වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




අමෙරිකාවේදී සබීතාට යාවජීව සම්මානයක්

අමෙරිකාවේදී සබීතාට යාවජීව සම්මානයක්

ලෙස්ටර් - සුමිත්‍රා චිත්‍රපටවලට දායකවන්න නොලැබීම දුකක්

එදවස අප ඈ හැඳින්වූයේ හෙළ සිනමාවේ සුරූපිනිය ලෙසිනි. ඒ රූ සොභාවේ අසිරිය තවමත් ඈ වෙතින් දිස්වේ. සැබැවින්ම ඒ සුරූපී සබීතා තවමත් සුරූපීය. කාලයට අවනත නොවන කිසිවක් මෙලොව නැතත් ඇගේ සොඳුරු සිනහව, ආකර්ෂණීය බැල්ම සොරා ගන්නට කාලයට පවා නොහැකිව ඇති සෙයකි.

සබීතා පිළිබඳ ආදරණීය මතකය ප්‍රේක්ෂක හදවතින් තවමත් ගිළිහී ගොස් නැත. ඒ ඈ සිනමාවේ තැබූ සුවිශේෂී ලකුණ නිසාවෙනි. තරු ගුණයත්, විශිෂ්ටත්වයත් එක්තැන් කළ ඒ ලකුණ ලාංකේය සිනමාවෙන් කිසිදා මැකී නොයනු ඇතැයි මට සිතේ.

සිය දයාබර සැමියා උපාලි, පුතු චන්දූප සමඟින් සබීතා පසුගියදා විදෙස් සංචාරයක නිරත වූවාය. ඒ අමෙරිකා එක්සත් ජනපදයේය. ඒ සංචාරයේදී ලත් ආනන්දනීය අත්දැකීම් අප හා බෙදා හදාගන්නට ඈ ‘සරසවිය’ සමඟින් එක් වූයේ මෙලෙසිනි.

ඇත්තෙන්ම මේ අමෙරිකා සංචාරයට මම සහභාගි වුණේ හේතු කිහිපයක් මුල් කරගෙන. ලොස් ඇන්ජලීස්වලයි මේ සංචාරය තිබුණේ. එහෙ ඉන්න ශ්‍රීී ලාංකිකයන් ‘රන්වන් රැයක්’ කියලා ප්‍රසංගයක් පවත්වනවා.

මම තමයි මෙවර ඒ ප්‍රසංගගයේ ආරාධිත ශිල්පිනිය හැටියට සහභාගි වුණේ. මීට කලින් ඔවුන් මෙවැනි ප්‍රසංග දෙක තුනක් කළා. මටත් ආරාධනය කළා. ඒත් අමෙරිකාව කියන්නේ ටිකක් දුර රටක් නිසා මම දවසින් දවස මේ ගමන කල් දදා හිටියා.

එතකොට මේ සබීතාගේ පළමු අමෙරිකානු සංචාරය?

නැහැ, මම මීට කලින් දෙතුන් වරක් එහෙ ගිහින් තියෙනවා. ගුවන් කාලය දිගු නිසා ගමන ටිකක් වෙහෙස කරයි. නමුත් මේ සංචාරයට උපාලිත්, පුතාත් සහභාගි වුණ නිසා ඒක ඉතාමත්ම සතුටුදායක, විනෝදජනක සංචාරයක් වුණා. අනෙක මේ ප්‍රසංගයේ සංවිධාන කටයුතු සිදු කළ පාලිත කස්තුරිආරච්චි මගේ හොඳ රසිතයෙක්. දැනට අවුරුදු පහළොවක කාලයක ඉඳන් එයා එහෙ පදිංචි වෙලා ඉන්නේ. ලංකාවේ ඉඳන්ම ඔහු මාව දන්න, හඳුනන කෙනෙක්. ඉතින් ඔහුගේ ඉල්ලීම අහක දාන්නත් බැරි වුණා.

ලංකාවේ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් මෙවැනි ප්‍රසංග විදෙස් රටවල පැවැත්වෙනවා. නමුත් ‘රන්වන් රැයක්’ එවැනි තවත් එක් ප්‍රසංගයක් පමණක්ම නෙවෙයි?

