වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




දැන් මම කරුවල වැටෙන්න කළින් ගෙදර යනවා

දැන් මම කරුවල වැටෙන්න කළින් ගෙදර යනවා

රසට පුවත් කී හිතවතා හරේන්ද්‍ර ජයලාල්

දවසේ සමබර පුවත් විකාශය ලයිව් @ 8 සමඟින් මම හරේන්ද්‍ර ජයලාල් මීට කලකට ඉහතදී ඔබට සුපුරුදු වූ ඒ හඬ. ස්වර්ණවාහිනී නාළිකාවේ රාත්‍රී 8 පුවත් ප්‍රකාශනයෙන් ජනතා ආකර්ශනය දිනා ගත් ඔහු අද ප්‍රවෘත්ති කියන්න ආවේ නැතත් ළඟදීම දවසක අලුත් දෙයක් අරගෙන සුපුරුදු ළෙංගතුකමින් ඔබ හමුවට ඒවි.අපි ඒ ගැන ඔහුගෙන්ම අහමු.

* මොනවද මේ දවස්වල අලුත්ම විස්තර?

පසුගිය ජනවාරි මාසයේදී මගේ ජීවන ගමන් මෙඟ් වෙනසක් වුණා. මම ආරම්භ කළ  Best Voice මාධ්‍ය පුහුණු පාසලේ පළමු කණ්ඩායමේ විසිර යාම පසුගිය 15 වැනිදා සිදු කෙරුණා. එහිදී මාධ්‍ය, නිවේදන කටයුතු, සංවිධානය වැනි සියලු දේ පිළිබඳ දරුවන් දැනුවත් කිරීම සිදු කළා. ඒ වගේම දෙවැනි කණ්ඩායමත් බඳවා ගත්තා. ඊට අමතරව සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ දේශන පවත්වනවා.

* ජීවිතයේ වෙනසක් වුණා කියන්නේ නිවේදන කටයුතුවලට සමු දුන්නාද?

ස්වර්ණාවාහිනි නාලිකාවේ පූර්ණකාලීන සේවයෙන් ඉවත් වුණාට එහි අනෙකුත් නිවේදන කටයුතු සඳහා සහභාගි වෙනවා. හැම පෝයටම අමා දහර පෝදා වැඩ සටහන ඇතුළුව විශේෂ සජීවි වැඩ සටහන්වලට නිදහස් නිවේදකයෙක් විදියට දායක වෙනවා. ඉස්සර මේ සියලු කටයුතුª සමඟ මම හැල්මේ දුවපු කෙනෙක්. වෘත්තීය ජීවිතයයි, පෞද්ගලික ජීවිතයයි අතරේ තිබුණ දැඩි කාර්ය බහුලත්වය නිසා ප්‍රවෘත්ති නිවේදන කටයුතුවලින් ඉවත් වෙන්න තීරණය කළේ. දැන් මම උදේට ගෙදරින් එනවා. කරුවල වෙන්න කලින් ගෙදර යනවා. මීට කලින් කරුවල වැටෙන්න කලින් ගෙදර ගියේ වැරැදීමකින් හරි අසනීප උනොත් හරි තමයි. දැන් එහෙම නෑ. ජීවිතේ හරිම සුන්දරයි.

* මාධ්‍ය ජීවිතයේ ආරම්භය ගැනත් සඳහන් කළොත්?

මීට අවුරුදු 16 ට කලින් තමයි මාධ්‍යයට ආවේ. ලක්හඬ ගුවන් විදුලි නාලිකාව සඳහා බඳවා ගත් පළමු කණ්ඩායමට මම තේරුණා. ලක්හඬ තමයි මගේ මාධ්‍ය පාසල. එහි වසර 2 ක් සේවය කරද්දී 1998 වසරේ ඒ. බී. සී. මාධ්‍ය ජාලයේ තරු F M සඳහා ලක්හඬෙන් තෝරා ගත් කණ්ඩායමට මමත් ඇතුළත් වුණා. පසුව 2001 වසරේදී තමයි මම ස්වාර්ණවාහිනි නාලිකාවට සම්බන්ධ වෙන්නේ. ඒ වෙන කොට මම චැනල් අයි නාලිකාවේ හින්දි වැඩ සටහනක නිවේදකයෙක් විදියටත් කටයුතු කළා. මේ දක්වා ස්වර්ණවාහිනිය තමයි මා ලද හොඳම, ලොකුම, වටිනාම අවස්ථාව. ඒක මගේ ජීවිතයේ දෙවැනි උපත ලෙසයි සලකන්නේ. එහිදී මම මුලින්ම පැය භාගයෙන් භාගයට ඉදිරිපත් කළ විනාඩි තුනක උණුසුම් විමසුම් ප්‍රවෘත්ති විකාශය ඉදිරිපත් කළා. ඉවත් වන තුරුම එහි ප්‍රවෘත්ති අංශ ප්‍රධානියා විදියට කටයුතුª කළා. එහිදී මම පියවරෙන් පියවර තමයි ඉදිරියට ගියේ. එයට ස්වර්ණවාහිනියෙන් ලද ආශිර්වාදය ශක්තියක් වුණා.

