වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සුනිල් ටී. ගේ 52 වැනි චිත්‍රපටය ‘දරුවනේ’ 26 දා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ

සුනිල් ටී. ගේ 52 වැනි චිත්‍රපටය ‘දරුවනේ’ 26 දා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ

සුනිල් ටී. ප්‍රනාන්දුගේ පණස් දෙවැනි සිනමාපටය වූ දරුවනේ මෙම මස 26 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ තිරගත වීම ඇරැඹේ. ආදර්ශවත් ළමා චිත්‍රපටයක් වූ මෙය වී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණයකි.

විජයරත්න වරකාගොඩ, ජයලත් මනෝරත්න, ජනක කුඹුකගේ, දුලීකා මාරපන, නදීකා ගුණසේකර, විශ්වනාත් කොඩිකාර, තිසුරි යුවනිකා, පාලිත සිල්වා, ෂයන් පෙරෙයිරා, යොහාන් පෙරේරා, කෝකිල පවන්, ත්‍රිෂුණ පෙරේරා, රචිනි විරංගා, චානක මධුෂාන් දරුවනේ රැඟුමෙන් ඔපවත් කරයි.


රන්ජන් – අර්ජුන – බුද්ධික රජ හොරු වෙයි

රන්ජන් රාමනායක, අර්ජුන් කමලනාත්, බුද්ධික ජයරත්න පළමුවරට රිදී තිරයේ මුණගස්වමින් රජ හොරු සමඟ සුරංග ද අල්විස් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙයි. එහි මුහුරත් උළෙල ලබන 26 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වීමට නියමිතය.

ප්‍රවීණ සංගීතවේදී සරත් ද අල්විස්ගේ පුත්‍රයා වන සුරංග මීට ප්‍රථම කවුද බුවා, පිස්සු නැත්නම් ෂෝක් බුවා වැනි ඩී. වී. ඩී. චිත්‍රපටයන් නිර්මාණය කොට තිබේ.

රජ හොරු ඔහුගේ කුලුඳුල් සිනමා සිතුවමයි.

ඉවොක් සිනමා සමාගමේ ඉදිරිපත් කිරීමක් වන මෙහි නිෂ්පාදකවරුන් ලෙස ලහිරු වික්‍රමසිංහ සහ ප්‍රසාද් රොද්‍රිගෝ කටයුතු කරති.

මෙය කෝටිපති ව්‍යාපාරිකයකුගේ මුනුපුරකු පැහැර ගැනීමක් ගැන කියවෙන කතාවකි.

සඳුන් විජේසිරි, නදීකා ගුණසේකර, රොනී ලීච්, හිමාලි සිරිවර්ධන, හේමන්ත ඊරියගම, ආරියසේන ගමගේ, සමන්ති ලැනරෝල්, ප්‍රේමදාස විතානගේ, ඩී. බී. ගංගොඩතැන්න, නන්දන හෙට්ටිආරච්චි, දමිතා සළුවඩන, සමන් පද්මකුමාර, අර්ඩ්ලි වෙදමුණි ඇතුළු පිරිස රජ හොරු සජීවීකරණ නළු නිළි පිරිවරයි.

ප්‍රසාද් අමරසේකර සහ නිශාන්ත වීරසිංහ රජ හොරු හි සහාය අධ්‍යක්ෂවරුන් වේ. සරත් ද අල්විස් සංගීත නිමැවුමෙන් එක් වෙයි. උරේෂා රවිහාරි සමඟ සංඛ දිනෙත් ගායනයෙන් දායක වෙති.

සමන්ත මායාදුන්න සටන් අධ්‍යක්ෂවරයායි. සමන් පද්මකුමාර කලා අධ්‍යක්ෂණයෙන් ද, සුජිත් (ෂැගී) කැමරා අධ්‍යක්ෂණයෙන් ද, අනිල් මල්ලවආරච්චි නිශ්චල ඡායාරූපකරණයෙන් ද මේ සඳහා සහභාගි වීමට සූදානමිනි. ප්‍රවීණ් ජයරත්නට රජ හොරු හි සංස්කරණය භාර දී තිබේ. සිනමාපටයෙහි උප ප්‍රධාන චරිතයට නවක රංගන ශිල්පිණියකට අවස්ථාව ඇති බව සුරංග පවසයි. මෙහි මූලික සම්මුඛ පරීක්ෂණය මුහුරත් උළෙලදාම සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇත. රජ හොරු එළඹෙන අගෝස්තුවේ සිට කොළඹ අවට රූ ගැන්වීම් ආරම්භ කෙරේ.