වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ලිව්ව ඒකාගේ අඬු කඩනවා ගාමිණීගෙන් තර්ජනයක්

ලිව්ව ඒකාගේ අඬු කඩනවා ගාමිණීගෙන් තර්ජනයක්

එක්තරා දිනක ගාමිණී ෆොන්සේකා සරසවියට පැමිණියේය.

ඒ වකවානුවේ ගාමිණී චිත්‍රපට රසිකයන් අතර ජනප්‍රිය වෙමින් පැවැති යුගයක් විය.ඔහුගේ පැමිණීමත් සමඟ විමලසිරි පෙරේරා මහතා ඔහුගේ කාමරයට එන ලෙස මට කතා කළේය.

එහිදී මාව ගාමිණීට හඳුන්වා දුන්නේ මේ අපිත් එක්ක ඉන්න අලුතෙන් එකතු වෙච්ච තරුණයෙක් කියාය. එදින මම මුල්වරට සජීවීව ගාමිණී දැක ගතිමි. පසුව ගාමිණී ගිය පසු විමලසිරි මාව නැවතත් ඔහු වෙත කැඳවා ගාමිණී ගැන මට හිතෙන දේ අනුව ලිපියක් ලියන ලෙස පැවරුවේය.

මා ඒ අනුව මම දුටු ගැමිණී ගැන ලිපියක් ලිව්වෙමි. එය එක්තරා අන්දමක මා ගාමිණීව දුටු ඔහු ගැන සමබර විචාරයක් බඳු ලිපියක් විය. මෙය විමලසිරි පෙරේරා මහතා අතට පත් වූ විට ඔහු මට ප්‍රශංසාත්මක සිනහවකින් සංග්‍රහ කොට තරුවක් නෙමේ නළුවෙක් නමින් ලිපිය සරසවියේ පළ කළෙමි.

එම ලිපිය අගට මා මාගේ නම ලියා තැබුව ද විමලසිරි පෙරේරා මහතා එය හිතාමතාම ඉවත් කොට මගේ නම වෙනුවට ආරූඪ නමක් ලෙස ජන කියා ලිපිය පළ කර තිබිණ.

විටෙක මගේ නම නැති වීම ගැන දුකක් ද හිත තුළ විය. නම නැති වීම ගැන මා අසතුටින් පසු වන බව දැන ගත් විමලසිරි මහතා මා කැඳවා කීවේ මෙවැනි ලිපියක් ලිව්වේ කවුද කියන එක එක එල්ලේ පළ වීම එතරම් හොඳ මදි.

සමහර විට ලිපියේ කියන කරුණු කාරණා ඒ පුද්ගලයාට රුචි නොවුණොත් ඔහුගෙන් ලැබෙන ප්‍රතිචාර කොයි වගේ ද කියන්න බෑ. ඒ නිසා මේ වගේ නමේම අකුරු කීපයක් එකතු කරල නමක් හදල පළ කිරීම කෝකටත් හොඳයි. කිව්වා සේම ලිපිය පළවීමත් සමඟ ගාමිණී සරසවියට කතා කොට විමලසිරි පෙරේරා මහතාට දොස් නගා තිබිණි.

ගාමිණී කෙතරම් කෝපයට පත් වීද යත් ලිව්ව එකා අහුවුණොත් අඬු කඩනවා යැයි තර්ජනය කර සිටියේය. ගාමිණී මෙතරම් කිපීමට හේතුව වී තිබුණේ ලිපිය හරි හැටි කියවා අවබෝධයක් නොගෙන සිටීමය. ඒ ලිපිය පුරාවට ගාමිණීට අපහාසයක් කර නොතිබිණි. නළු නිළියන් රූප ස්වභාවයෙන් පිරී සිටිය ද ඔවුන් අතරින් ගාමිණී පියුරු බබෙක් නොවන බව ඒ ලිපියෙන් කියා තිබිණි.

ගාමිණීගේ දේහ ලක්ෂණ, ගමන් විලාසය, සිනහව, කතාබහ, අංග චලනය ආදිය තුළින් ඔහුව ප්‍රතාපවත් නළුවෙක් ලෙස දිස්වන ආකාරය මේ ලිපියෙන් කතා කර තිබිණි. එය හරි හැටි වටහා නොගත් ගාමිණී දැඩි සේ කිපී ලිපියට දොස් නඟන්නට විය.

