වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




බැට් මෑන් පෙන් වූ සිනමාහලට ප්‍රහාරයක්

බැට් මෑන් පෙන් වූ සිනමාහලට ප්‍රහාරයක්

ලොකු කුඩා කාගේත් රස වින්දනයට පාත්‍ර වූ බැට් මෑන් චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටය පසුගියදා ලොව වටා තිරගත කිරීම ආරම්භ කෙරිණි.

ඒ අතර ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේඅවුරෝරා හි සිනමා ශාලාවක බැට් මෑන් නවතම චිත්‍රපටය වන ‘ද ඩාර්ක් නයිට් රයිසස්’ චිත්‍රපටයේ මධ්‍යම රාත්‍රී දර්ශනය අතරතුරේදී වෙඩි තැබීමක් සිදු විය.

පසුගිය 20 වැනිදා රාත්‍රී මෙම බිහිසුනු සිදුවීම සිදුව තිබුණේ අවිරෝරා හි සෙන්චුරි සිනමා ශාලාවේදීය. එම රාත්‍රිය බිහිසුණු වූයේ ගෑස් ආවරණයකින් මුහුණ වසා ගත් අයෙකු විසින් සිදු කරන ලද මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු මරණයට පත්ව තවත් 58 දෙනෙකු තුවාල ලැබීම හේතුවෙනි. මෙම සිදුවීමට මුහුණ දී මියගිය අය අතර වූ ලාබාලම තැනැත්තිය වූයේ වයස අවුරුදු 06 ක් පමණ වූ සිඟිති දැරියකි. මෙම සිදුවීමෙන් 10 දෙනෙකු අදාල ස්ථානයේදීම මරණයට පත් වූ අතර තවත් දෙදෙනෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මරණයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෑත කාලයේදී ඇමරිකාවේ සිදු වූ විශාලම සමූහ ඝාතනයක් ලෙස හඳුන්වන මෙම සාහසික අපරාධය සිදු කළ පුද්ගලයා මේ වන විට අත් අඩංගුවට ගැනීමට කොලරාඩෝ ආරක්ෂක අංශ සමත් වී ඇත.

ඒ අනුව මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ වයස අවුරුදු 24 ක් වූ ජේම්ස් හෝම්ස් නම් තැනැත්තෙක් විසිනි. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාව පිළිබඳ උපාධිධරයෙක් වන ඔහු 2010 වසරේදී උපාධිය ලබා විශ්ව විද්‍යාලයෙන් පිටව ගොස් තිබේ. එහි තොරතුරුවලට අනුව නම් ජේම්ස් හෝම්ස් දීප්තිමත් සිසුවෙක් බවට කරුණු අනාවරණය වී ඇත.

ආරක්ෂක අංශ සොයා ගෙන ඇති තොරතුරුවලට අනුව ඔහු පසුගිය මාස කිහිපය තුළදී උණ්ඩ සහ තුවක්කු 4 ක් මිල දී ගෙන ඇති බවට තෙරතුරු හෙළි වී තිබේ.

ඒ අනුව හෝම්ස් විසින් මෙම ප්‍රහාරය කලින් සැළසුම් කර සිදු කරන ලද්දක් බවට පොලීසිය සැක පළ කරයි. කළු පැහැති කොණ්ඩයක් හිමි හෝම්ස් සිය කොණ්ඩය රතු පැහැයෙන් වර්ණ ගන්වා සිනමා ශාලාවට ගොස් ඇති බවත් ආරක්ෂක අංශවල සැකය එල්ල නොවනු පිණිස ඔහු මෙම පියවර ගන්නට ඇති බවත් කොලරාඩෝ පොලීසිය සඳහන් කරයි.

කෙසේ නමුත් හෝම්ස් කුමන අරමුණකින් මෙම අපරාධය සිදු කරන්නට ඇතිදැයි ආරක්ෂක අංශ තවමත් කරුණු අනාවරණය කරගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ. කාර්යබහුල ජීවිතයෙන් මිදී විනෝදය පිණිස චිත්‍රපටයක් නැරැඹීමට පැමිණ සිටි පිරිසක් ඉලක්ක කර සිදු කරන ලද මෙම සාහසික අපරාධය පිළිබඳ නීතිය අකුරට ඉටු කරන ලෙස ඇමරිකානු ජනපති බැරක් ඔබාමා අදාල නිලධාරීන්ට දැනුම් දී ඇති බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම මරණයට පත්වූවන්ගේ ඥාතීන් හා තුවාල ලැබූවන් හමුවීමට ද ජනපති ඔබාමා අමතක නොකළ බවත් එහි සඳහන්.

බැට් මෑන් චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටය වන ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ෂණය කළ ‘ද ඩාර්ක් නයිට් රයිසස්’ චිත්‍රපටය පසුගිය 16 වැනිදා නිව්යෝක් නගරයේ තිරගත කිරීම ආරම්භ කරන ලදී.

ජූලි 19 වැනිදා ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ ද, 20 වැනිදා උතුරු ඇමරිකාව සහ එක්සත් රාජධානියේ ද තිරගත කිරීම ආරම්භ කෙරිණි. ක්‍රිස්ටීන් බේල්, මයිකල් කේනි, ග්‍රේ ඕල්ඩ්මෑන්, ඈන් හාත්වේ, ටොම් හාඩි ඇතුළු හොලිවුඩ් තරු රැසක් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටයට ඇමරිකානු ඩොලර් මිලියන 250 කට අධික මුදලක් වැය කර තිබේ.

බැට් මෑන් 3 තිරගත වීම ආරම්භ කළා පමණි. ප්‍රේක්ෂකයන් 12 ක් මරණයට පත් කර තවත් 58 දෙනෙකුට තුවාල සිදු කරන්නට ජේම්ස් හෝම්ස් තරුණයා තීරණය කළේ ඇයි? ඔහු යම්කිසි මානසික රෝගයකින් පෙළුනේද? නොඑසේ නම් මෙම සිදුවීම පිටුපස යම් කිසි සංවිධානයක් සිටිත්ද? යන ප්‍රශ්නවලට පිළිතුරු කොලරාඩෝ ආරක්ෂක අංශ විසින් නුදුරේදීම සොයා ගනු ඇත.

කෙසේ නමුත් මෙම ප්‍රහාරය බැට් මෑන් චිත්‍රපටයේ ඉදිරි ගමනට කුමන ආකාරයේ බලපෑමක් සිදු කරයි ද යන්න පිළිබඳව නම් කිසිවකුට තීරණය කළ නොහැකි වනු ඇත.