වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




එන්න ටෙනී ගේ සිහින සේයා හැඩ බලන්න

ඉල්ලුමට සැපයුම දීලා මං වෙනස් උනේ
 

මගේ චිත්‍රපටය ටෙලි නාට්‍යයක් වගෙයි කියන අයට දොස් කියන්නේ නැහැ

චන්ද්‍රරත්න මාපිටිගම සිහිනය දිගේ එන්න ගැන කතා කරයි

ඔහුගේ නිර්මාණාත්මක පරාසය පුළුල් එකකි. මෙවර මේ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයා‘සිහිනය දිගේ එන්න’ යන සිනමාත්මක ආරාධනාව සමඟින් වසර දහයකට පසු රිදී තිරයට පැමිණ සිටියි.

එය මෙතෙක් තිබූ මාපිටිගම සළකුණ බිඳ දැමූ චිත්‍රපටයක් බව බොහෝ දෙනෙකුගේ මතයයි.

එමෙන්ම ටෙලිවිෂනයට වැහි ලිහිණි ද රැගෙන තවත් වෙනස්ම කතිකාවතක් ගොඩ නැගීමට හෙතෙම වෑයම් කරයි.

ඒ පූර්විකාව ප්‍රවීණ අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගමයන් සඳහායි. සිහිනය දිගේ එන්න වැඩි වශයෙන් කේන්ද්‍ර කොට ඔහු සමඟ කළ අදහස් හුවමාරුවක සංක්ෂිප්ත සටහනකි මේ.

‘සිහිනය දිගේ එන්න’ කාලයක් තිස්සේ ඔබේ සිතේ තිබුණු සිහිනයක් යැයි මා කිව්වොත් එය නිවැරැදිද?

සත්‍ය වශයෙන්ම. මෙය මා වසර දහයක් පුරාම මැව්ව සිහිනයක් . මට එය සැබෑ කරගන්න නිෂ්පාදකවරයකු සිටියේ නැහැ. නිෂ්පාදක සමන්ත රණසිංහ හමුවීමත් සමඟම ඉක්මනින් මෙහි වැඩ කටයුතු පටන් ගත්තා. මේ සිහිනය ඇත්තටම විශේෂයි. ඒ ගැන පසුවට කියන්නම්.

ඒ සිහිනය ගැන ඔබ තෘප්තිමත්ද?

ඊට වැය කරපු මුදල්, ශ්‍රමය, කාලය එක්ක බලන කොට මට තෘප්තිමත් වෙන්නට පුළුවන්. මේ වන විට ලැබෙන ප්‍රතිචාරත් ඒ තෘප්තිය දෙගුණ තෙගුණ කළා.

ඔබ පෙර සිනමාවට දායාද කළ නිර්මාණයන්හි තේමාව වූයේ ලිංගිකත්වය. ඒවා බොහොමයක් වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ තිරගත වූයේ. ඇයි ‘සිහිනය දිගේ එන්න’ ඊට හාත්පසින්ම වෙනස් මානයකට ගෙන ගියේ?

‘සිහිනය දිගේ එන්න’ තමයි මගේ සිනමා දිවියේ දෙවැනි උපත සිදු වුණේ. මම ඒක තමයි පසුවට කියන්නම් කියූ විශේෂකම. මම මගේ භාවිතාව මේ චිත්‍රපටය උදෙසා වෙනස් කළා. පොදුවේ රසිකයන්ට කතා කරන්නට මට මේ මොහොතේ උවමනා වුණා. මගේ කලින් චිත්‍රපටයන් නරඹා සිහිනය දිගේ එන්න බැලූ බොහෝ දෙනෙකු පුදුම වුණා. ඒ මාපිටිගමමද මේ කියලා. සීමිත පිරිසකට චිත්‍රපට නිර්මාණය එක්තරා අයුරකින් අභාග්‍යක්. මට ඒ බව තේරුණේ ‘සිහිනය දිගේ එන්න’ නැරැඹීම සඳහා පවුල් පිටින් යන අන්දම දුටුවාම.

ඔබ පවසනවා සිහිනය දිගේ එන්න ඔබේ සිනමා දිවියේ දෙවැනි උපත හැටියට. ඇයි එය සිදුවන්නට වසර දහයක්ම ගත වුණේ?

මගේ සිනමා රීතිය උඩු යටිකුරු වුණේ මගේ පරිණතභාවයත් එක්ක. එය එක පාරටම සිදුවන එකක් නෙවෙයි. ක්‍රමයෙන් වන්නක්.

එදා හිටිය මම නෙවෙයි අද ඉන්නේ. දැනුමෙන් පවා අද මං මුහුකුරා ගිහින්. මම නෙවෙයි කොයි කවුරුන් වුවත් දවසකින් දෙකකින් පැසුණු පුද්ගලයන් බවට පෙරළෙන්නේ නැහැ. ඊට කාලයක් යනවා. මගේ ඒ කාලය තමයි මං සිනමාපට නොකර හිටපු වසර දහය.

