වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවරාණිගෙන් නෝක්කඩුවක්

ජීවරාණිගෙන් නෝක්කඩුවක්

මේ පත්තර කලාව ගෞරවනීය එකක්. තමන්ගේ නම්බුවත් පත්තරේ නම්බුවත් දෙකම රැකගෙන කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ පත්තරේක වැඩ කරන කොට නොයෙක් තරාතිරම්වල අය ආශ්‍රය කරන්න වෙනවා. ඔවුන් තමන්ගේ ක්ෂේත්‍රයේ අනෙක් අය ගැන නොයෙක් දේ කියන්න ඉඩ තියෙනවා. ඒවා හොඳ වුණත් නරක වුණත් කලින් කියන්න එපා තීන්ත පොවන කඩදාසියක් තීන්ත උරා ගන්නවා වගේ උරා ගන්නවා මිසක් කාගෙන්වත් නරකක් දොසක් අහන්නේ නැතුව මේ රස්සාව කරන්න බෑ.

ඒත් හැකිතාක් දුරට පුද්ගලයන්ට අපහාස නොවන විදියට ඔවුන්ගේ හිත රිදෙන්නේ නැතුව කටයුතු කරන්න ඕනෑ. අනිත් අතට තමන් ලියන දේ පාඨකයන්ට ප්‍රයෝජනවත් වේ නම් ඔවුන්ගේ බුද්ධි මට්ටම ඉහළ නංවනවා නම් බය නැතුව ලියන්න. නිවැරැදිව ලියන්න.

ඊළඟ පත්තරයෙන් නිවැරැදි කරන්න සිද්ධ වෙන කිසි දෙයක් පත්තරේකට ලියන්න එපා යනුවෙන් මා සරසවිය පත්‍රයේ මුලින්ම වැඩට ආ දිනයේ මට ලැබුණු උපදෙස විය. ඒ පත්තර කලා ජීවිතයේ මට ලැබුණු අනභිභවනීය උපදෙස දෙනු ලැබුවේ එවක සරසවිය කර්තෘවරයා වූ විමලසිරි පෙරේරා මහතා විසිනි. මම වයස අවුරුදු දහයේ පටන් පුවත්පත්වලට ලිපි සම්පාදනය කළෙමි. මම සරසවියට සම්බන්ධ වන විට මගේ වයස අවුරුදු දහනමයක් විය.

ඒ වන විට මම පදිංචිව සිටියේ මහනුවරය. විවිධ මාතෘකා ඔස්සේ මා විටින් විට පුවත්පත් සඳහා ලිපි ලිවීමි. ඒවා පුවත්පත්වල පළ වීම මම මහත් සතුටට පත් වූ කරුණක් විය. මා දැන හැඳිනගෙන සිටි පුද්ගලයෙක් වූ සිරිල් වික්‍රමසිංහ චිත්‍ර ගුරුවරයෙක් විය. ඔහු පුවත්පත් සඳහා කාටුන් චිත්‍ර ඇන්දේය. ඒ නිසා ඔහු පත්තර කන්තෝරුවල කතුවරුන් දැන හැඳින ගෙන සිටියේය. මා කර්තෘවරුන් දැන හැඳිනගෙන තිබුණේ ලියුම් මාර්ගයෙන් පමණි.

ඒ වන විට මා කිසිම අයුරකින් මීමන ප්‍රේමතිලක, විමලසිරි පෙරේරා දැක නොතිබිණි. ලිපි මාර්ගයෙන් පමණක් අප අතර ගනුදෙනු සිද්ධ විය. මා හිතවත් සිරිල් වික්‍රමසිංහ මට ලේක්හවුස් ඒම සඳහා ලොකු ශක්තියක් වූයේ ඔහු දැන හැඳින සිටි කතුවරුන් නිසාය. මා ගැන විමලසිරි පෙරේරාට ද කියා තිබුණි.

දිනක් මා වෙත විමලසිරි පෙරේරාගෙන් ලියුමක් ලැබිණ. එයින් කිය වුණේ මා හට කොළඹ ඇවිත් ඔහුව හමුවන ලෙසය. ඒ අනුව මම ඔහු සොයා කොළඹ ලේක්හවුස් එකට ආවෙමි. එදා මීමන ප්‍රේමතිලකත්, විමලසිරි පෙරේරාත් සිටියේ එකම කාමරයේය. ඒ හමු වීමේදී මට විමලසිරි පෙරේරා සරසවිය පත්තරයට සම්බන්ධ වන ලෙස මගෙන් ඉල්ලීමක් කළේය. ඒ 1965 මුල් වකවානුව විය.

