට තදබල ලෙස රෝගාතුර නොවෙන්නට. ඇත්ත වශයෙන්ම අපි කවදත් සංගීත ක්ෂේත්‍රයේ හොඳ දෙයක් නේ කරන්න බැලුවේ. ඉතින් මේ අවස්ථාවේ පවා එය අගය කරන විශාල පිරිසක් ඉන්න එක ගැන හිතට හරිම සතුටුයි.

සංගීතය වෘත්තියක් ලෙසින් පවත්වාගෙන ගිය ආනන්ද පසුගිය කාලයේ එම කෂේත්‍රයෙන් බැහැරව සිටියේ රෝගී තත්ත්වය නිසාමය. ඔහුගේ බෙහෙත් සහ වෛද්‍ය කටයුතුª සඳහා මසකට රුපියල් 54,000 ක පමණ මුදලක් වැයවේ.

ආනන්දගේ සහෘද හිතවතුන් ඔහුට යම් පිළිසරණක් වන්නට, ඔහුගේ දිවි ගමනට ශක්තියක්, ධෛර්යයක් වන්නට අදිටන් කර ගත්තේ මේ පසුබිම යටතේය.

හෙට (27) සවස 6.30 ට මහරගම යොවුන් රඟහලේ ‘ආනන්ද නින්නාද’ ගී ප්‍රසංගය පැවැත්වෙන්නේ ආනන්දගේ සුබසාධන කටයුතු සඳහා අරමුදලක් ආරම්භ කිරීම සඳහාය.

ඒ සඳහා දිවයිනේ ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය ගායක, ගායිකාවන් තිහක පිරිසක් නොමිලයේ ආනන්ද වෙනුවෙන් ගීතවත් වනු ඇත. මහින්ද බණ්ඩාර ගේ සත්සර නියාමනයෙන් මේ ප්‍රසංගය සඳහා වාද්‍ය ශිල්පීන්ද සහභාගි වන්නේ කිසිදු අය කිරීමකින් තොරවය.

මේ ප්‍රසංගය සඳහා ආචාර්ය වික්ටර් රත්නායක, ටී. එම්. ජයරත්න, අමරසිරි පීරිස්, කීර්ති පැස්කුවල්, රූකාන්ත - චන්ද්‍රලේඛා, සුනිලපෙරේරා, අතුල - සමිතා, නිහාල් නෙල්සන්, එඩ්වඩ් - චරිතා, නිරෝෂා විරාජිනී, කසුන් කල්හාර, රෝහණ බෝගොඩ ඇතුළු ශිල්පීන්, ශිල්පිනියන් ගායනයෙන් දායක වෙනවා. මහින්ද බණ්ඩාර ඇතුළු වාදකයන් පවා නොමිලයේම තමයි මා වෙනුවෙන් මේ උතුම් කාර්යයට දායක වෙන්නේ. කීර්ති පැස්කුවල්, නවරත්න ගමගේ, ලාල් ද සිල්වා, උපුල් පෙරේරා සහ බුලිත ප්‍රදීප් කුමාර ඇතුළු මගේ දයාබර හිතවතුන් මේ ප්‍රසංගය සංවිධානය කිරීමේදී මට කරන්නට කිසිම දෙයක් ඉතුරු කර තිබුණේ නැහැ. ඒ අය ඉතාමත් සැලසුම් සහගතව මේ කාර්යය සිදු කරන්නට උපරිම වෙහෙසක් දැරුවා. මගේ බිරිය මංගලා පෙරේරා, පුතා තාරක සහ අචිනි දුවත් මේ මොහොතේ මට ලොකු ආශිර්වාදයක්. එයාලා හැමෝටම ගොඩක් පින් . . .

ආනනද්ගේ දෑස් මත යළිදු කඳුළක් දිළිසේ. එය මැඬ ගනිමින් සිනා සෙන්නට ඔහු වෑයම් කරයි. ඒ සිනහව කෙතරම් අව්‍යාජ සහ අවිහිංසකදැයි මට සිතේ. සප්ත ස්වරයෙන් විශ්මිත රටා මැවූ මේ මහා ගාන්ධර්වයාට, සොඳුරු මිනිසාට ඔබේ ප්‍රණාමය පුද දෙන්නට, ඔහු හා මොහොතක් කතාබහ කරන්නට හොඳම දවස උදා වෙන්නේ හෙටය. ඔබේ පැමිණීම ආනන්දගේ ජීවිතයට නව ප්‍රාණයක් එකතු කරනු නිරනුමානය.