වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සර්ට උපහාරය පිණිස

සර්ට උපහාරය පිණිස
 

ගාමිණී හත්තොටුවේගම ගැන මතක සටහන්

අහ වියරු අවරදිග සුළඟ, තොප ය සරත් කල පැවතුමේ සුසුමනොපෙනෙනා තොපගේ විලස්, පලවා හරියි මියැදි පත් අවතාර විලසින්, ඉන්ද්‍රජාලිකයකු කෙරෙන් පැන යනහත්තොටුවේගම සර් පන්ති කාමරයට පැමිණ පර්සි බී. ෂෙලීගේ Ode to the West Wind (අවරදිග සුළඟට කියූ ගී) කවිය ගායනා කරද්දී පෙරාදෙණියේ පළමු වසර සිසුන්ව සිටි අපි ඔහුගේ කටහඬේ වූ ලාලසාවටත් ජවයටත් සැණෙකින් වසඟ වුණා.

එම කවියේ විප්ලවකාරී අර්ථය පැහැදිලි කිරීමෙන් නොනැවතුණු ඔහු, එහි පදවලින් මතු වන විවිධ වූ සාහිත්‍යයික හා භාෂාමය ගුණාංග දෙස බැලිමට අපව පෙළඹුවා. වසර ගණනාවකට පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ, බටහිර මැසචුසෙට්ස් පෙදෙසේ මාස ගණන් දිග දුෂ්කර ශීත සෘතුවල කටුකත්වය විඳිද්දී සර් ගැයූ ඒ කවියේ අන්තිම පද දෙක බලාපොරොත්තු දල්වමින් නිතර මගේ තනියට හිටියා.

‘අහා සුළඟ,

සිසිරය එළඹෙයි නම්, පසුවේ ද වසත් කල තව බොහෝ?’

සර් අපිට රොමෑන්තික කාව්‍යය, ඇමෙරිකානු නාට්‍යය, ශේක්ස්පියර්, බ්‍රෙෂ්ට් සහ එපික් නාට්‍යය, සරච්චන්ද්‍ර සහ සිංහල නාට්‍යය ඇතුළු පුළුල් පරාසයක පැතිර ගිය විෂයයන් ගණනාවක් ඉගැන්නුවා. සරච්චන්ද්‍ර සිංහල සාහිත්‍යයේ එන ඉතාම ස්වාධීන හා රැඩිකල් ස්ත්‍රී චරිත දෙකක් - එනම් මනමේ කුමරිය හා සුප්පා දේවි යන චරිත දෙක – නිර්මාණය කළ බවත් පවතින සමාජ ක්‍රමය හේතුවෙන් ඔවුන් දෙදෙනාටම අවසානයේදී සාම්ප්‍රදායික භූමිකාවලට අනුගත වීම හැර, අන් මගක් විවරව නොතිබුණු බවත් දේශනවලදී ඔහු තර්ක කළා. එසේම මනමේ නාට්‍යයේ කුමාරයාත් වැද්දාත් අතර හට ගන්නා බල අරගලය විජිතවාදී ස්වරූපයක් ගන්නා අන්දම නිරීක්ෂණය කිරීමට ඔහු අපට මග පෙන්නුවා. සර් පන්තියේදී මතකයේ රැඳුණු දේශන පැවැත් වූවා විතරක් නෙමෙයි, සින්දු කීවා, රඟපෑවා. ඔහු ‘ගල්ලෙන බිඳලා’ ගීතය ගයන කොට අපි සවන් දුන්නේ වශීකෘත වෙලා. සර් පැහැදිලිවම සම්ප්‍ර‍්‍රදායෙන් පිට ගිය ගුරුවරයෙක්. ඔහුගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද කියලා අපි ඒ දිනවල දැනගෙන හිටියේ නැහැ. සමහර දවසක ඔහු දේශනවලට ආවේ ඊට පෙර දින වැල්ලේත් මඩෙත් පෙරළෙමින් සජීවි රූපවාහිනියේ පෙනිී සිටීමට ඇඳී කළු කමිසය පිටින්මයි.

