වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලි සහ සිනමා නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම්

නිර්මාණකරුවනි ඔබේ අයිතිවාසිකම් මොනවාද?

ටෙලි සහ සිනමා නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම්

තිර රචනයේ සිට තිරගතවීම දක්වා

ටෙලි සහ සිනමා නිර්මාණ නිෂ්පාදනයට විවිධ වූ සහ එකිනෙකට වෙනස් වූ සහ සම්බන්ධ වූ මූලිකාංග රාශියක් අයත්වන බැවින් එහි ප්‍රකාශන අයිතිවාසිකම්වලට අදාළ අයිතිවාසිකම් රාශියක් හඳුනාගත හැකි වෙයි. තිර රචනය (බොහෝ විට එය නවකතාවක් ඇසුරෙන් ලියන ලද්දක් විය හැකිය).

සංගීතය, අධ්‍යක්ෂකගේ කුසලතාව, රංගන ශිල්පීන්ගේ කුසලතා, කැමරා ශිල්පීන්ගේ කුසලතා, සංස්කරණය ආදී අංශ ටෙලි සහ සිනමා නිර්මාණයකට අදාළ වැදගත් අංශ වෙයි. ටෙලි සහ සිනමා නිර්මාණයකට අයිතිවාසිකම් කිව හැක්කේ සහ එය බෙදා හැරීමේ බලය ලබා ගත හැක්කේ මේ එක් එක් ශිල්පීන්ට අයත් වූ අයිතිවාසිකම් නිසියාකාරව සකස් කරන ලද ලිඛිත ගිවිසුම් මඟින් ලබාගෙන තිබුණහොත් පමණකි.

චිත්‍රපට බෙදා හරින ආයතනයක්, රූපවාහිනී ආයතනයක් හෝ චිත්‍රාගාරයක් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට පෙරාතුව එම ටෙලි හෝ සිනමා නිර්මාණයේ නිෂ්පාදකවරයා ප්‍රකාශන අයිතිය අදාළ හිමිකරුවන්ගෙන් තමන් ලිඛිතව අයිතිවාසිකම් පවරාගෙන ඇති බවට සහතික විය යුතු වෙයි.

චිත්‍රපට බෙදා හරින ආයතන, රූපවාහිනී ආයතන සහ චිත්‍රාගාර ද ටෙලි හෝ සිනමා නිර්මාණයක් මිලට ගැනීමට, අලෙවි කිරීමට හෝ බෙදා හැරීමට පෙර එම නිර්මාණයේ අයිතිවාසිකම් නිෂ්පාදකවරයා ලබාගෙන ඇති බවට සෑහීමකට පත්විය යුතු වෙයි.

ප්‍රකාශන අයිතිය හිමිකරුවන් නිවැරැදිව හඳුනාගෙන ඔවුන් සමඟ ලිඛිත ගිවිසුම්වලට එළඹීම නිෂ්පාදකවරුන්ගේ වගකීමකි. එවැනි ලිඛිත ගිවිසුම්වලින් තොරව සිදු කරන ක්‍රියාදාමයන් නීත්‍යනුකූල නොවන්නේය. පැවරිය හැකි සහ පැවරිය නොහැකි අයිතිවාසිකම් පිළිබඳව තීරණය කළ යුත්තේ එක් එක් රටෙහි පවත්නා දේශීය නීතිරීතිවලට අනුකූලවය. කෙසේ වෙතත් ටෙලි සහ සිනමා නිර්මාණයක ප්‍රකාශන අයිතිය නිරවුල්ව තබා ගැනීම අත්‍යවශ්‍ය වන්නේය. එසේම එම අයිතිවාසිකම් නිරවුල්ව තබා ගැනීමේ වගකීම පැවරෙන්නේ ටෙලි සහ සිනමා නිර්මාණයේ නිෂ්පාදකවරයාටයි.

මේ එක් එක් අයිතිවාසිකම් වෙන වෙනම හඳුනා ගැනීම වැදගත්ය.

තිර රචනය

සාහිත්‍ය කෘතියක් ඇසුරෙන් (නවකතාවක්, නාට්‍යයක් හෝ තිර රචනයක්) සිනමා හෝ ටෙලි නිර්මාණයක් කරන විට මුලදීම එම සාහිත්‍ය කෘතියේ නිර්මාණකරුගෙන්, නාට්‍ය රචකයාගෙන් හෝ තිර රචනයේ හිමිකරුගෙන් එම තිර රචනය ඇසුරෙන් ටෙලි හෝ සිනමා නිර්මාණයක් කිරීම සඳහා අවසර ලබා ගැනීමේ ගිසුමකට එළඹිය යුතුය. මෙය මනාපය පළ කිරීමේ ගිවිුමක් ලෙස හැඳින්විය හැකිය. මෙම අවසර ලබා දීම සඳහා ප්‍රකාශන අයිතිවාසිකම් හිමිකරුට නිෂ්පාදකගෙන් ගාස්තුවක් අයකර ගැනීමේ අයිතිය ඇත. මෙම ගාස්තුවේ ප්‍රමාණය තීරණය වනුයේ දෙපාර්ශවය අතර ඇතිකර ගන්නා එකඟතාවකට අනුවය.

