වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




නතාලි වුඩ් මැරුවා ද? මැරුණාද?

නතාලි වුඩ් මැරුවා ද? මැරුණාද?

31 වසරකට පසු හෙළිවන අබිරහසක්

නතාලි වුඩ් 60 දශකයේදී හොලිවුඩ් රිදී තිරය ඔපවත් කළ සුපිරි තාරකාවක්. කුඩා අවධියේ සිටම රංගනය ජයගත් වුඩ්ට අංක එකේ තරුවක් බවට පත්වන්නට වැඩි කාලයක් ගත නොවූයේ ඇගේ රංගන හැකියාවේ විශිෂ්ටත්වය නිසාමයි. වයස අවුරුදු 43 ක් සපිරෙද්දී මේ සුරූපී හොලිවුඩ් තරුවට අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්න සිදු වුණත් එයින් වසර 31 කට පසුව නැවතත් ඇගේ මරණය සම්බන්ධයෙන් සැක මතු වෙලා.

1981 නොවැම්බර් 29 වැනිදා කැලිෆෝනියාවේ කැට්ලානා දූපතේ බෝට්ටුවක පැවති සාදයක් අවසානයේදී ඇය අතුරුදන් වූ අතර පසුදින එම යාත්‍රාවට සැතපුමක් පමණ දුරින් තිබී ආරක්ෂක අංශ විසින් ඇගේ සිරුර සොයා ගැනුණා. වුඩ් දියේ ගිලී මිය ගිය බවට එම මරණ පරීක්ෂණයෙන් තහවුරු වුණා.

1938 ජූලි 20 වැනිදා උපත ලද නතාලි වුඩ් රංගනයට පිවිසෙන්නේ ළමා වියේදීමයි.

1947 දී ‘මිරිකල් ඔන් 34 ස්ට්‍රීට්’ චිත්‍රපටය වුඩ්ට ළමා නිළියන් අතර ප්‍රසිද්ධියක් ගෙන දීමට සමත් විය.

නතාලි වුඩ් ළමා නිළියක් ලෙසින් චිත්‍රපට 20 කට පමණ රංගනයෙන් දායක වූ අතර වයස අවුරුදු 9 දී වසරේ ළමා නිළිය බවට පත්වීමට පවා වරම් ලැබීය. ජෝන් ෆෝඩ්ගේ ‘ද ස’චර්ස්’ චිත්‍රපටයේදී නැවත ප්‍රේක්ෂක අවධානය යොමු වන්නේ තරුණ වුඩ් කෙරෙහිය.

‘ඕල් ද ෆයින් යන්ග් කැනිබල්ස්’ (1960), ‘ස්ප්ලෙන්ඩර් ඉන් ද ග්‍රාස්’ (1961), ‘වොරේන් බියට්’ තරුණ වියට පා තැබූ සුරූපී වුඩ්ගේ රංගනය ඇකඩමි සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන සඳහා ද යෝජනා විය.

එවැනි සුවිශේෂී ජයග්‍රහණ ලබා ගන්නා විට වුඩ් වයස අවුරුදු 25 ක් වත් සපුරා නොතිබීම සුවිශේෂී කාරණාවක්.

1961 දී බොක්ස් ඔෆිස් වාර්තා තැබූ රොබට් වයිස් හා ජෙරම් රොබින්සන්ගේ ‘වෙස්ට් සයිඩ් ස්ට්‍රොරි’ නම් ගීතමය චිත්‍රපටයේ මාරියා ලෙස ඇය කළ රංගනය ඉතා විශිෂ්ට එකක් විය.

එහි වූ වුඩ්ගේ ප්‍රේමණීය රංගනය ප්‍රේක්ෂක ආකර්ශනය නොඅඩුව දිනා ගැනීමට සමත් විය. එමෙන්ම එම චිත්‍රපටය ඇයගේ රංගනය ලද හොඳම චිත්‍රපට අතුරින් එකකි.

1962 දී තිරගත වූ ‘ගිප්ස්’ චිත්‍රපටය රංගනයට අමතරව සිය ගායනයෙන් ද ඔපවත් කිරීමට නතාලි වුඩ් සමත් විය. 1979 දී ‘ෆෙ‍්‍රාම් හියර් ටූ එටර්නිටි’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය ගොල්ඩන් ග්ලෝබ් සම්මානයට ද පාත්‍ර වූවාය.

විශිෂ්ට රංගන ප්‍රතිභාවක් පෙන්නුම් කළ නතාලි වුඩ්ගේ රංගනයෙන් ඔපවත් වූ චිත්‍රපට රැසක් වාණිජ්‍යමය ලාභ ලැබූ චිත්‍රපට බවට පත් විය.

මිය යන විටත් මේ අසහාය නිළිය චිත්‍රපට 56 කට අධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබා දී තිබිණි.

කෙසේ නමුත් වසර 31 ට පෙර සිදු වූ මෙම සුපිරි හොලිවුඩ් නිළියගේ මරණය අහම්බෙන් සිදු වූවක් නොවන බවට කරුණු මේ වන විට අනාවරණය කරගෙන ඇති බවට හොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

මීට මාස අටකට පෙර වුඩ්ගේ මරණය සම්බන්ධව පරීක්ෂණ නැවත ආරම්භ කළත් ඒ පිළිබඳ නිශ්චිත නිගමනයකට තවමත් පැමිණ නොමැති බවයි ලොස් ඇන්ජලීස් නුවර වාර්තා දන්වා සිටින්නේ. වුඩ්ගේ මරණය සම්බන්ධ සියලු සාක්ෂි හා වාර්තා ලොස් ඇන්ජලිස් නුවර ආරක්ෂක අංශ සතුව ඇති බවත්, වුඩ්ගේ මරණය මිනීමැරුමක් බවට ඔප්පු කිරීමට ද අවශ්‍ය තරම් සාක්ෂි ද ලැබී ඇති බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් මේ සුරූපී හොලිවුඩ් තරුව ගැන අද නැවතත් අවධානය යොමු වී තිබේ. ඇය තම ජීවිතයෙන් සමුගත්තා ද නොඑසේ නම් කවුරුන් හෝ ඇයට සිය ජීවිතය අහිමි කළා ද යන්න ගැටළුව අද මතු වෙලා.

60 දශකයේදී රසික හදවත් පින වූ මේ සුපිරි තාරකාවගේ මරණය සම්බන්ධ තීරණය අද කෙලෙස විසඳෙනු ඇතිදැයි සියලු දෙනාගේම අවධානය යොමු වී තිබේ.