මිට මෙල වූ කළු අතක රූපයක් එල්ලූ මාලයක් හැම විටම පැළඳි සර් කලාවට සමාජය වෙනස් කිරීමට ඇති හැකියාව ගැන නිරන්තරයෙන් කතා කළා. අභූතරූපී නාට්‍ය සම්බන්ධයෙන් අපි අතර ගැටුම් පැන නැඟුණේ මේ නාට්‍ය සම්ප්‍රදාය ගැන අප දෙදෙනා මත දෙකක් දැරීම හේතුවෙන්. අභූතරූප නාට්‍යවලට සමාජ ප්‍රශ්න ආමන්ත්‍රණය කරමින් ඇතුළාන්තයෙන් පහර දීමේ හැකියාවක් තිබෙන බව කියමින් මා තර්ක කරද්දී අභූතරූපී නාට්‍ය බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය මෙන් දේශපාලනික නොවන බව ඔහු කියා සිටියා. නමුත් යුශේන් ඉයොනෙස්කෝගේ ලා කැන්තාත්‍රිස් ශෝව් නමැති අභූතරූපි නාට්‍යය තට්ට ගායිකාව නමින් සිංහලට පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කිරීමට මා සූදානම් වන බව පැවසූ විට ඔහු මහත් සතුටට පත්ව ඒ පිළිබඳ WUS කැන්ටිමේදීත් ඉංග්‍රිසි අධ්‍යයනාංශ පොදු කාමරයේදීත් දීර්ඝ සාකච්ඡා පැවැත්වූවා. දිරිමත් කළා.

ඉයොනෙස්කෝ භාෂාව සමඟ සෙල්ලමේ යෙදුණු අන්දම ගැන සඳහන් කළ සර් තමන්ගේම අභූතරූපී වාක්‍යයක් මිමිණුවා. ‘ඉතාම හොඳ ශිෂ්‍යයකු වන ක්‍රිෂාන්ත අගනා බිත්තර දමන්නෙක්! තවත් දවසක ඉංග්‍රීසි අධ්‍යයනාංශ පොදු කාමරයේදී නාට්‍යයේ පළමු පිටු කීපය කියවන ලෙස සර් මට කියා සිටියා. නාට්‍යයේ මුල කොටසේ එන ‘අද අපි චිකනුයි, අල බැදුමකුයි, ඉංග්ලිෂ් සැලඩ් එකකුයි කෑවා’ යන වැකිය ඔහුගේ සිත් ගත්තා. ‘ස්ටේජ් එක උඩට අල ටිකක් අරන් සෙල්ලං කරන්නකො’ ඔහු අදහසක් ඉදිරිපත් කළා. ඒ අදහස් ඉදිරිපත් කෙරුණේ පිටපතේ ගැබ් වුණු අභූතරූපීත්වයේ ‘නිල’ අල්ලා ගැනීමේ පුදුම ඉවක් ඇතුවයි. ඇත්තටම කිව්වොත් අල ටිකකින් නතර නොවී අල ගෝනියක්ම අපි නාට්‍යය සඳහා පාවිච්චි කෙරුවා. පිරුණු අල ගෝනිය නාට්‍යය අවසාන වෙද්දී හිස් වෙනවා. ඉයොනෙස්කෝගේ ප්‍රතිනාට්‍යයෙහි සාකච්ඡාවට ගැනෙන භාෂාවේ ශුන්‍යතාවට කදිමට ගැලපෙන සංකේතයක්.

පරිවර්තනය නැතහොත් ප්‍රතිනිර්මාණය – ඒ තමයි සර් භාවිත කරන්න කැමති වුණු වචනය. ඔහු ඉතාම දක්ෂ අන්දමින් සිදු කළ කාර්යයක්. කිසියම් සන්දර්භයකට අයත් පඨිතයක් භාෂාමය හා සංස්කෘතික රූප විපර්යාසයක් ඔස්සේ ගමන් කරමින් අලුත් සන්දර්භයක් තුළට පරිවර්තනය වී නවතම ස්වරූපයක් ගන්නා අන්දම විදහා පෑමට ඔහු ප්‍රතිනිර්මාණය හෙවත් ට්‍රාන්ස්ක්‍රියේෂන් කියන පදය යොදා ගත්තා.

නුරුස්සන හඬ නමැති ඔහුගේ කෙටි නාට්‍යයට පදනම් වුණේ ඇන්ටන් චෙකොව්ගේ කෙටි කතාවක්. සර් බ්‍රෙෂ්ට්ගේ Mr. K නම් උපමා කතාව පීඩිතයා හා පීඩකයාගේ ස්වභාවය පිළිබඳ සංකීර්ණ ප්‍රශ්න මතු කරන මැරවර මෙහෙවර නමැති නාට්‍යයක් බවට පෙරළුවා. නළු නිළියන්ගේ ශරීර භාවිත කරන ආකාරය අතින් මේ නාට්‍යය හරි බලවත්. බ්‍රෙෂ්ට්ගේ කවියක් පාදක කරගෙන සකස් වූ ඔටුන්නක බර තෛ‍්‍රභාෂික නාට්‍යය කැලණිය, පේරාදෙණිය හා යාපනය යන ස්ථානවලදී රඟ දැක්වුණු අතර එහි දේශපාලනික අන්තර්ගතය හේතුවෙන් 1978 දී වාරණයට ලක්වුණා. සර් ඇතුළු පිරිස අතින් ශේක්ස්පියර්ගේ හැම්ලට් සිංහල වේදිකාවට ප්‍ර‍්‍රතිනිර්මාණය වුණු අන්දම බොහෝ දෙනා ඉහළින් අගැයුවා. ඔහු මෙයාකාර ප්‍රතිනිර්මාණයන්ගේ නිපුණයෙක්. ලෝක කිහිපයක නිර්මාණාත්මක විභවයන් සම්පිණ්ඩනය කරමින් ප්‍රබල කතාත්මක ප්‍රකාශන නිපදවා ගැනිමට ඔහු දැක් වූ සමත්කම අසමසමයි.