ඇත්තෙන්ම මේ ප්‍රසංගය පැවැත්වුණේ අරමුණු කිහිපයක් මුල් කරගෙන. ඒ අය මට සිනමාවේ යාවජීව කර්තව්‍ය වෙනුවෙන් සම්මානයක් දුන්නා. ඉතාම අලංකාර විදිහට ඔවුන් ඒ කටයුත්ත සංවිධානය කර තිබුණා. සම්මානය ගන්න වේදිකාවට ආපුවාම මා පුදුමයට පත් කරමින් ‘සබීතා’ චිත්‍රපටයේ පටන් මගේ ගීත ජවනිකා ඇතුළත් ජනප්‍රිය චිත්‍රපට ගී දහයකට ඔවුන් ඉතාමත් ආකර්ෂණීය නර්තනයක් ඉදිරිපත් කළා. ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ එවැනි දෙයක් සිදු වෙයි කියලා. කොළඹ ජාතික රෝහලේ හිටපු අධ්‍යක්ෂ හෙක්ටර් වීරසිංහ මහතා තමා දැන් එහි කොන්සල්වරයා. ඔහු අතින් තමයි මට මේ සම්මානය පිරිනැමුණේ. ඒ වගේම තවත් සුවිශේෂී කටයුත්තකට එදා මුල පිරුණා.

මොකක්ද?

සබීතා ‘යාවජීව’ සම්මානය ලබමින්

මේ ප්‍රසංගයෙන් ලැබෙන ආදායමෙන් රිජ්වේ ආර්්‍යා ළමා රෝහලට ස්කෑනර් යන්ත්‍රයක් ලබා දෙනවා. අපේ රටේ අසරණ ළමයින්ට යහපතක් වෙනවා නේද කියන සිතිවිල්ලත් ඇත්තෙන්ම මට මෙවැනි ගමනක් එන්න තවත් හේතුවක් වුණා.

සබීතා, කොච්චර කල් එහෙ හිටියද?

සති දෙකයි. පියල් මාතරආරච්චි කියලා අපේ යාළුවකුගේ ගෙදර තමයි අපි නැවතිලා හිටියේ. බොහොම ළෙන්ගතුව, ආදරයෙන් අපිව රැක බලා ගත්තා. ඇත්තෙන්ම ආගන්තුක සත්කාරය කියන දේ නම් ඉහළින්ම තිබුණා. හරිම සතුටෙන් ඒ සති දෙක අපි එහෙ ගත කළේ. ගොඩක් තැන්වල ඇවිද්දා.

කියමුකෝ බලන්න ඒ ගැනත්?

අපි යුනිවර්සල් ස්ටුඩියෝ එක බලන්න ගියා. කොහොමටත් මම හරි ආසයි. මේ මම තුන්වැනි පාරට බැලුවේ. මම හිතන්නේ විශේෂයෙන්ම සිනමා ශිල්පීන්ට, ශිල්පිනියන්ට හුඟාන් වටින තැනක් ඒක. චිත්‍රපට හැදෙන්නේ කොහොමද, ඔය ස්පෙෂල් ඉෆෙක්ට්ස් කරන්නේ කොහොමද, සටන් කරන්නේ කොහොමද මේ වගේ ගොඩක් දේවල් පෙන්නනවා එතැන. අපි යනකොටත් එතැන ෆිල්ම් එකක වැඩ. අපි ස්ටුඩියෝ එක වටේම ගියා. අක්කර ගාණක භූමි භාගයක්. කිංකොං, ජෝස්, ජුරාසික් පාර්ක්, ටර්මිනේටර් වගේ චිත්‍රපටවල දර්ශන අපට පෙන්නුවා. යුනිවර්සල් චිත්‍රාගාරය කියන්නේ ඇත්තටම කොච්චර බැලුවත් එපා නොවෙන තැනක්.

එතකොට ඩිස්නිලන්තයට ගියේ නෑ?

ඩිස්නිලන්තය අභියස

අනේ ඔව්. චන්දූප ආසයි කිව්ව නිසාඅපි ඩිස්නි වර්ල්ඩ් එකටත් ගියා. ළමයින්ට ගොඩක් බලන්න, විනෝද වෙන්න පුළුවන් තැනක් එතැන. ඒත් මම වැඩියෙන් එන්ජෝයි කළේ යුනිවර්සල් ස්ටුඩියෝ එකේ. තවත් අපි එහෙමෙහෙ ගියා. මම හිතන්නේ ඇමරිකාව වගේ ලොකු රටක ඇවිදින්න සති දෙකක කාලයක් මදි. අඩුම තරමේ කැලිෆෝනියාවල තියෙන දේවල් දැක බලා ගන්න සුමාන තුනක්වත් යයි.

ඉතින් තව ටිකක් කල් ඉන්න තිබුණනේ?