එදිනම මට සම්මුඛ සාකච්ඡාවක් කරගෙන එන ලෙස කියමින් විමලසිරි මහතා ප්‍රශ්න වැලක් මගේ අත තැබීය. මහ බැංකුවේ සභාපතිවරයා වෙත ගොස් මා කළ ඒ සාකච්ඡාව මගේ මුල්ම සම්මුඛ සාකච්ඡාව විය. එකල සරසවිය දැන් මෙන් චිත්‍රපටවලටම වෙන් වූවක් නොව සාහිත්‍ය ඇතුළු සියලු කලාවන්ටම විවෘත වූවක් විය. ඒ නිසාම සරසවියේ විවිධ විශේෂාංග පළ විය. මේ හැම විශේෂාංගයක් වෙනුවෙන්ම මා හට යාමට සිදු වූයේ විමලසිරි පෙරේරාගේ මෙහෙයවීමත් සමඟය.

විටෙක ආතර් සී ක්ලාක් හමුවීමට යවන මාව ඊළඟට යවනුයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ළඟටය, නැතහොත් මයික් විල්සන් ළඟටය. සමහර දිනවලට විමලසිරි පෙරේරා මාව මෙවැනි ලිපි සඳහා ද එක්ක ගිය අවස්ථා ද තිබිණි. එකල නිළියන්ගේ නමින් ප්‍රශ්න ඇසීමේ විශේෂාංගයක් විය. දිනක් විමලසිරි පෙරේරා මාව කැටුව පානදුරේ ගියේ ජීවරාණි හමුවීමටය. ඒ ජීවරාණිගෙන් අහන්න විශේෂාංගය සඳහාය. ජීවරාණිට මා හඳුන්වා දුන්නේ මේ මගේ අලුත් ගෝලයෙක්. වැඩ ටික කරගෙන බස් එකේ එයි කියාය. එදා ජීවරාණිගේ ගෙදරින් මට කෑමට ආරාධනා ලැබුණ ද මා එය ප්‍රතික්ෂේප කර නැවත කාර්යාලයට පැමිණියේය.

කිසිවකුගෙන් ත්‍යාග මුදල් හදල් නොගන්නා ලෙසත් එවැනි අයගෙන් ලැබෙන ආරාධනා ප්‍රතික්ෂේප කොට සිටීම මෙන්ම අපක්ෂපාතීව සිටීමට ලොකු ශක්තියක් බවත් විමලසිරි පෙරේරා නිතර කියූ දෙයක් විය. ඒ අනුව මා එම උපදෙස් පිළිපැද්ද හෙයින් කෑම නොගෙන යාම ගැන ජීවරාණි නෝක්කාඩු කියන්නට විය.

මා සරසවියට එක් වූ අලුත තවත් අමතක නොවන සිදුවීමක් විය.

අලුතෙන් රුසියන් පොතක් පරිවර්තනය කරලා තියෙනවා පිස්සකුගේ දින පොතෙන් කියලා කියමින් විමලසිරි පෙරේරා මා අත එම පොත තැබීය. මේ අතින් ඔහු දිගු ගමනක් යන පුද්ගලයෙක්. ඔහු හමුවෙලා ලියන්න හොඳ විශේෂාංගයක්. මේ පොත ලියූ පුද්ගලයා වූයේ සිරිල් සී. පෙරේරාය. ඔහු එවකට වැඩ කළේ නිදහස් චතුරස්‍රයේ පිහිටි ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ සැලසුම් නිර්මාණ ශිල්පියකු ලෙසය. මා ඔහු හමුවීමට ආ කාරණය කී විට එයට ඔහු තරයේ විරුද්ධ විය. වැඩි ප්‍රසිද්ධියට අකැමැති ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කරන්නට එය හේතුවක් විය.

මෙය මට මහත් ප්‍රශ්නයක් විය. මා පැමිණි අලුත මට පැවරූ රාජකාරිය කර ගැනීමට නොහැකි වීම මට මහත් ලැජ්ජාවකි. අනික විමලසිරි පෙරේරා මා වෙත මෙය පැවරුවේ මහත් වූ බලාපොරොත්තුවක් ඇතුවය. මේ නිසාම මා ඔහුගෙන් මිනිත්තු කීපයක අවසරයක් ගෙන බටහිර සාහිත්‍ය හා දේශීය සාහිත්‍ය ගැන ද විමසීමක් කළෙමි.