අධ්‍යක්ෂවරයා සමඟ ඇති කර ගන්නා ගිවිසුම

නිෂ්පාදකයන් තමන්ගේ නිර්මාණවල අධ්‍යක්ෂවරුන් සමඟ ලිඛිත ගිවිසුම්වලට එළඹිය යුතුවේ. අධ්‍යක්ෂවරු සමඟ ඇති කරගන්නා ගිවිසුම් සම්බන්ධයෙන් විවිධ ගැටලු පැන නගී. එක් එක් රටවල දේශීය නීතියට අනුව අධ්‍යක්ෂවරයා කර්තෘවරයා ලෙස හෝ ප්‍රකාශන අයිතියේ හිමිකරුවා ලෙස හඳුනාගත හැකිය. අධ්‍යක්ෂවරයා සේවකයකු ලෙස කටයුතු කරන්නේ නම් නිෂ්පාදක විසින් ඔහුට වැටුපක් ගෙවනු ලැබිය යුතු වෙයි. මුලික කටයුතු කිරීම, අධ්‍යක්ෂණය කිරීම සහ සංස්කරණය කිරිම ද වැටුප් ලබන සේවකයකුගේ රාජකාරිවලට ඇතුළත් කළ හැකිය. එම වැටුපට අමතරව සිනමා නිර්මාණය බෙදා හැරීමේදීී ඔහුට කර්තෘ භාගයක් ලබා ගැනීමට ද අයිතිවාසිකම් ඇත. අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරයා ඇති කර ගන්නා ගිවිසුමට අධ්‍යක්ෂවරයාගේ කාර්ය භාරය සහ ඔහුගේ බැඳීම් සහ වගකීම් සියල්ල ඇතුළත් කර තිබිය යුතුය.

නළු නිළියන් සහ රංගන ශිල්පීන් සමඟ ඇති කර ගන්නා ගිවිසුම්

සිනමා සහ ටෙලි නිර්මාණයක සාර්ථකත්වය සහ ගුණාත්මකභාවය කෙරෙහි නළු නිළියන් සහ රංගන ශිල්පීන්ගේ දායකත්වය වැදගත් සාධකයක් වෙයි. ප්‍රතිභා සම්පන්න නළු නිළියන් යොදා ගැනීම මඟින් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ශණය දිනාගත හැකිය. එමඟින් නිෂ්පාදකගේ මුල්‍ය තත්ත්වයේ ස්ථාවරභාවයක් ඇති කර ගැනීමට අපේක්ෂිතය. එබැවින් රංගන ශිල්පීන් සහ නළු නිළියන් සමඟ ඇති කරගන්නා ගිවිසුම් පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු වෙයි. එම නළු නිළියන් අය කරන ගාස්තු සම්බන්ධයෙන් ගනු ලබන තීරණ සහ එකඟතා ගිවිසුමට ඇතුළත් වීම අනිවාර්ය වෙයි. මෙම ගිවිසුම් ඇතිකර ගැනීමේදී ඒ ඒ රටවල පවත්නා කම්කරු නීතිය ආදිය පිළිබඳව ද නිෂ්පාදකගේ අවධානය යොමු විය යුතුය.

සංගීතය

සිනමා හෝ ටෙලි නිර්මාණයක සංගීතය මුලිකාංගයක් වන අතර විශාලම අභියෝගය ද වෙයි. සිනමා නිර්මාණයකට අයත් සියලුම සංගීතය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු වෙයි. එබැවින් සංගීත නිර්මාණ සම්බන්ධයෙන් ඇතිකර ගන්නා ගිවිසුම් සවිස්තාරාත්මක කොන්දේසි ඇතුළත් හැකිතාක් දුරට අංග සම්පූර්ණ ගිවිසුම් විය යුතුය. සිනමා සහ ටෙලි නිර්මාණවල සංගීතය සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් ගුවන් විදුලි නාලිකාවලින් ප්‍රචාරය කිරීම සංයුක්ත තැටිවලට සහ ඩී. වී. ඩී. වලට ඇතුළත් කිරීම සිදුවන බැවින් නිශ්චිත කොන්දේසි ඇතුළත් ගිවිසුම් සකස් කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි.

