වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




කොනරිගේ මල්ලී බොන්ඩ් කොපියට

කොනරිගේ මල්ලී බොන්ඩ් කොපියට

එදා මෙදාතුර තිරගත වූ ‘ජේම්ස් බොන්ඩ්’ චිත්‍රපට පිළිබඳ රස කතා 1965 දෙසැම්බර් 9 දා චිත්‍රපටයේ මංගල දර්ශනය ජපානයේ ටෝකියෝහිදී පැවැත්වුණු අතර ලන්ඩනයේදී දොරට වැඩීම සිදු වුණේ දෙසැම්බර් 29 දා වීම විශේෂ සිදුවීමක් ලෙස දැක්විය හැක. 1966 වසරේ අමෙරිකාවේ මුදල් ඉපැයීම අතින් ප්‍රමුඛ ස්ථානයේ සිටියේ ‘තන්ඩර්බෝල්’ චිත්‍රපටයයි.

එම වාර්තාගත ආදායම ඩොලර් 26,500000 කි. දෙවෙනි ස්ථානයට පත්ව තිබුණේ ‘ඩොක්ටර් ෂිවාගෝ’ චිත්‍රපටයයි. ලොව පුරා තිරගත කිරීමෙන් ඩොලර් මිලියන 141.2 ආදායමක් උපයා තිබූ අතර නිෂ්පාදන වියදම වූයේ ඩොලර් මිලියන 9 ක් පමණකි.

මිලියන 58 ක සිනමා රසික පිරිසක් නැරැඹූ ‘තන්ඩර්බෝල්’ ආදායම් අතින් උපරිම සාර්ථකත්වයක් ලැබූ චිත්‍රපටය ලෙස වාර්තාගත වෙයි. 1966 ඇකඩම් සම්මාන උළෙලේදී හොඳම දෘශ්‍ය ප්‍රයෝග සඳහා ජෝන් ස්ටියර්ස් ඔස්කාර් සම්මානය දිනා ගත් අතර එම වසරේ හොඳම නිෂ්පාදන සැලසුම වෙනුවෙන් පිදෙන ඕඒජ්ඊඒ සම්මානය සඳහා කෙන් ඇඩම් නිර්දේශිත නාම අතරට එක් විය. 1966 හොඳම චිත්‍රපටය ලෙස ජර්මනියේ ගෝල්ඩන් ස්ක්‍රීන් සම්මානයත්, හොඳම ක්‍රියාදාම චිත්‍රපටය ලෙස ගෝල්ඩන් ලෝරල් සම්මානයත් දිනා ගත්තේ ද ‘තන්ඩර්බෝල්’ චිත්‍රපටයයි.

හොඳම විදේශීය චිත්‍රපටයට පිිදෙන එඩ්ගා ඇලන්පෝ සම්මානය සඳහා එය නිර්දේශිත නාම අතරට එක්විය. තන්ඩර්බෝල් චිත්‍රපටය අනුකරණය කරමින් ඉතාලි ජාතික සමාගමක් විසින් ‘ඔපරේෂන් කිඩ් බ්‍රදර්’ නම් චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අතර එහි ප්‍රධාන චරිතය සඳහා ෂෝන් කොනරිගේ එකම මල්ලී වන නීල් කොනරි ද සෙසු චරිත සඳහා ‘තන්ඩර්බෝල්’ චිත්‍රපටයේ නළු නිළි පිරිස ද ප්‍රධාන නිළිය ලෙස ‘ෆෙ‍්‍රාම් රෂියා විත් ලව්’ චිත්‍රපටයේ රඟපෑ සුරූපී ඩැනියලා බියන්ඩ් ද යොදා ගන්නා ලදී. ලංකාවේද තිරගත වූ එම චිත්‍රපටය එකල නොයෙකුත් මතභේදවලට තුඩු දුන් අතර ෂෝන් කොනරිගේ ද දෝෂ දර්ශනයට ලක් විය.
 

‘ලබන සතියේ

ඇහැට ඇහැක්, උණ්ඩයට උණ්ඩයක්, ප්‍රාණ දෙකක් හිමි එකම පුද්ගලයා ජේම්ස් බොන්ඩ්’ යූ ඔන්ලි ලිව් ට්වයිස්,


එඩ්වඩ්ට තරු පෙනෙයි

රසඳුනට සිනා කතා ලියන එඩ්වඩ් චන්ද්‍රසිරි පසුගිය වැලන්ටයින් දිනයේදී ලොකු අකරතැබ්බයකට මුහුණ දුන්නා. එඩ්වඩ් සේවය කළේ රජයේ කාර්යාලයක. ඔහු පෙබරවාරි 14 වැනිදා කාර්යාලයට ගොඩ වෙද්දී, එහි සේවය කළ උපාධිධාරී සහකාරිනියක් ඉස්සරහට හමු වුණා.

ඕ විවාහ වන වයස ටිකෙන් ටික පසුවන නිසා දුකෙන් සිටි තරුණියක්. එඩ්වඩ් තමන්ගේ ලිපි ගොනු අතර සඟවා ගෙන සිටි රතු මල් කිනිත්තක් දෝතින්ම ඇයට පිළිගැන් වූයේ ‘අද පෙම්වතුන්ගේ දිනයේ මේක මගෙන් ඔයාට’ කියමින්.

