වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




හතු පිපෙනවා වගේ ටෙලි නාට්‍ය කරන්න මට බෑ

හතු පිපෙනවා වගේ ටෙලි නාට්‍ය කරන්න මට බෑ

ඒ‘පරණ ටවුම’ රැගෙන පැමිනෙණ අජිත් ලොකුගේ

මෙම මස 23 වැනිදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 7.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘පරණ ටවුම’ ටෙලි නාට්‍යයත් අරගෙන දක්ෂ රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂවරයෙක් වන අජිත් ලොකුගේ නැවතත් පුංචි තිරයට ඇවිත්. වසර පහකට පස්සේ මුණ ගැහෙන මේ සොඳුරු හමුවීමේදී ඔහුගේ අලුත්ම ආගමනය පිළිබඳ අපි ඔහු සමඟ කතා කළා.

* ‘විහඟ ගීතය’, ‘වළාකුළු’, ‘සිහින සාප්පුව’ කියන ටෙලි නාට්‍ය ඔස්සේ ඔබ අධ්‍යක්ෂවරයෙක් විදියට කටයුතු කරමින් ඔබට ආවේනික රංගනයෙන් එහාට ගමන් කළා. ‘පරණ ටවුම’ කියන්නේ ඒ ගමනේ තවත් කඩඉමක්ද?

‘මම පරණ ටවුම අධ්‍යක්ෂණය කරන්නේ 2011 වසරේදී. ඊට පෙර මා අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යවලදී මට ලැබුණු ප්‍රතිචාර ‘පරණ ටවුම’ අධ්‍යක්ෂණය කිරීමට යම් පිටු බලයක් සපයන්න ඇති.

කොහොම නමුත් නිර්මාණකරුවෙකුට සිය නිර්මාණ ජීවිතයේදී තමා ඉස්මතු වන්නේ කුමන නිර්මාණයකින්ද කියන්නට කාලයක් අනවශ්‍යයි. ඒත් හොඳ නිර්මාණයක් කිරීමට කාලය අවශ්‍යයයි. හතු පිපෙනවා සේ නාට්‍ය නිර්මාණය කරමින් එකක් අවසානයේ එක් නිර්මාණයක් කිරීමට මගේ කැමැත්තක් නැහැ.

හතිදාගෙන එවැනි කටයුතුවල නියැළීමට කිසිදාක මගේ බලාපොරොත්තුවක් ඇත්තේ නෑ. ප්‍රේක්ෂකයන්ට විඳීන්න පුළුවන්, ඔවුන්ගේ මනස අවදි කරන, සිතන්නට දෙයක් ඉතිරි කරන නිර්මාණයකින් ඔවුන් අතරට පැමිණීම වඩාත් වැදගත් බවයි මා සිතන්නේ. ඒ නිසා මා කරන්නේ අවශ්‍ය තරම් කාලය රැගෙන එවන් නිර්මාණකරණයක නිරත වීමයි.’

* ‘පරණ ටවුම’ ටෙලි නාට්‍යයෙන් ඔබ ප්‍රේක්ෂකයාගේ අවධානයට යොමු කරන්නේ මෙතෙක් කතාබහට ලක් නොවුණු පරාසයක්ද?

‘ඇත්තෙන්ම ඔව්. සියලු දේ සිදු වෙන්නේ පරණ ටවුම කියන තැන. මේ නගරය අනෙක් ප්‍රදේශවලින් හුදකලා වූ අපූරු ස්ථානයක්. ඔවුන්ට එල්ල වන විවිධ ගැටලු විසඳා ගන්නේ ඔවුන් විසින්මයි. මේ නගරයට ආපදාවක් වුණත්, කුමන වසංගතයක් පැමිණියත්, මොන දේ වුණත් මේ නගරයේ සියලු දෙනාම එකට ඒකාරාශී වීම විශේෂත්වයක්.

ඔවුන්ගේ මේ එකමුතුකම තුළයි මේ නගරය රඳා පවතින්නේ. වෙනත් නගරවල වගේම පරණ ටවුමෙත් ජීවත්වන්නේ විවිධ සමාජ මට්ටම්වලට අයත්, විවිධ දැන උගත්කම්වලින් යුක්ත වූවන්.

අද සමාජයේ සිදු නොවන අපූරු සිදුවීමක් වෙන්නේ, මේ සියලු දෙනාම ඕනෑම වේලාවකදී එකා මෙන් නැඟී සිටීමේ අපූරු පිළිවෙතයි. දිනක් නගරයේ සිදුවන මෙම සාමාන්‍ය වැඩ පිළිවෙළ කණපිට පෙරළන තත්ත්වයක් උද්ගත වෙනවා.

එය සිදු වෙන්නේ නගරයේ ජීවත්වන වැඩිහිටියකුගේ පුත්‍රයෙකුගෙන්. ඔහු පරණ ටවුමට එන්නේ කාලයකට පස්සේ. තමා පරණ ටවුමෙන් යන විදියටම තමා එන විටත් තිබෙන පරණ ටවුම ගැන ඔහුට ඇති වන්නේ පුදුමයක්.

ඔහු එහි වෙසෙන තරුණ පරපුර අමතමින් මේ පරණ ටවුම කණපිට පෙරළන ආකාරය ගැන තමයි ටෙලි නාට්‍යයෙන් විකාශය වෙන්නේ. ඊට පස්සේ වෙන දේ පිළිබඳ මම යම් දෙයක් නොකීවත්, ටෙලි නාට්‍ය නරඹමින් සිටින නරඹන්නන් විසින් එය නියමාකාරයෙන් වටහා ගනීවි.