සිනමා සහ ටෙලි නිර්මාණවල උපුටනයන් සහ ඡායාරූප

සිනමා නිර්මාණවල උපුටනයන් සහ නිශ්චල ඡායාරූප සම්බන්ධයෙන් කටයුතුª කිරීමේදී ද නීතිමය ගැටලු මතුªවේ. සිනමා නිර්මාණයක පසුබිමේ ප්‍රකාශන නීතියෙන් ආවරණය වන තවත් නිර්මාණයක් තිබිය හැකිය. නිදසුනක් වශයෙන් සිනමා නිර්මාණයක පසුබිමේ චිත්‍රයක් හෝ මූර්තියක් තිබිය හැකිය. සංගීත නිර්මාණ සම්බන්ධයෙන් ද මෙය අදාළවේ. එම නිර්මාණවල ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් නිසි අවසර ලබා ගැනීමට නිෂ්පාදක කටයුතු කළ යුතුය. සිනමා නිර්මාණ බෙදා හරින සහ අලෙවි කරන ආයතන ද තමන් බෙදා හරින හෝ අලෙවි කරන නිර්මාණයේ නීත්‍යනුකූල අයිතිය පිළිබඳව විමසිලිමත් වීම අවශ්‍ය වේ.

නම්, ආයතන සහ දුරකථන අංක ආදිය පිළිබඳ ගිවිසුම්

සිනමා හෝ ටෙලි නිර්මාණයකට යම්කිසි පුද්ගලයකුගේ හෝ ආයතනයක නම, ලිපිනය හෝ දුරකථන අංක, ඊ මේල් ලිපින ආදිය ඇතුළත් කරන්නේ නම් ඒ සඳහා අදාළ පාර්ශවවලින් අවසර ලබා ගත යුතුය. මෙය ඉතා සංකීර්ණ කාරණයක් වන අතර බොහෝ රටවල මේ සම්බන්ධයෙන්ම පැන වූ නීති පනත් දක්නට ඇත.

රක්ෂණය

අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථා ආවරණ කිරීම සඳහා රක්ෂණ ආවරණ ලබා ගැනීමට ද සිනමා සහ ටෙලි නිර්මාණ බෙදා හරින ආයතන, අලෙවිකරුවන් සහ නිෂ්පාදකවරු වග බලා ගත යුතුය.

බෙදා හැරීමේ ගිවිසුම්

සිනමා හෝ ටෙලි නිර්මාණයක නිෂ්පාදක තම නිර්මාණය බෙදා හරින ආයතනය හෝ පුද්ගලයා සමඟ ගිවිසුමකට එළඹිය යුතු වෙයි. එහිදී බෙදා හරින ආයතනය හෝ පුද්ගලයා සහ නිෂ්පාදක අතර ඇති කර ගන්නා ගිවිසුමට සවිස්තාරාත්මක කොන්දේසි ඇතුළත් විය යුතුවේ.

සිනමා නිර්මාණයට ගිය වියදම පියවා ගන්නා ආකාරය සහ ඉන් ලැබෙන ආදායම බෙදන ආකාරය එම කොන්දේසිවලට ඇතුළත් විය යුතුය.

සිනමා හෝ ටෙලි නිර්මාණයක් විවිධාකාරයෙන් බෙදා හැරිය හැකි බැවින් (එනම් ඩී. වී. ඩී මඟින්, රූපවාහිනී නාලිකා මඟින් ගුවන් යානාවක හෝ නැවත පාවිච්චි කිරීම මඟින්) තමන් ඇතිකර ගන්නා කොන්දේසිවලට එම කාරණා ද ඇතුළත් කර ගැනීමට නිෂ්පාදක වග බලා ගත යුතු වෙයි.

නූතන තාක්ෂණික මෙවලම් හමුවේ සිනමා ටෙලි නිර්මාණයක් විධිමත් ආකාරයෙන් සකස් කළ ගිවිසුමකට නොඑළඹී බෙදා හැරියහොත් එහි නිෂ්පාදකට සහ අධ්‍යක්ෂකට විවිධ නෛතික මෙන්ම නෛතික නොවූ ගැටලු රැසකට මුහුණ දීමට සිදුවනු ඇත. ප්‍රකාශන නීතිය උල්ලංඝනය කිරීමේ වරදට වරදකරුව වන්දි ගෙවීමට සහ දඬුවම් විඳීමට සිදු විය හැකිය. එමෙන්ම තමන් අපේක්ෂා කරන ආදායම නොලැබී යා හැකිය.

සිනමා හෝ ටෙලි නිර්මාණයක් මහජනතාව වෙත ඉදිරිපත් කිරීමට පෙර ඊට අදාළ ගිවිසුම් ලේඛනගතව තබා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. එමඟින් එම නිර්මාණයට ආරක්ෂාව සැලසෙන අතරම අනවසරයෙන් පිටපත්කර අලෙවි කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පහසුවක් ද වනු ඇත.

85/2, දෙහිවල පාර,

බොරලැස්ගමුව