මට නං ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් උපාලිට ව්‍යාපාරික කටයුත්තක් නිසා ලංකාවට එන්නම සිදු වෙලා තිබුණා. අනෙක බබාගේ ස්කෝලෙත් තිබුණා. ඉතිං ඒක හින්දා අපි ගමන දික් කර ගත්තේ නෑ. වෙලාව තිබුණොත් ලබන අවුරුද්දේ ආයේ ඒ පැත්තේ රවුමක් ගහන්න හිතාගෙන ඉන්නවා.

අමෙරිකාවේ පදිංචි වෙලා ඉන්න අපේ කලා ශිල්පීන්, ශිල්පිනියන් හමු වුණේ නැද්ද?

මට ගෝතමී පතිරාජ හමු වුණා. සම්මානය දෙන කොට ගෝතමී තමයි හේතු පාඨය කියෙව්වේ. ගෝතමී මාව දැකලා හරි සතුටු වුණා. එස්. වී. චන්ද්‍රන් කියන අධ්‍යක්ෂවරයා හමු වුණා. ශිරාණි කෞෂල්‍යා දුරකතනයෙන් කතා කළා. කුමුදු අතපත්තු, තිලක් අතපත්තු එහෙ ඉන්නවා කියලා ආරංචි වුණා. ඒත් මට කතා කරන්න හම්බ වුණේ නෑ. ලින්ටන් සේමගේ, සොමී රත්නායක, ඩොනල්ඩ් කරුණාරත්න වගේ අපේ කලා ශිල්පියොත් ඉන්නේ එහෙ. සොමී රත්නායක මට ලංකාවේදී හමු වුණා.

ඒ අය වගේ සබීතාටත් හිතුණේ නෑ එහේ නවතින්න?

නෑ . . . නෑ . . . එහෙම හිතුණේ නෑ. අපි දන්නවානේ ඒක මහ දැවැන්ත රටක්නේ. මම ආසා මේ රටේ ජීවත් වෙන්න. මම හිතන්නේ මොන හේතුවක් උඩ පිටරටක ජීවත් වුණත් මේ රටේ ඉපදුන ගොඩක් දෙනා කැමැති මෙහෙ ජීවත් වෙන්න. හැබැයි එහෙ ඉපදුණ ළමයි කැමැති තමන් උපන් රටේම ජීවත් වෙන්න. මොකද ඒ ළමයින්ගේ රට ඒ රටනේ.

සබීතා, සැමියා සහ චන්දූප පුතු සමඟ

කොහොමද නිළියක් හැටියට එදා ජනප්‍රියත්වය තවමත් ඔයාට තියෙනවා කියලා හිතෙනවාද?

ඔව්. මට ඒක නම් මෙහෙදිත් දැනුණා. ගොඩක් දෙනා මගෙ එක්ක ඡායාරූපවලට පෙනී සිටියා. ෆොටෝ ගන්නවා, ගන්නවා ඉවරයක් නැහැ. මම හිතන්නේ ගොඩක් අය අසූව දශකයේ අපේ රසික පරම්පරාව. ඒ අය තාමත් අපට ආදරෙයි. අද පරපුරේ අය ගැන ඒගොල්ලෝ සමහර වෙලාවට දන්නෙත් නැහැ.

සබීතා සංචාරය කළ රටවලින් වඩාත්ම කැමැති?

ඕස්ට්‍රේලියාවට වඩාත්ම කැමැතියි. අමෙරිකාව කියන්නෙත් මම කැමැති රටක්. ඇත්තටම යම් රටකට ගියාට පස්සේ අපට ලැබෙන ප්‍රතිචාරත් බලපානවා ඒ රටට කැමැති වෙන්න. ‘විරාගය’ එක්ක මම එංගලන්තයට ගියා. ‘දෙවැනි ගමන’ එක්ක මැනිලා ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කළා. පහුගිය කාලේ සාමාන්‍යයෙන් අපි ගියේ අපේ ට්‍රිප්නේ. එහෙම වෙලාවට ලංකාවේ අය හමුවෙනවා අඩුයි. ඉතින් මේ වගේ දෙයකට ආපුවම තමා අපට ගොඩක් ලාංකිකයෝ ඇසුරු කරන්න ලැබෙන්නේ. ඔවුන්ගේ ආදරය, සෙනෙහස අපට දැනෙන්නේ ඒ වගේ වෙලාවටයි. මම හිතන්නේ අපට තියෙන ලොකුම දේ තමයි රසිකයෝ අපව අගය කිරීම.