* පුංචි කාලෙදි ආසාවක් තිබුණ ද කවදා හරි නිවේදකයෙක් වෙනව කියලා?

පවුලේ කවුරුවත් මාධ්‍යයට සම්බන්ධ නැහැ. පොඩි කාලේ මම ඉගෙන ගන්න දක්ෂයි. අම්මාගේ විශ්වාසය වුණෙත් මම නිවැරැදි තීරණ ගන්නවා කියන එකයි. පවුලේ අය දැනගෙන හිටියා මම කවදා හරි මම එයාලට වැඩිය හොඳට ජීවිතය ගොඩ නඟා ගනියි කියලා. මගේ කැමැත්ත වුණේ මාධ්‍යයට සම්බන්ධ වෙන්න. ඒ අනුව මම අද මාධ්‍ය ක්ෂේත්‍රයේ හොඳ තැනක ඉන්නවා.

* රූපවාහිනි වැඩ සටහනක් ඉදිරිපත් කළ පළමුවෙනි දවස මතකද?

මුලින්ම කැමරාවක් ඉදිරියට ගියේ 1997 දී. ඒ ස්වර්ණවාහිනියේ වේගා ගී නම් වැඩ සටහන ඉදිරිපත් කරන්න. ලක්හඬ ගුවන් විදුලියේ ඉන්න කාලෙදි චිත්‍රපටයක මුහුරත් උළෙලක නිවේදනය කරනව දැකල තමයි ඒ සඳහා ආරාධනා ලැබුණේ. එදා මට කැමරාව ඉදිරියේ ඉන්නව කියල චකිතයක් දශමයක් තරම්වත් දැනුණෙ නෑ. අදත් එහෙම දැනෙන්නේ නෑ. මම බොහොම නිදහස්ව කැමරාවට මුහුණ දෙනවා. මේ දක්වා කිසිම තැති ගැන්මක්වත්, පසුගාමී බවක්වත් දැනිල නම් නැහැ.

* නිවේදන ජීවිතයේදී ප්‍රියතම නිවේදකයා හෝ ගුරුවරයා අනුකරණය කළාද?

මගේ මාධ්‍ය ජීවිතයේ ගුරු කොට ගත් තිදෙනෙක්ම ඉන්නවා. එක් කෙනෙක් තමයි චන්දන තිලකරත්න.ලක්හඬේදී මාව පෝෂණය කළේ ඔහුයි. අනෙක් දෙදෙනා තමයි හේම නලින් කරුණාරත්න සහ ජැක්සන් ඇන්තනී. ඒ දෙපළත් මගේ මාධ්‍ය ජීවිතයට ආලෝකයක් වුණා. ඔවුන්ගේ ශෛලීන් එකිනෙකට වෙනස්. මම ගුරු කොට ගත් ඔවුන්ගේ හොඳ දේ මම මගේ ක්‍රමයට එකතු කර ගත්තා. නමුත් මම කිසිවෙක් අනුකරණය කළේ නැහැ. මම හැම විටම හිතුවෙ මම මමම විය යුතුයි. මම වගේ වෙන අය හිටියට කමක් නැහැ.

* ඔබ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී මුහුණ දුන් අමතක නොවන සිදුවීම් ගැනත් සඳහන් කරමු?

අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා. ඒ අතර 2009 මැයි 17, 18, 19 මගේ ජීවිතයේ කවදාවත් අමතක කරන්න බැරි දවස් තුනක්. මැයි 17 වැනිදා මගේ පුතා ඉපදුන දවස. 18 වැනිදා අප රට ත්‍රස්තවාදයෙන් මුදවා ගත් දවස. 19 වැනිදා ප්‍රභාකරන්ගේ සිරුර හමු වුණ දවස වගේම එදා මගේ දරුවා නිවසට රැගෙන යාමට කටයුතුª සූදානම් කරල තිබුණේ. මගේ ජීවිතයේ සුවිශේෂී සිදුවීමක් වුණ මගේ දරුවා ඉපදුන සතුට, ලංකාවේ හැමෝම අවධානය යොමු කළ සිදුවීම් සමඟ මම අතිශය කාර්යබහුල වුණා. මේ සියලු කටයුතු සමබරව සාර්ථකව සිදු කළාට පසුව තමයි හිතට නිදහසක් දැනුණේ.

* වෘත්තීය ජීවිතයේදී ප්‍රවීණයන්ගෙන් ලද සහාය කොහොමද?

මගේ ජීවිතයේ මම ලබපු වාසනාවක් තමයි ගොඩක් අයගේ සහාය ලැබීම. ආයතන හිමිකරුවන්ගේ සිට දැනට මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන්ගේ සහාය මට ලැබුණා. ඒ ආශිර්වාදය මම කිසි දිනෙක ආභරණයක් කර ගත්තේ නැහැ. නමුත් මම ඒක වගකීමක් බවට පත් කර ගත්තා.

* වෙනත් ආයතනයකින් නැවත ප්‍රවෘත්ති නිවේදනයට ආරාධනාවක් ලැබුණොත්?

නැවත ප්‍රවෘත්ති නිවේදනයට එක්වෙන්න බලාපොරොත්තුවක් නම් නැහැ. හරේන්ද්‍ර ජයලාල් විදියට මම මේ වෙන කොට ප්‍රවෘත්ති නිවේදනයේ වෙනසක් සිදු කළා. සරල බසින් රසවත් ලෙස ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඉදිරියේදී යළි ආවත් එන්නේ එවැනිම අලුත් සළකුණක් සමඟ පමණයි. මේ වන තෙක් වෙනත් ආයතන දිහා බලල නැහැ. බලන එකකුත් නැහැ. ස්වර්ණවාහිනි සහ මම අතර අමුතුª ගිවිසුමක් තියෙනවා. මම ස්වර්ණවාහිනියට ආදරෙයි. ස්වර්ණවාහිනිය මට ආදරෙයි. ඒක කවදාවත් බිඳෙන බව හිතන්නේ නැහැ. එතෙක් කල් මම වෙන දෙයක් ගැන හිතන්නේ නැහැ. ඒ බැඳීමට මම ආසයි. ඉස්සර නම් වැඩිපුර ටී. වී එකේ පේන්න ඉන්න ආසයි. ඒ සඳහා මට අවස්ථාව ලැබුණා. දැන් නම් මොන තරම් කාලයක් ගියත් හොඳ වැඩ සටහනක් කරල නිදහසේ ඉන්න තමයි බලාපොරොත්තුව.

* පවුලේ තොරතුරු ගැනත් සඳහන් කළොත්?

මගේ තාත්තා දැනට ජීවතුන් අතර නැහැ. තාත්තා නැති වුණේ මට වයස අවුරුදු 07 දී. අම්මා පෙර පාසල් ගුරුවරියක්. මට වැඩිමල් සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. බිරිඳ පවිත්‍රා ගලප්පත්ති. ඇය මූල්‍ය ආයතනයක සේවය කරනවා. පුතා ජාත්‍යන්තර පාසලක පෙර පාසල් අධ්‍යාපනය හදාරනවා. මමත් බිරියත් හැම දාම පවුලක් විදියට යහපත් අනාගතයක් ගැන හිතනවා.

* අලුත් වැඩ සටහනක් ගැන අදහසක් තියෙනවාද?

ස්වර්ණවාහිනි නාලිකාවෙන් ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒක අලුත් වැඩ සටහනක්. තව මාසයක් වගේ කාලයක් ඇතුළත එය පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ස්වර්ණවාහිනි වැඩ සටහන් අධ්‍යක්ෂ බුද්ධික කුලසේකර තමයි මට ඒ සඳහා ආරාධනා කළේ. එවිට මම නැවතත් ස්වර්ණවාහිනියේ අලුත් සතිපතා වැඩ සටහනක් සමඟ ප්‍රේක්ෂකයන් හමුවට එනවා.