වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




එයා රවීනම් මම කවුද?

එයා රවී නම් මම කවුද?

මේ ඡායාරූපය කියන්නේ අනුවේදනීය කතාවක්. පසුගිය දවසක අපේ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය මහරගම පිළිකා රෝහලට ගියේ සමාජ සත්කාරයකට දායක වන්නටයි.

ඒ නවලෝක සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ වූ අභාවප්‍රාප්ත, දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස මහතාගේ ගුණානුස්මරණය වෙනුවෙන් පවුලේ සමාජිකයන් විසින් පරිත්‍යාග කරන ලද රෝහල් වාට්ටු ගොඩනැගිල්ල විවෘත කිරීමටයි.

නවලෝක නිර්මාතෘ ධර්මදාස මහතා වාසනා, හතර වටේ වැනි චිත්‍රපටවල සම නිෂ්පාදක වරයායි. එමෙන්ම ඔහුගේ එක් පුත්‍රරත්නයක් වූ ජයන්ත ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති හැටියටද කටයුතු කළා.

රවී,දොස්තර වසන්ත සහ ප්‍රීති

නවලෝක පවුලේ ළඟ හිතවතකු වූ රවීත් මේ සත්කාරයට එකතු වුණේ පින් සිත් ඇතිවයි. රවී කලකට ඉහත දී මෙහෙය වූ ‘ මයින්ඩ් ස්ටාර් ‘ වැඩසටහනේ දී ලක්ෂ දහයක් දිනාගත් විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයායි.

රවී, වෛද්‍ය වසන්ත සමඟ පිළිකා රෝහලේ වාට්ටු තුළට ඇවිද ගියේ රෝගීන්ගේ නෙත් සිත් සතුටු කිරීමටයි. බෙහෙවින් අසාධ්‍ය ලෙඩකු රවී පැමිණ සිටිනවා දැක කතා කළා.

’ මට හරි සන්තෝෂයි, ඔබ තුමා දැකගන්න ලැබීම ‘. මේ නන්නාදුනනා රෝගියා රවීගේ අතින් අල්ලාගෙන කියා සිටියා. රෝගියාගේ තත්ත්වය දන්නා වෛද්‍ය වසන්ත රෝගියාගෙන් මෙහෙම විමසුවා. ‘ එයා රවීන්ද්‍ර නම් මම කවුද ? ‘

’ මට අඳුනන්න බෑනේ ‘ යනුවෙන් රෝගියා පැවසුවා.

මේ දිනවල උදේ සවස දකින වෛද්‍යවරයා හඳුනාගන්න බැරි උනත් රවීන්ද්‍රව හඳුනාගත් හැටි දැකලා රවීටත්, වෛද්‍ය වසන්තටත් නෙතඟට කඳුළක් ආවා.


රට ගෙදර රෑට ගෙදර ද?

මීට කාලෙකට පෙර විදේශිකයෙක් ජාතික රූපවාහිනි සංස්ථාවට ගොඩ වුණේ උවමනාවකට. නුහුරු නුපුරුදු බවක් නොපෙනුනත් රූපවාහිනී සංස්ථාවට ඇතුල් වූ මේ විදෙස් ජාතිකයා වටපිට බැලුවෙ තමා නොදන්නා දෙයක් අහන්න වගේ.

රූපවාහිනියේ කාර්යබහුලකමත් එක්ක එහාට මෙහාට දුවන අය අතරේ ලස්සන තරුණියකුත් හිටියා.

තරමක් සිංහල කතා කරන්නටත් හැකියාව තිබුණු මේ විදේශිකයා අර තරුණිය ළඟට ගිහින් ඇහුවාලු ‘රෑට ගෙදර ඉන්නවද?’ කියල.

මහත් අපහසුතාවයකට පත් වුණ තරුණිය වටපිට බලද්දී මේ කතාව ඇහුන තව කීප දෙනෙකුත් එතනට ළං වෙලා බැලුව මොකද වුණේ කියල? එතකොට තමයි කාරණාව තේරුණේ. විදේශිකයා ඇවිත් තියෙන්නේ රට ගෙදර හමු වෙන්න. තමා දන්න සිංහලෙන් අහල තියෙන්නේ රට ගෙදර ඉන්නවද කියල. මේ කතාව සරසවියට කිව්වේ අනුර බණ්ඩාර රාජගුරු.


ජෝතිගේ ගීයක් ගැයූ සුනිල්

එච්. ආර්. ජෝතිපාලයන්ගේ විසිපස් වැනි ගුණානුස්මරණය වෙනුවෙන් පසුගිය දා කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී විශේෂ උපහාර ප්‍රසංගයක් පැවැත්වුණා.

මෙහි මුලසුන හෙබ වූයේ මහාචාර්ය කාලෝ ෆොන්සේකායි. ඔහු ජෝති ගැන සොඳුරු මතකය අවදි කළේ අතීතයෙ මිහිරි කතාන්දරයක් නැවත මෙනෙහි කරමින්.

’ ජෝතිට ගීත ලියන්න මට මහත් ඕනෑකමක් තිබුණා. ඒත් අවස්ථාවක් ලැබුණේ නැහැ. දවසක් ජෝති අසනීප වෙලා බේත් ගන්න මා ළගට ආවා. ඒක අහඹු සිදුවීමක්.

’ ජෝති මාව හඳුනාගෙන, එකවරම මගෙන් විමසුවා මටත් ගීයක් ලියලා දෙන්න කියලා.

මම එවෙලෙම මේසය උඩ තිබුණ කොළයක පද ලිව්වා. මේ ගීපද දැකපු ජෝති කීවේ ‘ මම මේ සිංදුව ලංකාවෙ හිට්ම සිංදුවක් කරනවා ‘ කියලා. අවාසනාවකට ඒ ගීය ගයන්න ජෝති ජීවත් වෙලා හිටියෙ නැහැ.

ඒ ගීතය තමයි සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ‘ රුදුරු තුරු වදුලේ ‘ ගීතය. ජෝති කිව්ව වගේම මේ ගීතය ලංකාවෙ හිට් ගීතයක් වුණා. යැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා පැවසුවේ ජෝති ගැන මතකය අලුත් කරමින්.


රෝමාට අලුත් පැතුම්

නව පරපුරේ නිළි රෝමා රෝෂි, හරේන් පුෂ්ප කුමාර සමඟ විවාහ වී දැන් වසර දෙකකුත් ගෙවිලා. මේ පවුලට තෙවැනියෙක් එන දවස ගැන පසුගිය දිනවල අපි විමසුවත් ඇය නිහඬතාවයෙන් සිටියා.

දැන් ඒ සුබ ආරංචිය කියන්න වෙලාව ඇවිත්. ඒ රෝමා සහ හරේන්ගේ සුබ සිහින සැබෑවීමයි. දරු සම්පතක් ගැන සිහින මැවූ රෝමා ට ළඟදීම පුංචි සිඟිත්තකුගේ සුරතල් බලන්න හැකිවෙයිලු.

ඇය මේ වග ප්‍රථමයෙන් කිව්වෙත් සරසවිය අපටයි.

රෝමාගේ පුංචි කැදැල්ලට අලුතෙන් එක්වන සිඟිත්තා වෙනුවෙන් රෝමා මේ දිනවල ලහි ලහියේ නිවස හැඩ වැඩ කරනවාලු.

රෝමා ලක්සළුසල ආයතනයේ මාධ්‍යය සම්බන්ධීකරණ නිලධාරිණිය ලෙසද අපට බොහෝම සමීපයි.