ඔක්තෝබර් 16 වැනිදා අන්තිම වතාවට මම සර්ව මුණ ගැහෙන්න බෝකුන්දර සර්ගේ ගෙදරට ගිය වෙලාවේ අපි සීනි රහිත අයිස්ක්‍රිම් සහ සර් වඩාත් ප්‍රිය කළ ඩාර්ක් චොකලට් රස බලමින් විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ ඉතිහාසය ගැන පිළිසඳරේ යෙදුණා. 1975 දී කොළඹ පදනම් ආයතනයට අනපේක්ෂිත ලෙස ඇතුළු වී ලෝක ආහාර සම්මේලනය නමැති නාට්‍යය රඟදැක් වූ අන්දම මෙනෙහි කරමින් ඔහු අමන්දානන්දයට පත් වුණා. ලෝක ආර්ථික අසමානතාව ගැනත්, දුර්භික්ෂවලට හා සම්පත් හිඟයට පිළියම් වශයෙන් ඇතැම් බලාධිකාර විසින් ඉදිරිපත් කරනු ලබන ව්‍යාජ විසඳුම් ගැනත් කටුක විවේචනයක් ගැබ් කර ගත් මේ නාට්‍යයට තේමාව සැපයුවේ ඊට පෙර වසරේ රෝමයේ පැවැත්වුණු ලෝක ආහාර සම්මේලනය. එම සම්මේලනයේ විය හියදම්, විශේෂයෙන් එහි ආහාරපාන සඳහා දැරුණු අත්තනෝමතික වියදම් ගැන පුවත්පතක පළ වූ ලිපියක් මේ සඳහා පෙළඹවීම ඇති කර තිබුණා.

ඒ මහ සමුළුවේ අතුරු වැඩ සටහනක් හැටියට කොළඹ පදනම් ආයතනයේ දී පවත්වන්නට යෙදුණු ජනගහන සම්මන්ත්‍රණයක් සර්ගේ ප්‍රහාරාත්මක නාට්‍යයට රංග භූමිය වුණා.

ආර්ථික විද්‍යඥයා ලෙස රඟපෑ වික්‍රම සෙනෙවිරත්න පැමිණ කාමරයේ සිටින ජනගහනය ගැන වැටහීමක් ලබා ගැනීමේ අටියෙන් සම්මන්ත්‍රණයට සහභාගි වූවන් ගණන් කළ අන්දම මතක් කරමින් ඔහු මහ හඬින් සිනාසුණා. ඒ අතර බටහිර සුපිරි බලවතුන් හැටියට රඟපෑ නළුවන් සතුන් මෙන් ආහාර පාන ගිල දමද්දී බංග්ලා දේශයෙන් පැමිණි අසරණ නියෝජිතයාට ලැබුණේ කා ඉතිරි වූ මස් කටු විතරයි.

අවසානයේදී ලෝක ආහාර හා ජනගහන ප්‍රශ්නයට විසඳුම වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට පෙත්තක් ලබා දිය යුතු බවට බලවත් රටවල නියෝජිතයින් තීරණය කරනවා. නාට්‍යය අවසන් වුණේ සියලු දෙනා එක්ව ‘උන්ට කෑම, අපට පෙති, උන්ට කෑම, අපට පෙති’ යනුවෙන් උද්ඝෝෂණාත්මකව හඬ නැගීමත් සමඟයි.

නාට්‍යය දිග හැරෙන අතරවාරයේ එහි සිටි ජනගහන සම්මන්ත්‍රණයේ සභිකයින් උන්නේ කොක්ටේල් පානයක රස බලමින්. එය මේ සිදුවීමේ උත්ප්‍රාසය තවදුරටත් තියුණු කළා. නාට්‍යයේ ප්‍රේක්ෂකයාට අනපේක්ෂිතලෙස මුණ ගැහුණේ තමන් පිළිබඳවම මතු කෙරුණු ප්‍රශ්න. සර් පවසන ආකාරයට සහභාගී වූවන් ඇතැමෙක් විස්මයට පත් වූ අතර ඇතැමෙක් කෝපයට පත්ව තිබුණා. අනර්ඝ නාට්‍යය, එත් නරක දේශපාලනය එයින් කෙනෙක් කණ්ඩායමට කීවා. සර් සම්බන්ධයෙන් මා ඉතාම ගරු කළ ගුණාංගයක් තමයි නිතරම ප්‍රශ්න මතු කිරීමට ඔහුට තිබුණු අධිෂ්ඨානය. ඒ වගේම තමයි පැන යා නොහැකි ලෙස ප්‍රශ්න මුණ ගස්වමින් මිනිසුන් අසීරු අඩියකට දැමීමටත් හිතන්න පොළඹවන්නත් තිබුණු කැමැත්ත. සර් ගැන හිතන කොට මට සර්ගේ හොඳ යාළුවෙක් වුණු ලක්දාස වික්‍රමසිංහගේ ‘කවියා’ නමැති කවියේ පද සිහියට එනවා.

