වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර

කලාව ගැන සිතට නැගෙන අදහස් රිසි සේ ලියන්න, එපමණක් ද නොව කලාකරුවන් හා බද්ධ වූ ඔබේ අත්දැකීම් ද මේ තීරයට මනාව ගැලපේ. මේ මතක් කිරීම අපගේ නව පරපුරේ පාඨකයන්ට. ඔබේ ප්‍රතිචාර ක්ෂණිකව අතේ ඇති ජංගම දුරකතනයෙන් 0757413731 යන අංකයට කෙටි පණිවුඩ අයුරින් එවන්න. ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනය ඔබේ තැපැල්පත් වෙනුවෙන් නිබඳව විවෘතව පවතී.

හරියට කළොත් නියමයි

හරසුන් මෙගා ටෙලි නාට්‍ය කොටස් සියයකට අඩු කිරීමට තීරණයක් ගෙන ඒම යහපත් නාට්‍ය කලාවක් පතන සැමගේම සතුටට හේතුවකි. නමුත් එය ඒ අයුරින්ම ක්‍රියාත්මක වනවා නම් හොඳයි.

එසේ වුවහොත් ගුණාත්මක තිර කතාකරුවන්, නාට්‍යවේදීන්, රංගන ශිල්පීන් නැවතත් ටෙලි නිර්මාණකරණයට පෙළඹේවි. එවිට ප්‍රේක්ෂකයන් යළි පුංචි තිරය වටා එක් රොක් වේවි.

කොටහේන -ශ්‍රී ගුණානන්ද මාවතේ


සුනිල් අභයරත්න සුබසිංහට සුබපැතුම්

සාම විනිසරු පදවියෙන් පිදුම් ලැබූ හබරාදූවේ ‘සරසවිය’ පැරැණි පාඨක ගාමා ගාමිණී සුබසිංහට

තලවතුගොඩ කමලා සෙනෙවිරත්න, අම්බලන්ගොඩ චන්ද්‍රසිරි මානවඩු සහ වෙන්නප්පුව වියාණි ගුණවර්ධන ප්‍රතිචාර තීරය හරහා සුබපතා තිබුණා.


අයෝමි සුහදයි

මා රාජගිරියේ ආයුර්වේද ශික්ෂණ රෝහලට ගියේ ප්‍රතිකාර ගැනිමටයි. එහිදී වෛද්‍යවරියක ලෙස සේවය කරන අයෝමි ශානිකාව (සුදු නංගි) හමු වුණා. මම මොහොතක් ඇය සමඟ කතා කළා. ඇය මාත් එක්ක සුහද වුයේ වසර ගණනාවක සිටම දැන හඳුනා ගත් අයකු ලෙසයි.

ඇත්තටම මට එදා ගොඩක් සතුටු හිතුණා. මම හිතනවා අයෝමිට සුදුසුම වෘත්තිය ඒක කියලා.

ගිල්බට් පෙරේරා

හෝකන්දර


ඔෂීන් නිළිය ෂෝක්

ජාතික රූපවාහිනියේ සතියේ දිනවල විකාශය වන ඔෂීන් මාලා නාටකයේ ඔෂීන්ගේ යොවුන් චරිතයට රංගනයෙන් දායක වන නිළිය දුක, ප්‍රීතිය, ත්‍රාසය, කුතුහලය සහ සංවේගය ඉතාම දක්ෂ අයුරින් සිය මුහුණේ ඉරියව්වලින් පෙන්වමින් අපට දැනෙන අයුරින් එම චරිතය ඉදිරිපත් කරයි.

පෝල් පෙරේරා - කුලියාපිටිය


දීර්ඝායුෂ

අයිරාංගනී සේරසිංහ නම් වූ අප ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය අප රටට පහළ වූ අගනා මැණිකක් බඳුය. ඔබතුමිය රඟපෑමෙන් දායක වන ටෙලි නාට්‍ය බොහොමයක් ඉතා දිගු වුව ද ඒවා ඉතාම හරවත් වීම මා දකින විශේෂත්වයකි.

