වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




හීනය සැබෑ කළ ප්‍රදීප්

හීනය සැබෑ කළ ප්‍රදීප්

ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනයට අත්පොත් තැබූ ආර්. ඩබ්ලිව්. ප්‍රදීප් කුමාර කලාවට සැබැවින්ම ආදරය කළා.

ඔහු පාසල් අධ්‍යාපනයේදීම කලාව ඇඳ බැඳ ගත්තේ ස්වකීය හදවතින්මය. ‘සාම කුරුල්ලා’ ඔහුගේ රංගන දායකත්වයෙන් පෝෂණය ලැබූ ප්‍රථම වේදිකා නාට්‍ය වුණා. එයින් ඔහු ලද කිත් පැසසුම් තව තවත් රංගනය වෙනුවෙන් ඔහුගේ සිතෙහි වූ ප්‍රියතාවයට දෙරටු විවර කළා.

‘ජසයා හා ලෙංචිනා’, ‘ගඟ ළග‘, ‘රණ දෙරණ’ මෙන්ම ‘ධර්මාශෝක’ යන වේදිකා නාට්‍ය ඉනික්බිති ඔහුගේ රංගන දායකත්වයෙන් ආ වේදිකා නාට්‍යයන්ය. ඔහුගේ රංගන කුසලතා නිසාම ‘ධර්මාශෝක’ වේදිකා නාට්‍යයේ හොඳම රංගන කුසලතා සහතිකය ලැබීමට ද වාසනාව උදා වුණා. ‘බොඩි ගාඩ්’, අංජලී’ යන චිත්‍රපටවලිනුත් ප්‍රදීප් ඔබ අතරට ආවා. සරසවිය තුළින් ඔහුගේ ගමන දිරිමත් කරමින් රඟපෑමේ සිහිනය සැබෑ කර ගැනීමට තවත් ශක්තියක් වුණා.

මේ ඔහුගේ කතාව.

මම දේශයේ කලා පුවත්පත වූ සරසවියට ගොඩක් ආදරේ කළා. 80 දශකයේ ඉඳලම පත්තරය කියවන්න ආසා හිතුණා. තාමත් එදා පත්තරත් මා ළඟ තියෙනවා. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි. සරසවියට තියෙන ආදරේ නිසාමයි. මේ අතරතුර රඟපෑමේ සිහිනය සැබෑ කර දෙන රඟපාමු පිටුවට මගේ ඇස යොමු වුණා. මොකද සරසවිය ලෙංගතුකමින් අපේ රඟපෑමේ සිහින සැබෑ කරල දෙන නිසා.

අද ඒ සිහිනය සැබෑ වුණා. සුමිත් සුරංගයන්ගේ ‘හත්වෙනි කාමරය’ වේදිකා නාට්‍යයටත්, විලියම්ස් හොලම්ස්ගේ ‘සුදු අක්කා’ චිත්‍රපටයටත් මට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඒ වාගේම තවත් ටෙලි නාට්‍යයකටත් මට ආරාධනාවක් ලැබිල තියෙන්නේ. මේ දිනවල ඒකට සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සුරංගා නිලුෂිනිගේ ‘සඳ තරු රැයක්’, සුමිත් ලියනගේ ගේ ‘සිනමා සිතුවම් දැක්ම’ සංඛගේ ‘රංගධාරා’ යන නර්තන ප්‍රසංගවලටත් මට නර්තනයෙන් දායක වෙන්න ලැබුණා.

රංගනයට වගේම ප්‍රදීප් නර්තනයටත් ඇලුම් කළා. අද ඔහුගේ සියලු සිහින සැබෑ වෙමින් තිබෙනවා. මෙවන් ගමනක් යාමට ඔහුව දිරිමත් කළ සරසවියට ප්‍රදීප් ස්තුති කළා. ඒ ඔහුගේ නිහතමානීකම නිසයි.

‘මම සරසවියට ආදරෙයි. හැම සතියකම මම පත්තරය ගන්නවා. සරසවිය මගේ සිහිනය සැබෑ කළා. මම එය අගය කොට සලකනවා. ගෞරව කරනවා. අපි වගේ අයට කවදත් අත හිත දෙන සරසවියටත්, මට මේ ගමන එන්න උදව් කළ හැම කෙනෙකුටම අවංක ස්තුතිය මුළු හදින්ම පිරිනමනවා.’

ප්‍රදීප්ගේ බලාපොරොත්තුව

හොඳ අධ්‍යක්ෂකවරයෙකුගේ නිර්මාණවලට දායක වෙලා රංගනයෙන් ඉදිරියට යන්න.