වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ පාස්පෝට් එකෙන් වෙන කෙනෙක් රට ගිහින්

මගේ පාස්පෝට් එකෙන් වෙන කෙනෙක් රට ගිහින්
 

කලකට පසු මහේෂ් ජයසිංහ හමු වී

හොඳට දැකල පුරුදු මුහුණක්. කවුද මේ? කඩියා නේද? ඔව්. අපේ සිනමා  ලෝකයේ විකට නළු හා ගායන ශිල්පී මහේෂ් ජයසිංහ කාලෙකට පසුව සරසවියට ඇවිත්.

ඉතිං කොහොමද? මොනවද අලුත් විස්තර?

ගොඩක් හොඳින් ඉන්නවා. රිය අනතුර නිසා කාලයක් ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා හිටියා. පසුව මම ව්‍යාපාර අංශයට යොමු වුණා. ඒ අතරතුරේදි තමයි සුනිල් සෝම පීරිස්ගේ වැඩ බැරි ටාසන් 2 හි චරිතයකින් නැවතත් ක්ෂේත්‍රයට ආවේ.

ව්‍යාපාර නිසා කලාවෙන් ඈත් වන්නට සිදු වෙයි ද?

ඇත්තටම මගේ ජීවිතයේ දියුණුවක් ලබා ගත්තේ ව්‍යාපාරයෙන්. ඒ නිසා තමයි මම ගෙවල් දොරවල්, යාන වාහන සියලු දේ ලබා ගත්තේ. ඉඩම් ගනුදෙනු තමයි මම කරන්නේ. රඟපාන්නත් ආරාධනා ලැබුණොත් ඒ ගැන සලකලා බලනවා.

ඔබ ක්ෂේත්‍රයට පැමිණි දා සිට මේවන තෙක් රඟපෑවේ විකට චරිත. මේ ඒකාකාරී බවෙන් මිදෙන්න කැමැති ද?

මේ වන තෙක් මට ලැබුණෙම විකට චරිත. මම ජෝසප් සෙනෙවිරත්න, හියුගෝ ප්‍රනාන්දු සිට බන්දු සමරසිංහ දක්වාම බිහි වූ විකට නළුවන් සමඟ රඟපාලා තියෙනවා. වෙනස් චරිතයක් කරන්න ආසයි. ඒත් ලැබුණේ නැහැ. කවදා හරි මමම චිත්‍රපටයක් නිෂ්පාදනය කරල ඒකේ ප්‍රධාන චරිතය රඟපානවා. ඒ චිත්‍රපටය එක දවසක් චිත්‍රපට ශාලාවල පෙන්නුවත් කමක් නැහැ.

විකට නළුවෙක් වුණ ඔබ සැබෑ ජීවිතයේදීත් විකටයෙක් ද?

සැබෑ ජීවිතයේදී විකටයෙක් නම් නෙවෙයි. ව්‍යාපාරිකයෙක් විදියට මිනිසුන් සමඟ ගනුදෙනු කරන්න ඕනෑ. එවිට විකටයෙක් වෙන්න බෑනේ.

ඔබ ඉතාම ආසවෙන් රඟපෑ චිත්‍රපට?

නැව ගිලුනත් බෑන්චූන්, නොම්බර 17, කම් ඕ ගෝ චිකාගෝ, නරලොව හොල්මන්, හොඳ හොඳ සෙල්ලම්.

ගායකයෙක් විදියටත් ප්‍රසංගවලට එහෙම සහභාගි වෙනවාද?

එතෙර ප්‍රසංගවලටත් ආරාධනා ලැබුණා. එහි සංවිධායකයන් විසින් මගේ පාස්පෝර්ට් එකේ කොපියකුත් අරගෙන ගියා. මාස 2 කට පස්සේ මම ඒ ගැන හොයලා බැලුවමයි දැනගන්නට ලැබුණේ, මගේ පාස්පෝර්ට් එක විදේශ ගත වෙලා කියලා. මට නම් යන්න අවස්ථාව ලැබුණේ නැහැ. මගේ පාස්පෝර්ට් එකෙන් වෙන කෙනෙක් එම ප්‍රසංගයට ගිහින්. ඒ තරමට ක්ෂේත්‍රයේ කැපිලි තියෙනවා.

ඔබ කෂේත්‍රයට පැමිණි කාලය සහ වර්තමානය අතර කාලයේදී සිනමාවේ තත්ත්වය මොන වගේ ද?

ඉස්සර කාලේ වගේ නෙවෙයි. දැන් කාලේ වෙනස්. ඒ කාලේ චිත්‍රපටයක් දින 100 ක් විතර පෙන්වනවා නේ. ඒ කාලේ චිත්‍රපටයක රඟපාන්නත් ආසයි. අධ්‍යක්ෂවරුන් සමඟ වුණත් වැඩ කළේ හරිම සතුටින්. අද තියෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක්.

පවුලේ තොරතුරුත් කියමු?

බිරිය ඉරේෂිකා ප්‍රනාන්දු. දරුවෝ තුන් දෙනයි. පුතා ඉරේෂ් ජයසිංහ සංගීත අධ්‍යක්ෂවරයෙක්. එක දුවක් ඩිඑෆ්සිසි බැංකුවේ සේවය කරනවා.

අනෙක් දුව උසස් පෙළ අධ්‍යාපනය හදාරනවා. අපි හැමෝම සමඟියෙන් විනෝදයෙන් ඉන්නවා.

අනාගත බලාපොරොත්තු ගැනත් කිව්වොත්?

දුවටයි, පුතාටයි ගායන හැකියාව තියෙනවා. ඔවුන්ගේ ගීත ඇතුළත් සී. ඩී. තැටියක් එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි කවදා හරි චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා. ලංකාවේ ඉන්න විකට නළුවන් සියලුම දෙනා ඒ සඳහා සහභාගි කරගන්න බලාපොරොත්තු වෙනවා.