අයිරාංගනී මැතිණියනි ඔබට දීර්ඝායුෂ පතමි.

චම්පිකා නෙරංජනී ගලප්පත්ති- ගාල්ල


ශේෂා පලිහක්කාරගේ ගුණ අනුස්මරණය

ශේෂා පලිහක්කාරගේ තෙවැනි ගුණ අනුස්මරණය වෙනුවෙනි.

වේශ නිරූපණයට සමතකු වූවා
සෙරන්ඩිබ් සමාගමේ අධිපති වූවා
ලක්සෙට කොඩිය දමා අදියුරු වූවා
කලා ලොවෙන් සමුගෙන තුන් අවුරුද්දක් වූවා

මාතලන්හි ද්විත්ව රංගනයක නිරත වුවා
නර්තනයෙද ප්‍රවීණයකු බව පෙන් වූවා
රේඛාවේද බොරු කකුල් කරුවකු වූවා
ඔබ හට නිවන් සුව නිබඳව අත් වේවා

මොරටුව, කටුබැද්දේ

ඩඩ්ලි ගෝමස්


දුටුගැමුණුට සුදුසුයි

විජය කුවේණි චිත්‍රපටයේ රොජර් සෙනෙවිරත්න ඉතාම දක්ෂ ලෙස රඟපානවා. දුටුගැමුණු චරිතයට සුදුසු එකම නළුවා ඔහුයි.

විජය ඉලංකකෝන් - ගම්පොළ


පුංචි තිරයට මිණි පහණකි

රාත්‍රිය මනරම්, කඩදොර වැනි අගනා ටෙලි නාට්‍යවල ප්‍රබල රංගනයන් පාමින් අපට සමීප වූ රොෂාන් රවින්ද්‍ර පුංචි තිරයට මිණි පහණකි. ඔහු චිත්‍රපටයන්ට දායක වූයේ අල්ප වශයෙනි. රිදී තිරයෙත් දික් විජය කරන්න ඔබට හැකි වේවා.

ක්ලෝඩ් ද ලිවේරා සහ නාලිනී ලිවේරා

මීගමුව කටුවාපිටිය වතුයාය


වින්දනයට කරදරයකි

මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන මලී ටෙලි නාට්‍යය ඉතා ජනප්‍රිය බව අප දන්නා කරුණකි. නමුත් එම නිසාම ටෙලි නාට්‍යට වඩා විකාශය වන්නේ වෙළෙඳ දැන්වීම්. තව ද අසාමාන්‍ය ලෙස මෙහි නිතර නිතර වෙළෙඳ දැන්වීම් දක්නට ලැබේ. එම නිසා ඒවා මෙය නරඹන අපට මහත් කරදරයකි. වෙළෙඳ දැන්වීම් තිබුණාට කම් නැත. එය ටෙලි නාට්‍යයක් ප්‍රචාරණයට අත්‍යවශ්‍යය. ඒ වුණත් ඒවා මෙලෙස රස වින්දනයට බාධාවන අයුරින් ඉදිරිපත් නොකෙරෙනවා නම් හොඳයි.

ප්‍රභාත් රාජපක්ෂ - නාවලපිටිය


උමාලි ඔබ ගැන ආඩම්බරයි

ලංකාව වැනි පුංචි රටක ඉපදුණ නිළි උමාලි තිලකරත්න ජපානයේ දැවැන්ත චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපෑමට වරම් ලැබීම ගැන සිනමා ලෝලියකු වශයෙන් මාගේ උණුසුම් සුබ පැතුම්! මේ සමඟ එක් කොට සිටිමි.

ඔබ ලංකාවට පැමිණි විගස මෙරට නිර්මාණ ඔස්සේ ද ජගත් කීර්තියට පත් වේවා යැයි ද ප්‍රාර්ථනා කරමි.