‘සෙනග මැදට බෝම්බයක් හෙළමින් සටහන් ලියා ගන්නා ඔහුයි.’ සර් මේ වගේ ක්‍රියාවලින් උද්දාමයට පත් වුණා. 2006 දී නුවර සිටඩෙල් හෝටලයේ තිබුණු දෙවැනි වාර්ෂික පරිවර්තන සම්මන්ත්‍රණයට පැමිණ ‘පරිවර්තන න්‍යාය මා පිස්සු වට්ටයි, ශික්ෂණ විරෝධී පාපෝච්චාරණයක්’ නමින් පත්‍රිකාවක් ඉදිරිපත් කළ මොහොත එවැන්නක්. සර් එහිදී තමන්ගේම කෘති උපයෝගී කර ගනිමින් පරිවර්තන සහ ප්‍රතිනිර්මාණ ක්‍රියාවලිය පිළිබඳ විමසුමක යෙදුණා. ඔහු ඉතා සෘජුව න්‍යායික දැනුම සහ භාවිතය අතර හටගෙන ඇති විසන්ධි වීම ගැන අසංතෘප්තිය පළ කළා. ඔහු ඒ දුරස්ථභාවය ගැන වෙනත් බොහෝ අවස්ථාවලත් සාකච්ඡා කළා. ‘අපි මේ ඉංග්‍රිසි දෙපාර්තමේන්තුවල ඉතාම රැඩිකල් ස්ත්‍රීවාදී හා පශ්චාත් විජිත න්‍යායයන් උගන්වනවා. ඒත් පන්ති කාමරයෙන් පිටට ගියාම මේ ශිෂ්‍යයින්ට මොකද වෙන්නෙ? ජීවිතයට යම් තරමකින් හරි ප්‍රායෝගිකත්වයක් නොලැබෙනව නං මේ වගේ ඉගැන්වීම් කරන එකේ තේරුම මොකක්ද’ ඔහු දවසක් මට කීවා. උසස් න්‍යාය සහ භාවිතය අතර සමතුලිතතාවක් සෙවීමට ඔහුට අවශ්‍ය වුණා. මම සිතන්නේ ඒ තුලනය සාක්ෂාත් කර ගැනිමේ මාර්ගයක් වීදි නාට්‍යය තුළ ඔහුට පෙනුණු බවයි.

සර් ඉතාමත් වෙනස් ලෝක ගණනාවක් අතර සැරිසෑරූ කෙනෙක්. වීදි ගම්, කම්හල්, පතල්, කමත්, ඉංග්‍රීසි අධ්‍යයනාංශ සහ නාට්‍ය ශාල. ඔහු චිත්‍රපට සහ චිත්‍ර කලා විචාරකයෙක්. ලේකඛයෙක්. ප්‍රතිනිර්මාපකයෙක්. ගුරුවරයෙක්. මාර්ගෝපදේශකයෙක්. නාට්‍ය පුහුණුකරුවෙක් සහ සුන්දර මනුස්සයෙක්.

‘හත්තොටුවේගම සමඟ වීදි බැසීම අද එළි දකී

කංචුකා ධර්මසිරිගේ සංස්කරණයෙන් යුතු ‘හත්තොටුවේගම සමඟ වීදි බැසීම’ ග්‍රන්ථය මෙම මස 26 වැනිදා එනම් අද සවස බොරැල්ල සුදර්ශිී ශාලාවේදී එළි දැක්වේ. පරාක්‍රම නිරිඇල්ල ප්‍රමුඛ ආචාර්ය සිවමෝහන් සුමදි, දීපානි සිල්වා, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මෙදින මුලසුන හොබවනු ඇත. උත්සවය අතරතුරදී හත්තොටුවේගම විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ නාට්‍ය අංග කිහිපයක් ද රඟ දැක්වීමට නියමිතය. හත්තොටුවේගම සමඟ වීදි බැසීම හි සහය සංස්කරණය ලොහාන් ගුණවීර සමඟ නිකෝල් කැලැන්ඩ්‍රාගෙනි.

සර්, මේ මගෙන් ඔබට පිදෙන උපහාරයයි!