* නිර්මාණයක් කියන්නේ කියැවිය යුත්තක්. කියැවීම ඔස්සේ පරණ ටවුමෙන් ඔබට සමාජගත කිරීමට උවමනා කාරණය නියමාකාරයෙන් ප්‍රේක්ෂකයා වටහා ගනීවිද?

‘මම පරණ ටවුමෙන් කතා කරන්නේ අපේ ජන සමාජය ගැනයි. එහි සිදුවන වෙනස්වීම් ගැනයි. සාම්ප්‍රදායික ජීවිතයකට හුරු වෙලා හිටිය අපේ ජීවිත එදා බොහොම සරලයි. සිතුම් – පැතුම් නිර්ව්‍යාජයි. මෙහෙම සමාජයක් තමයි අද වේගයෙන් වෙනස් වෙන්නේ.

තරුණ පරපුරේ මේ වෙනස්වීමත් සමඟ අනෙක් අයට අද හැරෙන්නවත් බෑ. මේ ක්‍රමයේදී එදා තිබුණු සමාජ සාර ධර්ම, ඇතුළු සියලු දේ අද වෙන කොට සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. පරණ ටවුමෙන් කියනා මේ සියල්ල ප්‍රේක්ෂකයාට අමුතු දේවල් නෙවෙයි. ඒ වගේම ඒ අදහස ඉස්මතු කර පෙන්වීමට අපූරු පිරිසක් මේ නිර්මාණයට දායක කර ගැනීමට හැකි වුණා.

ජයලත් මනෝරත්න, සුමින්ද සිරිසේන, ඩබ්ලිව්. ජයසිරි, මැණිකේ අත්තනායක, ධර්මප්‍රිය ඩයස්, ජගත් බෙනරගම, හේමසිරි ලියනගේ, ප්‍රියා රණසිංහ, ජනක් ප්‍රේමලාල්, නිශ්ශංක දිද්දෙණිය, ලාල් කුලරත්න, සරත් කොතාවල, දයා අල්විස් ඇතුළු නව පරපුරේ කුසලතා සපිරි රංගනයන් මගේ අදහස ප්‍රේක්ෂකයා අතරට රැගෙන යාවි.

* මේ දවස්වල වඩාත් ජනප්‍රිය මෙගා ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නට ඔබට නොසිතුණේ ඇයි?

‘මෙවන් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නට ලැබුණු ආරාධනා මා ප්‍රතික්ෂේප කළා. නිර්මාණයක අවසානයක් නැති පිටපතකින් කියැවෙන්නේ නිර්මාණයේ දුර්වලභාවයයි. දුර්වල පිටපතකින් ගුණාත්මක භාවයෙන් ඉහළ ටෙලි නාට්‍යයක් බලාපොරොත්තු වීම නොකළ යුත්තක්.

මේ වෙනකොට මෙගා ටෙලි නාට්‍යවල කොටස් ගණන සියයට සීමා වෙලා. මේක තවත් අඩු වෙන්න ඕන කියලයි මගේ අදහස වෙන්නේ. මේ මොන දේ වුණත් මම අධ්‍යක්ෂණය කරන්නේ කොටස් විසි පහකින් තිහකින් යක්ත වූ නිර්මාණයන් පමණයි.

කොහොම වුණත් අද දකින්නට තිබෙන්නේ දූෂණයට ලක්වුණු ටෙලි නාට්‍ය කලාවක්. ගුණාත්මකව කළ ටෙලි නිර්මාණයක් වුණත් අද විකුණ ගන්න බැරි තත්ත්වයට පත් වෙලා.

මුලින්ම කළ යුත්තේ මේ නිර්මාණය විකුණ ගන්නට හැකි ක්‍රමවේදයක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා ටෙලි නාට්‍යකරුවන් සියලු දෙනාම එකතු වී හඬක් නැඟිය යුතුයි. මේ හඬ නැඟීමේදී කලාකරුවන් ලෙස අප සියලු දෙනාම ඒකරාශී විය යුතුයි. මොන දේ වුණත් මේ ගැටලුවලට පිළිතුරක් පේන මානයක ඇත්තේ

නෑ.

* එවන් හඬක් නැඟීමේ කටයුත්ත ඔබ ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් ආරම්භ කළ හැකි නේද?

‘අද පොදු අරමුණකට කලාකරුවන් එකතු කිරීම බොහොම අමාරු වැඩක්. එකතු වුණත් අවසානයේ කැප කිරීම් කරන්න අද ඒ අය කැමැති නැහැ. අපේ අය අතර අද ටීම් වර්ක් එකක් නෑ. මම කියන්නේ මේ අතර යම් යම් උත්සාහයන් ගන්නා කිහිප දෙනෙක් සිටිනවා විය හැකියි.

මෙවැනි කාරණයකට හඬ නඟනවා තබා කලාකරුවෙකුට විපතක් සිද්ධ වුණාට පස්සේ ඔහුට උපකාර කරන්න තරම්වත් අරමුදලක් අප සතුව තිබෙනවාද කියන එක ප්‍රශ්නයක්. මෙවන් ප්‍රශ්න රාශියක් ද අපේ ක්ෂේත්‍රය පුරාම විහිදිලා.