ඒ වගේම ඇය රඟපෑ මහ පොළව අපේ නොවෙයි ටෙලි සිතුවම විකාශය වෙයි. එහි උමාලිගේ රංගනය ද ප්‍රශස්ථ මට්ටමක ඇත.

කෑගල්ල තටාකය පාරේ - තිලකරත්න විල්වල


කලා ලොවට අඩුවකි

එකම මස කලා දිවියෙන් සමුගත් ජනේෂ් සිල්වා, වික්ටර් රාමනායක, නවනන්දන විජේසිංහ, සුමින්ද වීරසිංහ යන කලාකරුවන්ගේ අභාවය කලා ලොවට පිරිමැසිය නොහැකි අඩුවකි.

කැලණියේ දයාරත්න ගනේගොඩ


රිදී තිරයට ගැළපේ

මේනක රාජපක්ෂට,

ඔබ ඉතාම දක්ෂ ටෙලි නාට්‍ය නළුවෙකි. ඔබගේ දස්කම් වඩාත් ගැළපෙනුයේ රිදී තිරයට බව මට සිතේ.

ඔබ රඟපෑ ටෙලි සිතුවම් ද අප නරඹන්නේ ඉතාම ආශාවෙනි. මේනක පැහැබර අනාගතයකට හිමිකම් කියන රංගන ලොවේ දීප්තිමත් තාරකාවකි.

සෝමා එච්. පතිරණ - කහවත්ත


SMS

මෑත කාලයේ රංගනයට පිවිසි නළු නිළියන් අතර පවුලේ උරුමයෙන් කලාවට අවතීර්ණ වූ සංකේත් වික්‍රමගේ සහ තිසුරි යුවනිකා කැපී පෙනේ.

වත්තල - චමින්ද

*

ජනප්‍රිය ගායක කවීශ කවිරාජ්ට යා හැකි දුර බොහොමයි.

මනෝජ් වින්දන- කොට්ටාව

*

අමාහි හිරුගේ චරිතය රඟන විශ්වනාත් හිරු සේ එම ටෙලි සිතුවමේ බැබලේය.

ඉෂාන්-ඇඹිලිපිටිය

*

සුරේන්ද්‍රගෙන් අපි ජෝතිපාල මහතාගේ ගී ඇසුවෙමි. අප එලෙස බලාපොරොත්තු වුණේ තරගයට පමණි. නමුදු ඔබ එම ගීත ගැයීම අද ද නවතා නැත. ඔබගේ කටහඬින් ගැයූ ස්වතන්ත්‍ර නිර්මාණයක් රසිකයන් වැළඳ ගත්තේ හරිම ආශාවෙනි. සුපර් සික්ස් චිත්‍රපටයේ ද ඔබේ ගායනා මනරම්ය. දැන්වත් ජෝතිගේ ගී ගැයීම නවත්වන්න.

ගීතානි ජයසිංහ- ධර්මරාජගම, කුලියාපිටිය

*

කෝපි කඩේ සුවඳා ලෙසින් රඟන දමයන්ත පෙරේරාගේ රංගනයට මා බොහෝ සෙයින් ප්‍රිය කරමි. වෙනත් නිර්මාණයන්ට දායක වන්නට ද ඇරියුම් කරමි.

මනහර මහින්ද- බෙලිගල

*

අසංක ප්‍රියමන්ත පීරිස්ගේ හඬ වැඩිපුරම ගැළපෙනුයේ ප්‍රසංග වේදිකාවටයි.

හේමන්ත - මුල්ලේරියාව

*

සිරස ගුවන් විදුලියේ ප්‍රචාරය වූ අරලියා මං ආදරෙයි ගුවන් විදුලි නාට්‍ය ටෙලි නාට්‍යක් ලෙස නිෂ්පාදනය කරන්නේ නම් එය සාර්ථක නිර්මාණයක් වේවි.

එස්. ඉෂාර - අපරැක්ක