ඈ එය අතට ගත්තේ ලොකු තිගැස්මකින්. මොහොතකින් ඇගේ ඇස් බබළන්නට ගත්තා. ‘ඔයා මේක මට දුන්නේ හදවතින්ම නේද එඩ්වඩ්? මට දරා ගන්න බෑ . . . ඔයා සීරියස් නේද?’ ඇය එසේ අසමින් ඔහුගේ පස්සෙන් ආවා.

හැමෝටම විහිළු කරපු, විහිළු ලියපු එඩ්වඩ් ගොඩ එන්න බැරි අකරතැබ්බයකට මුහුණ දුන්නේ ඔය විදිහටයි. බොරු නම් එඩ්වඩ්ගෙන් ම අහලා බලන්නකෝ?


ප්‍රශ්නත් ඩොනල්ඩ්ගේ උත්තරත් ඩොනල්ඩ්ගේ

ඩොනල්ඩ් ජයන්ත නමැති අපේ ජනපි‍්‍රය චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයා සරසවිය කාගේත් හොඳ හිතවතෙක්. එකවර චිත්‍රපට දෙකක වුවද සහය අධ්‍යක්ෂණයේ යෙදීමට තරම් සමතෙක් වන අතර, එබැවින් ඔහු පුවත් මවන්නෙක් ද වේ.

පසුගිය දවසක ඔහු සිය හිතවත් පුවත්පතක නියෝජ්‍ය කතුවරයකුට කවරයක බහාලු ලිපියක් හා ඡායාරූප කිහිපයක් ගෙනත් දුන්නා. නියෝජ්‍ය කතුවරයා එය ප්‍රධාන කතුවරයා වෙත යොමුකළා. එහි තිබුණේ අරුම පුදුම විශේෂාංග ලිපියක්.

‘සිංහල සිනමාවේ අංක එකේ කාර්යබහුලම අධ්‍යක්ෂවරයා’ ලෙස හඳුන්වාලමින් අරඹා තිබූ මේ ලිපියේ එදා මෙදාතුර ඩොනල්ඩ්ගේ සිනමා ජීවිතය ගැන ප්‍රශ්න උත්තර රාශියක් ඇතුළත් වී තිබුණා.

බලාගෙන යනවිට ප්‍රශ්නත් ඩොනල්ඩ් ගේ. උත්තරත් ඩොනල්ඩ් ගේ. ඡායාරූපත් ඩොනල්ඩ් ගේමයි. මේ සියල්ල අතරවාරයේ ඩොනල්ඩ් නිකන් හිටියේ නැහැ. ඔහුගේ ලිපියක් පුවත්පතක පළවන බවත්, එය බලන ලෙසත් ක්ෂේත්‍රයේ හිතවතුන්ට කියා තිබුණා. මේ හිතවතුන් කිහිප දෙනෙක්ම ඩොනල්ඩ් ගේ ලිපිය නොතිබූ නිසා පුවත්පතෙන් මේ ගැන විමසුවා.කොහොමහරි ඒ පුවත්පතේ නැතිනම් වෙන පුවත්පතක හරි මේ ලිපිය පළකරවා ගන්න ඩොනල්ඩ් ගේ ලිපිය ආපසු ඉල්ලා අප නියෝජ්‍ය කතුවරයාට කරදර කරන්නත් ඩොනල්ඩ් පටන් ගත්තා.

තමන්ම ප්‍රශ්න අහලා, තමන්ම උත්තර ලියන පත්තර කලාවක් ලංකාවේ නැතැයි ඩොනල්ඩ් ට අමතක වුණු එක පුදුමයි. ඒකට හේතුව ඩොනල්ඩ් කලාවේ වැඩ පටන් ගත්තේ මෙරට අංක එකේ පුවත්පත් කලාවේදියකු වූ ධර්මසිරි ගමගේ මහතාගේ නිවහනේ සිට නිසා. ඩොනල්ඩ් මීට කලින් ලිපි පළකර ගත්තෙත් මෙහෙමම වෙන්න ඇති.


මළගෙවල්වල ගියාම කාටද හරියන්නේ

රුවන්වලට සමාන නමක් ඇති නවක නිළියක් මේ ළඟදී කනගාටුදායක ප්‍රකාශයක් කළා. ඇය ලස්සනට ජීවිතේ ගැන කියා දෙන චිත්‍රපටයක (තිරගතවීමට නියමිත) ප්‍රධාන චරිතයක් රඟපානවලු.

කතාව මෙහෙමයි. මේ නවක නිළියයි තවත් කලාකරුවන් පිරිසකුයි එක්තරා රූගත කිරීමකට සහභාගී වුණා. ඒ පසුගිය සිකුරාදා දවසේ. මේ අතරතුරේ අපේ රටේ කීර්තිමත් මාධ්‍යවේදියකු වූ අපේ හිතවත් නිමල් ලක්ෂපතිආරච්චි මහතාගේ හදිසි අභාවය ගැන මේ අයට දැන ගන්නට ලැබුණා. මෙතන රැස්ව සිටි පිරිස මේ වැඩේ හමාර වී නිමල් ලක්ෂපතිආරච්චි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට යෑමට කතිකාකර ගත්තා.

මේ අවස්ථාවේ ප්‍රවීණ පිරිස අර නවක නිළියටත් මේ කටයුත්තට ආරාධනා කළා. මේ නිළිය ගත් කටටම කීවේ “ඔය මළ ගෙවල් වල ගිහින් කාටද හරියන්නේ...? කියායි.