‘අබා’ චිත්‍රපටයෙන් පසුව හොඳ චිත්‍රපටයක් ලැබුණොත් රඟපානවා කියලා ඔයා කිව්වා. ඇයි තවම නිහඬ?

චිත්‍රපට දෙකකට විතර මට කතා කළා. හැබැයි ඒවා මම සතුටු වෙන විදිහේ ඒවා නෙවෙයි. චරිත ගැන මට සෑහීමකට පත් වෙන්න බෑ. නමුත් මම අදත් කියනවා හොඳ චිත්‍රපටයක් ලැබුණොත් අනිවාර්යයෙන් මම රඟපානවා.

ටෙලි නාට්‍යවලට ඇරැයුම් ලැබෙන්නේ නැහැ?

අනන්තයි, අප්‍රමාණයි. චිත්‍රපටවලට සාපේක්ෂව බලනවා නම් අද කොයි තරම් ටෙලි නාට්‍යය හැදෙනවද? නමුත් කීයෙන් කීයද හොඳ මට්ටමේ තියෙන්නේ. මම ‘භාර්යාවෝ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඒකටත් මම සම්බන්ධ වුණේ නිතර දෙවේලේ මුණ ගැසෙන මිතුරියක් වන සුදර්මා නෙත්තිකුමාර ඒක නිෂ්පාදය කළ නිසා. ඇත්තටම ගොඩක් අය ඒක නැරැඹුවා. ප්‍රතිචාරත් තියෙනවා. නමුත් මම එච්චර තෘප්තිමත් නැහැ. ඊට පෙර අවසන් වරට මම රඟපෑවේ ‘ඇසල කළුවර’ ටෙලි නාට්‍යයේ.

ලෝ ප්‍රකට යුනිවර්සල් චිත්‍රාගාරයේදී . . .

‘සුන්දරි නන්දාට’ තරම් ප්‍රතිචාර ලැබෙන්න නැතිව ඇති?

ඇත්තටම නෑනේ. එදා මම රඟපෑ ටෙලි නාට්‍ය හතර පහ මම කරලා තියෙනවා උපරිමයෙන්. ඒ තැන නැති කර ගන්න මට බැහැ. මම හිතන්නේ අධ්‍යක්ෂවරු පවා එහෙමයි. නිර්මාණ පවා එහෙමයි. මම පවා එහෙමයි. කරන්න පුළුවන් උපරිමය කරලා තියෙනවා. සම්මාන පවා ලබලා තියෙනවා. ඒත් අද හැදෙන හුඟක් ටෙලි නාට්‍යවල ඒ තත්ත්වය නැහැ. ඒකයි මම කිව්වේ ‘භාර්යාවෝ’ ටෙලි නාට්‍යය ගැනත් මගේ ඒතරම් තෘප්තියක් නැහැ කියලා. ඇත්තම කියන්න ඕනෑනේ.

නමුත් තවමත් අතරින් පතර හෝ හොඳ ටෙලි නාට්‍යය නිර්මාණය කරන අධ්‍යක්ෂවරු අපට ඉන්නවා?

ඔව් . . . ආනන්ද අබේනායක, සුදත් රෝහණ, අනුරුද්ධ ජයසිංහ වගේ නිර්මාණ ශිල්පීන් ඉන්නවා. මම නම් ඉතිං ටෙලි නාට්‍යය බලනවා අඩුයි ඇත්තටම. මගේ ආසාව තියෙන්නේ සිනමාවටනේ. මම කැමැතියි හොඳ චිත්‍රපටයක් කරන්න. ඉදිරියේදී මම චිත්‍රපටයක රඟපාවි.

කලක් අපේ සිනමාවේ දඟකාර, බොළඳ පෙම්වතිය වුණේ සබීතා. ඒ රඟපෑම් අදටත් විවිධ රූපවාහිනී නාළිකාවල විකාශය වෙනවා. ඇත්තටම ඒ රඟපෑම් දැක්කම අද ඔයාට මොකකද හිතෙන්නේ?

ඇත්තටම සමහර ඒවාට නම් හිනා යනවා. බොරු කියන්න ඕනෑ නෑනේ. සමහර වෙලාවට මගේ යාළුවෝ හම්බුනාම මට විහිළු කරනවා. ඒ ගොල්ලන්ට හිතා ගන්න බෑලු ඒ මම ද කියලා.

හැබැයි අද බලන කොට ඒවායේ යම් සුන්දරත්වයකුත් තියෙනවා නේද?

