වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මතක රූප

මතක රූප

තරු පොකුරක් - සිනහ ගඟක්

අපේ සිංහල සිනමාව කියන්නේ අමරණීය මතක සැමරුම් ගොන්නක්. සිනමාව කලා ලොවට දායාද කළ තරු දකින්න හැමෝම වාසනාවන්ත නොවුණත් ඒ දුර්ලභ අවස්ථාව සරසවිය කැමරා කාචයට හිමි වුණා. සරසවිය කැමරාව එදා දුටු ඒ අමිල දසුන් කීපයක් දැක ගැනීමේ අවස්ථාව ඔබටත් අද උදා වෙලා.

මේ ඡායාරූපයේ පෙනී සිටින්නේ අපේ හෙළ සිනමාවේ පුරෝගාමින්. සුරූපී නිළි රුක්මණී දේවිය අපේ සිංහල සිනමාවෙ සංකේතය වගේ .

ඒ වගේම එඩී ජයමාන්නගේ කවටකම් සිනමාවට ගෙන ආවේ අමුතුම මිහිරක්. මේ යුවළ එකට රඟපෑ කඩවුණ පොරොන්දුව සිංහල සිනමා වංශ කතාවේ ආරම්භය සනිටුහන් කළා. මෙහි රුක්මණීට දකුණු පසින් සිටින ධර්ම ශ්‍රීී රණසිංහ වගේම සේනාධීර කුරුප්පු ඒ කාලේ සිටි අසහාය නළුවන් දෙදෙනෙක්. ලිලියන් එදිරිසිංහත් ඇගේ කවටකම්වලින් සිනමාව ඔපවත් කළේ ඒ සිනහව අදටත් ඉතිරි කරමින්. ඉතිං මේ සියලු දෙනා මේ විදියට එක් වෙලා ඉන්නෙ චිත්‍රපටයක මුහුරත් උළෙලකදී. හැබැයි මේ හැමෝම හිනා වෙන්නේ කාගේ විහිළු කතාවකට ද කියල නම් දන්නේ නැහැ. මේ හැම දෙනාම සුන්දර මතක ගොන්නක් ඉතිරි කරල අද අප අතහැර ගිහින්.

හැබැයි මේ හැමෝටම පිටුපසින් හිනාවෙලා ඉන්නෙ රසිකයෙක් වෙන්න ඇති. ඔහු අදටත් මේ මතක සිහි කරමින් කොහේ හරි ඉන්නවා ඇති.

තිදෙනකු හමු වී – මතක අවදි වී

මේ මෑත ඉතිහාසයේ ජනප්‍රිය චරිත තුනක්. ඒ වගේම එකම කාලේ එකට ආපු තුන් දෙනෙක්. ගෝතමී පතිරාජ, මැණික් කුරුකුලසූරිය, නදීකා ගුණසේකර මැදි කරගෙන මේ එක්වෙලා ඉන්නේ සරසවිය සිනමා සම්මාන උළෙලකදී. කලා ලොවේ සියලු දෙනා එක් රොක් වූ 1982 වසරේ පැවති සරසවිය සම්මාන උළෙලේදී තමයි මේ තරු ත්‍රිත්වය කැමරා ඇස ගැටිල තියෙන්නේ. මේ තුන්දෙනාම රස කරමින් කතා වෙන්නේ රඟපාද්දී සිදු වුණ රසවත් සිදුවීමක් ගැන වෙන්න ඇති.