ඔබේ ඔය කතාව මම පිළිගන්නේ නැහැ. චිත්‍රපටයේ සමහර රූප රාමු දිග හැරෙන අන්දම, කතාවේ ගලා යාම සහ පිටපත ගැන විශ්ලේෂණය කරද්දී ඔබේ ඔය පරිණතකම එතැන නොමැති නිසා? හරිම ලාමක ගතියක් සිනමාපටය පුරාම තියෙනවා?

මම ඔය තර්කය සම්පූර්ණයෙන්ම බැහැර කරන්නේ නැහැ. සිනමාපටයෙහි අඩුපාඩු ඇති. අපිට ෂූටිං සඳහා තිබුණේ සීමිත දින ගණනක්. එයද මේ සඳහා බලපෑවා. පිටපතත් දුර්වලයි කියලා ඔබ කිව්වා. නමුත් මේ තුළ ඇති සංසිද්ධිත් එක්ක තිර නාටකය තවත් සම්භාව්‍ය කළොත් ඒක විහිලුවක් වේවි. සිංහල දෙමළ ප්‍රශ්නයේ තවත් පැතිකඩකුයි මෙමගින් විවරණය වන්නේ. යුද්ධය ඉවර වුණත් එයට මූලික වුණ හේතුව තවමත් අපි අතර තියනවා. එය චිත්‍රපටයෙන් මා කතා කළේ යුද උපකරණ නැතිව. ඒ නිසාම මේ උත්සාහය සම්පූර්ණයෙන් අසාර්ථක නැති බව මට කියන්න පුළුවන්.

මේ කතා සම්ප්‍රදායටම බිහි වූ තවත් ඕනෑ තරම් උදාහරණ අපේ සිනමා ඉතිහාසයෙන්ම සොය ගත හැකියි. ඒ අනුව බලන කළ ඔබේ නවතම සිනමාපටය අනුකරණවාදී කතා ශෛලියකින් යුතු එකක් නොවේද?

අනුකරණයක් නැහැයි කියලා මං කියන්නේ නැහැ. එකම කතා වස්තුව නිර්මාණයන් දෙකක තුනක නෙවෙයි කිහිපයකම අන්තර්ගත විය හැකියි. උදාහරණයක් විදිහට මනමෙහි කතා සාරයමයි රශෝමාන් එකෙත් ඇත්තේ. එහෙම බලන කොට මට යම් නිදහසක් ඉහත පැනයෙන් ගන්න පුළුවන්. ‘සිහිනය දිගේ එන්න’ වගේ කතා තිබුණා. ඒත් ඒවාහි සහ මගේ කතාවෙහි පොදු ලක්ෂණ ඇත්තේ ප්‍රේමවන්තයින් කතාවේ අභිරහස දැනගන්න තැනට වෙනකම් පමණයි. ඉන් එහාට ‘සිහිනය දිගේ එන්න’ එවැනි ගති රූපවලින් හෙබි අනෙක් නිර්මාණයන්ගෙන් වෙනම මාවතකට පිවිසෙනවා. එතැන් සිට මං දෙන්නේ අලුත්ම දෙයක් සිනමා ලෝලීනට.

ඔබත් සමඟ ටෙලි නාට්‍යවල වැඩ කළ නළු නිළියන් සිනමාපටයෙහි නැහැ. වර්තමාන ක්ෂේත්‍රයේ සිටින මාර්කට්ම කළ හැකි අමිල සහ උදාරිව ඔබ එහි ප්‍රධාන චරිත ලෙස තෝරා ගන්නවා. මොකක්ද ඊට හේතුව?

ටෙලිවිෂනයේ සිටිය පිරිසම මෙයට යොදා ගත්තා නම් මෙය සිනමාපටයක් නොව තවත් එක ටෙලි නාට්‍යයක් වේවි. එයත් ප්‍රධානම හේතුවක් ඔවුන් නොගන්න. අමිල සහ උදාරිව යොදා ගත්තේ මේ හේතුª කාරණාව මත. ඒ ඔවුන් මඟින් ප්‍රේක්ෂකයන් සිනමාහල්වලට අද්දවා ගැනීමට හැකි වේවි යැයි මා විශ්වාස කිරීම. ඒක එහෙම වුණා. ඒ වගේම යුග දෙකක පිරිසක සංයෝගයත් රිදී තිරයේදී කරන්න මට දැඩි වුවමනාවක් තිබුණා. ඒකයි මගේ නාට්‍යවල හිටි බොහොමයක් අය නැත්තේ.

ඔබ නැහැයි කිව්වට චිත්‍රපටය නැරැඹූ ඇතැමෙක් මට මෙවැනි අදහසක් දැක්වූවා?

