වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සල්ලි ටිකක් හොයා ගන්නද ප්‍රසංගයක් කරන්නේ

සල්ලි ටිකක් හොයා ගන්නද ප්‍රසංගයක් කරන්නේ

දුෂ්යන්ත් වීරමන්ගෙන් අහමු

දේදුන්න වාගේ දුෂ්යන්ත් ලයිව් ඉන් කොන්සර්ට්. මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී. මේ 28 දා

‘සරසවියේ’ දුරකතනය නාද වෙයි. මම එහි රිසීවරය අතට ගෙන සවනතහි තබා ගත්තෙමි.

ආයුබෝවන් . . . කවුද මේ?

මම දුෂ්යන්ත් වීරමන්.

ඔව් දුෂ්යන්ත් . . .මොකද මේ හදිස්සියේම?

මං පොඩි අලුත් වැඩක් කරනවා එන සෙනසුරාදා

මොකක්ද?

මගේ දෙවැනි ඒක පුද්ගල ප්‍රසංගය.

නම ?

දේදුන්න වාගේ දුෂ්යන්ත් ලයිව් ඉන් කොන්සර්ට්.

කොහෙද තියෙන්නේ?

මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී.

වෙලාව?

සවස හත.

කරළිය දැන් ඉවරද?

ඔව්. මං හිතුවා ඒ ප්‍රසංගය ටිකක් ඒකාකාරියි කියලා.

හේතුව?

මයිකල් ජැක්සන්ගේ ගීත දොළහක් පමණ එයට ඇතුළත් වුණා. මගේ ස්වනිර්මාණත් අඩුවෙනුයි එහි තිබුණේ.

මේ ප්‍රසංගයේ?

එහෙම නැහැ. ගීත විසි හතෙන් හතරක් පහක් පමණයි මගේ නොවන ඒවා.

අලුත් නිර්මාණත් එළි දක්වනවාද?

ඔව්. මං භාතිය, නිරෝෂා, උමාරියා සහ මගෙ අයියත් එක්ක කරපු ගීත කිහිපයක් එදින රිලීස් කරනවා.

සල්ලි ටිකක් හොයා ගන්නද මෙවැනි ප්‍රසංගයක් කරන්නේ?

කොහෙත්ම නැහැ. අතින් කයිට් කරගෙනයි මේක පවත්වන්නේ. මගේ පරමාර්ථය වානිජ එකක් නෙවෙයි.

එහෙනම්?

මං වෙනත් සංවිධායකවරයකුගේ ෂෝ එකකට ගියාම මගේ ඉදිරිපත් කිරීම් සීමා වෙනවා. උපරිම සිංදු තුනක්නෙ අපිට කියන්න වෙන්නේ.

ඉතිං?

ඒක මගේ රසිකයන්ට කරන අසාධාරණයක්. මට නිදහසේ පර්ෆෝමන්ස් කරන්න සහ මගෙ ෆැන්ස්ලට උපරිම දේ ලබා දෙන්නයි යළිත් මෙවැනි ප්‍රසංගයක් වේදිකාගත කරන්නේ.

හැමෝම කියන සාම්ප්‍රදායික කතාවක්නේ දුෂ් කිව්වේ?

වෙන්න ඇති. ඒ වුණත් ඒක තමා ඇත්ත. ෂෝ එක බැලුවට පස්සේ තවත් ඒක තහවුරු වේවි.

ඔබ වටා රොක් වී සිටින්නේ සීමිත රසික රසිකාවන් ප්‍රමාණයක් නේද?

සමහර විට.

මේ ප්‍රසංගයක් ඔවුන්ටමද?

මං කලින් කිව්වා මගේ ගීත විස්සක් පමණ ෂෝ එකේ කියනවා. ඒවා විවිධ ශෛලයන්ගෙන් යුක්තයි. ඒ නිසා මේ ප්‍රසංගයෙන් මං හැමෝටම ආමන්ත්‍රණය කරන්න බලාපොරොත්තුª වනවා.

‘දුෂ්යන්ත්’ ගොඩ නගා ගත් ප්‍රතිරූපයත් එක්ක පොදුවේ රසික රසිකාවන් පැමිණේවිද ෂෝ එක බලන්න?

මගේ වෑයම ඔවුන් ගෙන්වා ගැනීමයි. ඒකයි මං මේක වෙනස්ම ආකාරයේ හැමෝටම කතා කරන ප්‍රසංගයක් කියලා කිව්වේ.

එදිනට සජීවීව ගයනවාද? නැතිනම් නව පරපුරේ සමහර ගායකයන් වගේ . . .?

අනිවාර්යයෙන්ම සජීවීව ගයනවා. ගීත තැටියක් දාලා මයික් එකට කට හොල්ලන්නේ නැහැ. මට සජීවීව ගයන්න වුවමනා හින්දම ‘රීඩ්’ නමින් සංගීත කණ්ඩායමක් ද පුහුණු කළා.

එතකොට භාවිතා කරන නර්ථන ශෛලීන්?

උඩරට, පහතර රට, හිපොප් සහ මම විසින්ම නිර්මාණය කරගත් අංග?

උඩරට, පහතරට?

ඔව්, මෙය දේශීයත්වයත් එක්ක බැඳුණ ප්‍රසංගයක්.

හෂිනි ගෝනගල ද මෙවරත් නර්ථන සහායිකාව?

ඇය තමයි මෙවරත් මට උදව් කරන්නේ. අපේ ඩාන්සිං ගෲප් එකේ දහසය දෙනෙකු ද මෙයට සහභාගි වනවා.

ඒ අතර ‘සරසවිය’ පුවත්පතෙන් සොයා ගත් දෙදෙනකුද ඉන්නවා නේද?

ඔව්. එක් කෙනෙක් දුලානි. අනිත් පිරිමි ළමයාගේ නම හරියට මතක නැහැ.

‘දේදුන්න වාගේ’ කාගෙ ඉදිරිපත් කිරීමක්ද?

යොරාකා එන්ටර්ප්‍රයිසස් ආයතනයේ.

ප්‍රසංගයට අමතරව මොනවද කලා දිවියේ අලුත් තොරතුරු?

මේකට තමා මේ දිනවල වෙහෙසෙන්නේ.

‘අහන්න ආදරේ තරම්’ හරිම ජනප්‍රියයි දැන්?

ඒ ගීතය වීඩියෝවක් නිර්මාණය කරන්න කලින් ඉඳලම ජනප්‍රියයි. පසුව වීඩියෝවත් එක්ක රිලීස් කරපුවාම තවත් ජනප්‍රිය වුණණා.

ගොඩක් කතා කලා. දැන් මං තියන්නද?

Thank Bye, C. U.