වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




දීපිකා රජිණි එක් වෙති

දීපිකා රජිණි එක් වෙති

මේ වීරයා ගැන මොනවද කියන්න බැරි? සමකාලීන අයට වගේම මහා නළුවා සමඟ රඟපාන අද ඊයේ නිළියන්ටත් ඔහු ගැන පුරාවෘත්තයකට තරම් කරුණු තියෙනවා.

දීපිකා පදුකෝන්, රජිනිකාන්ත් නම් මහා නළුවා සමඟ මෑතකදීම රඟපෑ නිළියයි. ‘කොච්චඩියන්’ සිනමාපටයේ ඇය ඔහු සමඟ රඟපෑවා. ‘අනේ ඔහු දරුවෙක් වගෙයි.

කාගෙ හරි හැකියාවක් අගය කරන්න ඇත්නම් පොඩ්ඩක්වත් පමා වන්නේ නැහැ.’ ඇය රජිනිට මුව පුරා ප්‍රශංසා කරනවා.

දූ සිඟිත්තිගේ වාසනාව

දූගේ වාසනාව මවට වඩා පියාට බලපාන බව නක්ෂත්‍රකරුවන් කිව්වේ, ආරද්‍යා ඉපදුණු සැටියේයි.

දැන් නම් මෙය ඇත්තක් වේගෙන එන හැඩයි.

මේ වසර උදා වූයේ ඔහු රැඟූ ‘ප්ලේයර්ස්’, ‘දම් මරූ දම්’, ‘රාවන්’ සිනමාපට තුනම දිගින් දිගටම අසාර්ථක වෙමිනි.

එහෙත් මේ වසරේ පළමුවරට ඔහු රැඟූ ‘බෝල් බච්චන්’ සාර්ථක ලෙස තිරගත වීමට පටන් ගෙන තිබේ.

‘බෝල් බච්චන්’ දින තුනක ආදායම ඉන්දියානු රුපියල් කෝටි 40 ඉක්මවා ඇත.

2009 ‘පා’ සිනමාපටයෙන් පසු අභිෂේක් ආදායම් ලැබීම අතින් අසාර්ථක නළුවකු විය.

ලබන වසරේ අභිෂේක් රැඟූ ‘දොස්තානා 2’ හා ‘ඩූම් 3’ සිනමාපට තිරගත වීමට නියමිතය.

අයියා වගේමයි

සල්මන් ඛාන්ගේ සොයුරු අර්බාස් ඛාන් ද සාලු වගේම දඩබ්බරයෙක් ද? මෙසේ සිතන්නට සිදු වී ඇත්තේ අර්බාස් ඛාන්ගේ ලෑන්ඩ් කෲසරයකින් හැත්තෑ හැවිරිදි අසරණියක් මිය ගොස් ඇති නිසයි.

වාහනේ අයිතිය සල්මන්ගේ සොයුරාගේ වුණත්, කාන්තාව යට වෙන වේලාවේ ඔහු රියෙහි නොසිටි බව පසුව හෙළි වී තිබේ.

කෙසේ වුවත් කාරයේ අයිතිකරු අර්බස් ඛාන්ගෙන් ප්‍රකාශයක් ගැනීමට පොලිසිය වග බලාගෙන ඇත.

ඩර්ටි පික්චර් කන්නඩ වෙයි

සම්මාන පිට සම්මාන ගත් ‘ඩර්ටි පික්චර්’ කන්නඩ සිනමාවට නැඟෙමින් පවතී. මෙහි සිල්ක් ස්මිතා ලෙස රාණි රැඟූ චරිතය රඟන්නිය වීණා මලික්ය.

බැංගලෝරයේ සිනමාපටය රූගත කෙරෙන අතර වීණා සමඟ රූගත කිරීම පහසු කටයුත්තක් වී නැත.

දිනක් රූගත කිරීමකදී ඇය නැරැඹීමට විසි දහසකට අධික සෙනඟක් ඒකරාශි වී ඇති අතර පැය ගණනක් ගතවන තුරුම මාර්ග තදබදයක් පැවතී තිබේ.

ගිණි සිළුවට තරු පෙනිලා

නේහා ෂර්මා නම් විසි හතර හැවිරිදි සුරූපී තාරකාව බොලිවුඩයට පෑයුවේ ‘කෲක්’ සිනමාපටයෙනි. අද වන විට ඇයගේ සිනමා ආයු කාලය වසර හතරකි. සිනමාපට ගණන තුනකි. සිනමාපට දෙකක්මතිරගත වීමට නියමිතව ඇත්තේ මේ වසරේදීය.

එක්තා කපුර්, අලුත්ම ගිනි සිළුව නේහාට ‘ක්‍යා සුපර් කූල් හේන් හම්’ රංගන වරම උදා කළ විට නේහා පස්වනක් පී‍්‍රතියෙන් පිනා ගියාය. එහෙත් සිනමාපටය තිරගත වීමට ආසන්න වන විට ඇයට තරු විසි වෙන්නට පටන් ගෙන තිබේ.

ඇය මිතුරන් හා කර්මාන්තයේ සමීපතමයන් පසුපස යමින් උපදෙස් පතන්නීය. ‘නැවත හිතන්න’ ඔවුන් ඇයට දුන් අවවාදයයි.

දෙපැත්ත කැපෙන දෙබස්, සමලිංගික සබඳතා පිරුණු තිර පිටපත නිසා නේහාගේ සිත තදින්ම ගිනි ගෙන තිබේ. ඇය සමඟ මෙහි සාරා ජේන් ඩයස් නිළිය ද රඟන්නීය.

ඇය රැගූ පළමු සිනමාපටය ‘කෲක්’ නේහා යන නිළියට ක්ෂේත්‍රයේ රැඳීමට වරම් ඇති බව කියා පෑවේ සිනමාපටයට යම් තරමක ආදායම් ලබා දෙමිනි.

ක්‍යා සුපර් කූල් හේන් හම්, සරාගී බවත්, හාස්‍ය රසයත් එකට කැටි කළ සිනමාපටයකි. ජූලි 27 වැනිදා සිනමාපටය තිරගත වීමට නියමිතය. නේහා හා එක්තා අතර පවතින මත ගැටුම නිසා සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතුවලට ද නේහා සහභාගිකර නොගන්නා බවට රාවයක් පවතී.