ඒ මොකක්ද?

සිහිනය දිගේ එන්න සිනමාපටයක් නොව ටෙලි නාට්‍යකට සමානයි කියලා?

විවෘත අදහස් දෙන්න කාට වුණත් කරන්න පුළුවන්. ඒ වුණත් මෙහෙම දෙයක්ද මට පිළිතුරු ලෙස කියන්න හිතුණා. මං පහුගිය අවුරුදු දහය තිස්සේ කළේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය. එහෙම ඉඳලා එක පාරටම චිත්‍රපටයක් කරපුවාම සුළු සුළු වශයෙන් ටෙලි නාට්‍ය ගති එහි ඇති. ඒ හින්දා චිත්‍රපටය ටෙලි නාට්‍යක් වගේ යැයි කියන අයට මං දොස් කියන්නේ නැහැ.

ඔබ වසර දහයක් කල් යල් බලා චිත්‍රපටයක් කළා. නමුත් එයට ප්‍රතිචාර හැටියට අවේ මල්වලට වඩා ගල්. මාපිටිගමගෙන් පිරිස බලාපොරොත්තු වන්නේ මෙවැනි නිර්මාණ නොවන හින්දද?

වැඩිපුරම ගල් ආවේ ක්ෂේත්‍රයේම අයගෙන්. ඇතැම් විට කුහකකමටත් එහෙම කරනවා ඇති. හැබැයි මගේ ඊළඟ චිත්‍රපටයට නම් මීට වඩා ගල් වදීවි. සමහර විට බොරළු නොව දැඩි කළු ගල් පවා මට එල්ල වේවි. ඒකේ නම ප්‍රීති ඇන්ඩ් ජෝයි. ඒක රොමැන්ටික් කොමඩියක්. වැඩි විස්තර පසුව කියන්නම්. කොහොම වුණත් ඒකට එන ප්‍රතිචාර වෙනුවෙන් දැන්මම සිට සූදානම් ශරීරයෙන් මං ඉන්නේ. එක්තරා කොට්ඨාශයක් එවැනි නිර්මාණ මගෙන්ඉල්ලනවා.

ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු විදිහට ලාංකේය සිනමාව කොයිබටද යන්නේ කියලා කියන්න පුළුවනිද?

ඒක ගැන මමත් කල්පනා කරනවා. තාරුණ්‍යයේ අය දැවැන්ත සිනමාපට හදනවා. නමුත් ඒවාහි දැවැන්තකම තියෙන්නේ මුදල්වල පමණයි. තවත් කණ්ඩායමක් වානිජ පරමාර්ථවලින් ඉතිහාස කතා රිදී තිරයට ගෙනෙනවා. ඒක දැන් රැල්ලක් වෙලා. මේවා නවතිනකම් තමයි මමත් බලාගෙන ඉන්නේ. එදාට සිනමාවේ ගමන ගැන මං කියන්නම්.

එක්තරා අයුරකින් මට හිතෙනවා, සිහිනය දිගේ එන්න හරහා ඔබ කළේ වෙනමම ප්‍රේක්ෂකයින් පිරිසකගේ ඉල්ලුම මත කළ සැපයුමක්දෝ කියලා.

සියයට පණහකට වඩා වැඩි ප්‍රතිශතයකින් ඒක ඇත්ත. ඉල්ලන දේ දුන්නා. ඉල්ලන දේ දීලා මට කියන්න අවශ්‍ය දේ ඒ අතරමැදින් මං ඔවුනට ගෙනහැර පෑවා. ඉල්ලුමට සැපයුම දීලා මාපිටිගම වෙනස් වුණා.

කොහොමද චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර එහෙම?

ඉහළ මට්ටමක තියනවා. ගම් මට්ටමෙන් චිත්‍රපටය හොඳට දුවනවා. මට ඒ ඇති.

මේ සංවාදයේදී වැහි ලිහිණි ගැන කතා නොකළොත් නිසැකවම මහත් අඩුවක් වේවි.

වැහි ලිහිණි මගේ අලුත්ම ටෙලි නාට්‍යය. එය නිළියකට පෙම් බඳින ගැමි තරුණයකුගේ කතාවක්. හිරු නාලිකාවේ සහ රන්සිළු ආයතනයේ ආරාධනාව,ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ පිටපත මේ නාට්‍ය අධ්‍යක්ෂණයට මා යොමු කළා.

මාපිටිගමගේ නිර්මාණ ගොන්න:

ටෙලිනාට්‍ය - සබඳ පබිලිස්, සකිසඳ එළියස්, පියළඳ සුසානෝ, සකිසඳ සුවාරිස්.

චිත්‍රපට - මලට නොඑන බඹරු, සුරබිදෙන, නෙළුම් විලේ සමන් මලක්, සත්‍යාදේවි.