මිනිත්තු කීපයකට අවසර ගෙන ඒ පටන් ගත් සාකච්ඡාව පැය කීපයක් පුරා දිග් ගැස්සිනි. ඒ අතරවාරයේ ඔහු පිළිබඳ බොහෝ තොරතුරු ඒ සාකච්ඡාවෙන්ම ගැනීමට මා හට හැකි විය. ඒ අනුව මා හට රසවත් ලිපියක් විමලසිරි පෙරේරා අත තැබීමට පසුවදාම හැකි විය.

විමලසිරි පෙරේරාට එක් එක්කෙනාගේ දක්ෂතා හඳුනා ගැනීමට පුදුම ඉවක් තිබිණි. ඒ කාලයේ විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සිටි තරුණයෙක් නිතර සරසවියට ලිපි එව්වේය.

දිනක් විමලසිරි පෙරේරා මේ තරුණයාව අපි ළඟට ගත්තොත් සරසවියටත්, නවයුගයටත් බොහෝ ප්‍රයෝජන ගත හැකි යැයි පවසා ඔහුට ඇවිත් හමුවන ලෙස කියා ලිපියක් යැව්වේය. ඒ අනුව ඒ තරුණයා විමලසිරි හමුවීමට පැමිණියේය.

හේ අන් කවුරුවත් නොව පසුව කීර්තිමත් ලේඛකයකු හා ටෙලි නාට්‍ය රචකයකු වූ සෝමවීර සේනානායකය. සෝමවීර සේනානායක සරසවියට එක් වූයේ ඒ අයුරිනි.

ලේක්හවුස් ආයතනය පුදුම තැනක් විය. ඒ පුදුමය තවත් තීව්‍ර

කළේ සරසවිය නිසාය. සරසවි වරම් ලද්දෝ නිතර මෙහි ආ ගියහ. දිවයිනේ නම ගිය කවීන්, ලේඛකයන්, පමණක් නොව, නළු නිළියන් ද, ආචාර්ය, මහාචාර්ය පිරිස් ද නිතර ආ ගියහ. විමලසිරි පෙරේරාගේ කාමරය අපට සරසවි භවනක් විය. මා ද බොහෝ පිරිස් හඳුනා ගත්තේ මෙහි ආ පසුවය. නමින් පමණක් අසා තිබූ සමහරුන් සැබැවින් දැක්කේ ද හඳුනා ගත්තේ ද මේ විමලසිරි පෙරේරාගේ කාමරය නිසාය.

එදා විමලසිරි පෙරේරා හමුවීමට එන පිරිස් අතරින් ඔහු කැමැතිම පුද්ලයන් සඳහා තේපැන් සංග්‍රහයක් ද ලැබිණ.

බොහෝ අවස්ථාවලදී විමලසිරි පෙරේරා මා කැඳවා මේ අපට අලුතෙන් එකතු වූ තරුණයෙක් කියා ඔවුන්ට මා හඳුන්වා දෙයි. ඔහු නිවාඩු පාඩු දවසක මේ මහත්තයාගේ ගෙදරට ගිහින් අපේ තරුණ පරපුරට ප්‍රයෝජනවත් වෙන දෙයක් අලුත් විදියකට ලියන්න යනුවෙන් මට උපදෙස් දෙයි.

අමුත්තන් නික්ම ගිය පසු ඔහු යළිත් මා කැඳවා පුස්තකාලයට ගිහින් එයාගේ ෆයිල් එක අරන් එයා ලියල තියෙන, එයා ගැන අනිත් අය ලියල තියෙන හැම දෙයක්ම කියවන්න එයාව හම්බ වෙන්න යන්න ඉස්සෙල්ලා. ඔහු තවත් උපදෙසක් දෙයි.

ඒ උපදෙස අකුරටම පිළිපදින මා ඒ ලිපිය ගැන නැවත අහන්න ඉඩ නොතබාම නිවාඩු දින පසු වී එන සඳුදා උදයේම ඒ ලිපිය ඔහුගේ මේසය මත තබමි. සති අන්තයේ කිරීමට මට වැඩක් නොපැවරුවොත් අලුතින් යමක් සිතා හෝ මම සඳුදාට උදෙන්ම ලිපියක් ලියා ගෙන ඒමට අමතක නොකළෙමි.