සති තුනක් පමණ ගිය තැන ගාමිණීගෙන් විමලසිරි පෙරේරා මහතාට දුරකථන ඇමතුමක් ලැබිණි. එයින් කියැ වුණේ මම ඉක්මන් වුණා වැඩියි. ලිපියෙන් මට අපහාසයක් වෙලා නෑ. හිත් රිදීමක් වුණා නම් මට සමාවෙන්න කියාය. එයින් නොනැවතුණු ගාමිණී මේ ලිපිය ලියූ කෙනාට තම නිවසට එවන ලෙස ද විමලසිරි මහතාට කියා තිබිණි.

ඒ අනුව මාව ගාමිණීගේ රත්මලානේ නිවසට රැගෙන යාමට භාර වූයේ දැනට අප අතර නැති කුමාරදාස වාගිස්ටටය. ඔහුත් මාත් ගාමිණීගේ ගෙදර ගියේ එක්තරා දවසක සවස හතරට පමණය. ආපසු ගාමිණීගේ ගෙදරින් අපේ හමුව ඉවර වුණේ පසුදා පාන්දර දෙකටය. ඒ තරමට මා හා මිත්‍ර වූ ගාමිණී හෙළි කළේ මා ඔහු පිළිබඳ විවේචනාත්මකව කර තිබූ විග්‍රහයට ප්‍රශංසා කරමිනි.

ඒ ලිපිය කිය වූ පසුව හෝ ගාමිණී තමන් ගැන වටහා ගැනීම ගැන මා හිතින් ආඩම්බරකමක් අත්වින්දා මට අද වගේ මතකය. එදා පාන්දර දෙකට ගාමිණීගේ ගෙදරින් එළියට බැස ගත් මම අපේ ගෙදර නොගොස් මිරිහානේ තිබූ වාගිස්ටගේ ගෙදර පහන් කළෙමි.

ජෝ අබේවික්‍රම මා හඳුනා ගත්තේ සරසවිය නිසාමය. ඔහුගේ නම වූයේ ජෝන් අබේවික්‍රමය. ඔහුත් සමඟ මම ජෝගෙන් අහන්න විශේෂාංගය කිරීමට අවස්ථාව උදාකර දුන්නේ ද විමලසිරි මහතාය. මේ විශේෂාංගය සඳහා ජෝන් අබේවික්‍රම ජෝ අබේවික්‍රම කළේ විමලසිරි පෙරේරාමහතා ය. ඒ කාලයේ ජෝගේ හොඳ රංගනයන් සමඟ ජනප්‍රිය වන යුගය විය. ඒ සඳහා ජෝගෙන් ද එතෙක් නොලැබූ පිළිතුරු ලැබිණ.

විශේෂාංගය ජනප්‍රිය විය. සරසවියේ කාලයක් මා සේවය කළ ද කිසි දිනක මාලිනී ෆොන්සේකා හමු වී නැත. අද වන තරුත් මා සමඟ ඇය පුද්ගලිකව හමු වී නැත. මාලිනී මුල්වරට අකල් වැස්ස නාට්‍යයේ හොඳම නිළිය වෙමින් සම්මානයට පාත්‍ර වූවාය.

එදා ඇයගේ පින්තූරය ගනු ලැබුවේ මගේ මතකය හරි නම් වින්සන් වීරසේකර ඡායාරූප ශිල්පියාය. ඔහු ගත් මේ ඡායාරූපය ජනතා පත්තරයේ මුල් පිටුවේ පළ විය. ඔය අවධියේ තිස්ස ලියනසූරිය පුංචි බබා චිත්‍රපටය සඳහා නිළියක් සොයමින් සිටියේය.

අප අතර තිබූ මිතු දම මත මට ද ඒ බව පවසා තිබිණි. වෛජයන්ති මාලාට ගැළපෙන නිළියක් තිස්ස ලියනසූරියට අවශ්‍ය විය. මා මාලිනීගේ ජනතා පත්තරයේ පළ වූ පින්තුරය තිස්ස ලියනසූරියට ගෙන ගොස් දුන්නේ ඔබට මැය සුදුසු වේ යැයි මට හැඟී ගිය නිසා බව කියමිනි. තිස්ස මෙය ජෝ අබේවික්‍රම වෙත ගෙන ගොස් තිබිණි.