මෙහෙමයි. එක එක කාලවලදී අපි එක එක දේවල් කරනවානේ. ඒ කාලෙට අපි කරපු දේවල් හොඳයි නේ.

ආදරේ මන්දිරේ ඇරුණා වාගේ ගීතේ ඇසේ යොවුන් බඹර කලාපේ සබීතා, කීත් රංග සමඟ රංගනයක

අනිවාර්යයෙන්ම . . .

සමහර විට අද අපි කරන දෙයක් වුණත් අනාගතයේදී බලන කොට විහිළුවක් වේවි. ඒවා කාලානුරූපව සිදුවන දේවල්. නමුත් සමහර දේවල් තියෙනවා, කොහොමද කළේ කියලා මටත් හිතා ගන්න බැහැ. ඒ දේවල් හරිම දුෂ්කරයි. අපි පාන්දර නැගිටගෙන රෑ එළි වෙනකල් වැඩ කළා. අපේ සිනමා ගමනේ සාර්ථකත්වයක් තියෙන්නේ ඒ කැපවීම තුළම තමයි. දැන් ආපහු හැරිලා බලනකොට ඒ දේවල් ගැන සතුටුයි. දැන් ගොඩක් වෙලාවට ඔය ටෙලි නාට්‍යවල රඟපාන අය දවසෙන් දෙකෙන් අමතක වෙලා යනවානේ. ඒත් රුක්මණී දේවියගේ ඉඳන් ගත්තොත් මාලිනී අක්කා, ශ්‍රියානි අක්කා, ස්වර්ණා, ගීතා, අනෝජා, වසන්ති, අපිව තවම මිනිස්සුන්ට මතක මොකද? ඒ සිනමාවේ තිබුණ ප්‍රබලත්වය නිසා. සිනමාවේ අපට හොඳ අවස්ථාවක් ලැබුණා. මම හිතන්නේ අදටත් ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, ජෝතිපාල ගැන මිනිස්සු කථා කරන්නේ ඒ නිසයි. එහෙම වෙන්න මම හිතන්නේ ලොකු වාසනාවකුත් තියෙන්න ඕනෑ හැකියාව වගේම.

සබීතාටත් ඔය දෙකම තියෙනවා?

ඔව්. වාසනාව, හැකියාව මට තිබුණා කියලා මමත් විශ්වාස කරනවා. සිනමාවේ කීර්තියක්, ජනප්‍රසාදයක් හිමි කරගත් අනෙක් අයත් එහෙමයි. මම පටන් ගත්තේ වාණිජ සිනමාවෙන්. ඊට පස්සේ තිස්ස අබේසේකර, එච්. ඩී. ප්‍රේමරත්න වැනි විශිෂ්ට සිනමාකරුවන්ගෙන් මගේ රංගන චාරිකාවට හොඳ වටිනාකමක්, බරක් එක් වුණා. ප්‍රසන්න විතානගේ, ප්‍රියන්ත කොළඹගේ, චන්දන සිල්වා වගේ අය. සුදත් දේවප්‍රිය එක්කත් මම හොඳ ෆිල්ම් එකක් කළා. ඒත් ඒක ආවේ නැහැ. අන්තිම කාලේ ජැක්සන් ඇන්තනි, ජයන්ත චන්ද්‍රසිරි, තිස්ස අබේසේකර, සුදත් මහදිවුල්වැව වගේ අධ්‍යක්ෂවරුන් එක්ක මට හොඳ ටෙලි නාට්‍යය කිහිපයකටම දායක වෙන්න ලැබුණා.

ඒ ගැන ඔයා හුඟක් තෘප්තිමත්?

ඔව් . . . නමුත් මට පුංචි දුකක් තියෙනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස් එක්ක මට කවදාවත් වැඩ කරන්න ලැබුණේ නැහැ. ‘අවරගිර’ චිත්‍රපටයේ මට අවස්ථාවක් ලැබුණා ලෙස්ටර් මහත්මයා එක්ක වැඩ කරන්න. ඒත් ඒ කාලේ මම පාකිස්ථාන චිත්‍රපටවල රඟපෑ නිසා කාර්යබහුල වී සිටියා. ඒ නිසා ඒ අවස්ථාව මඟ හැරුණා. ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, විජය ධර්ම ශ්‍රී මට මඟ හැරුණු, මම රඟපාන්න ආසාවෙන් හිටපු තවත් අධ්‍යක්ෂවරු තිදෙනෙක්. ඒ අවස්ථා අහිමි වීම ගැන අදටත් හිතේ තියෙන්නේ දුකක්, කනගාටුවක්.