විමලසිරි පෙරේරා මහතා විවිධ අයුරින් විශේෂාංග රාශියක් සරසවියට රැගෙන ආවේය. චිත්‍රපටයක් තිරගතවීමට පෙර ඒ ගැන සවිස්තරාත්මක විස්තර පළ කිරීම, චිත්‍රපට රූගත කිරීම් සඳහා ගොස් ඒ සිදුවීම් අළලා විශේෂාංග ලිවීම ඒ අතරින් කීපයකි. මේ හැම දෙයක් සඳහාම ඔහු මාව යැවීමට පුරදුව සිටියේය.

වරක් මා සාරවිට චිත්‍රපටය තිරගතවීමට පෙර ලියූ ලිපියේ කොටස් චිත්‍රපට නිෂ්පාදකයන් ඔවුන්ගේ ප්‍රචාර සඳහා ද යොදා ගැනිණි. මා මුල් වරට චිත්‍රපට රූපගත කිරීමක් ඇතුළත්ව ලිපියක් ලිවීමට ගියේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා ගේ සැනසුම කොතැනද චිත්‍රපටය සඳහාය. ශාන්ත බ්‍රිජට් විදුහල අසල රූපගත කිරීම් සිදු වූ අතර එය මා චිත්‍රපටයක් රූගත කරනු දුටු මුල් අවස්ථාව විය.

චිත්‍රපටයේ කොටස් නවකතාවක් සේ ලිවීමේ විශේෂාංගයක් ද විමලසිරි පෙරේරා මහතා හඳුන්වා දී තිබුණි. එය චිත්‍රපටයේ දෙබස් ද ඇතුළත්ව පුරා සති පහක් පමණ සරසවිය පත්තරයේ පළ විය. චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනයට පෙර මෙවැනි ලිපි පළවීමත් සමඟ චිත්‍රපටයේ ප්‍රචාරයට එය ලොකු ආශිර්වාදයක් විය. පරසතු මල්, සංදේශය, ගම්පෙරළිය ආදීී බොහෝ චිත්‍රපට සඳහා මා මෙවැනි ලිපි ලිව්වා මතකය.

දිනක් විමලසිරි පෙරේරා මහතා පෙම් හසුනක් ලියන්නට පුලුවන්දැයි ඇසීය. මම කටයුත්ත බාර ගතිමි. එහෙනම් නිළියකගේ නමක් කියා ඇයව සිතේ තබාගෙන ලියුම ලියන ලෙස මට පැවසුවේය. එය විමලසිරි පෙරේරා මහතා පසුව සරසවියේ පළ කළේය. ඒ සඳහා නිළිය කවුද සඳහන් නොවී ඇගේ ස්වරූපය වර්ණනා කර තිබුණි

මෙය පත්තරයේ පළ කර පුණ්‍යාගෙන් ඒ සඳහා පිළිතුරු ලිපියක් විමලසිරි පෙරේරා අපේක්ෂා කළ ද ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කළාය. එවර ඔහු එය ජීවරාණිට යොමු කර පිළිතුරු අපේක්ෂා කළේය

ඒ සඳහා ජීවරාණි උත්තර දීමට කැමැති වූ අතර මෙය මහත් ආන්දෝලනයක් ඇති කරමින් සරසවියේ ජනප්‍රිය විශේෂාංගයක් බවට පත් විය.

එකල නළු නිළියෝ සරසවිය පත්තරයට පුදුම විදියට ආදරය කළේය. විමලසිරි පෙරේරා ගැන ද ඔවුන් තුළ තිබුණේ මහත් වූ ගෞරවයකි. විමලසිරි මහතා හමුවීමට එන නළු නිළියෝ ඔහුගෙන් කැඳවීමක් ලැබෙන තුරු පෝලිමේ බලා සිටි අවස්ථා තිබුණි. සමහර අවස්ථාවල හිත් අමනාපකම් ඇති නළුවකු හෝ නිළියක ඇවිත් ඉන්නා විට ඔවුන් දෙපළ එක විට හමුවීමට ඔහු අවස්ථාවක් දුන්නේ නැත.

එක් අයකු සමඟ කතාබහ කොට ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතාවය ඉටු කර අනෙක් කෙනාට නොපෙනෙන සේ පිටත්කර හැර අනෙක් පුද්ගලයා ගෙන්වා ගැනීමට තරම් ඔහු කාරුණික වනවා අපි කර්තෘ මණ්ඩලයේ දුටු අවස්ථා බොහොමයකි.

සිංහල සිනමාව නගා සිටුවීමට එවක සරසවියෙන් විශාල කාර්යභාරයක් ඉටු විණි.