වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




චරිත රැසකින් අපට හමුවන- නුවන්

චරිත රැසකින් අපට හමුවන- නුවන්

මලී ටෙලි සිතුවමේ අචින්ත ලෙස රඟනුයේ ඔහුය. එමෙන්ම දූවරුහි නුවන් වනුයේ ඔහුම බවත් ඔබට දැන් මතකයට නැගෙනු ඇත.

එවැනි ජනප්‍රිය ටෙලි සිතුවම් ගණනාවකත්, චිත්‍රපට කිහිපයකත් විවිධ චරිත මැවූ මේ යොවුන් රංගන තරුව නුවන් කළුආරච්චිය. නුවන් මේ දිනවල තිරගතවන සුගත් සමරකෝන්ගේ විජය – කුවේණි සිනමා පටයෙහි පණ්ඩිත සෙනෙවියාය.

විජය කුවේණි වගේ ඓතිහාසික චිත්‍රපටයක සැලකිය යුතු චරිතයක් මවන්නට ලැබීම භාග්‍යක් ලෙසයි මං සලකන්නේ. ඒ චරිතයට යෙදූ වෙස් ගැන්වීම නිසා සමහරකුට මාව හඳුන ගන්න බැහැ. හඳුනා ගත්ත අය කියන දේවල් එක්ක මං බොහොම සතුටින් කල්ගත කරන්නේ.

නුවන් රංගනයට අවතීර්ණ වූයේ වැටෙන් එහා ටෙලි නාට්‍යයේ සුළු චරිතයක් මවමින්.

සුළු චරිතයක් වුවත් මට එය මහ මෙරක් සේ දැනුණා. රඟපාන්නට ආසාවෙන් සිටි මට ඔවුන් ලබා දුන් අවස්ථාවෙන් උපරිම පල නෙලා ගත්තා. ඊට පසුව ක්‍රමයෙන් මට රංගන ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න වාසනාව උදා වුණා.

ලාල් ප්‍රියදේවගේ මගෝඩිගොඩයි සිනමාපටයෙන් නුවන් රිදී තිරයට පිවිසෙනවා.

මගෝඩිගොඩයි චිත්‍රපටයෙන් පසුව ජූලියා, සුවඳ දැනුණා ජීවිතේ, චැලෙන්ජස්, සුපර් සික්ස්, එතුමයි මෙතුමයි, කෝමාක් නෝමාක්, ප්‍රවේගය වැනි චිත්‍රපටයන්හි රඟපෑවා. ඉන් චැලෙන්ජස් හි රොෂාන් රණවනට ආදේශක නළුවාට හිටියේ මං. ඒක සෑහෙන්න අභියෝගයක්. ඒවා නම් අමතක වෙන්නේ නැහැ.

සරා, හිතට වහල්වීමි, මිස්ටර් බීන්, නුවන් සිය හැකියාව සැපයූ නාට්‍ය අතර වනවා. මලිත් පෙරේරාගේ රතු මල් ගවුමේ, ශෙහාන් මිහිරංගගේ හිනැහෙන්න සෙව්වන්දියේ වැනි රූප රචනාවලත් නුවන් පෙනී සිටියා.

ඇත්තටම මාව මේකප් කළාට පස්සේ හඳුන ගන්න ටිකක් අපහසුයි. විශේෂයෙන් හිනැහෙන්න සෙව්වන්දියේ ගීතයේ මං ඉන්නවා කියලා ගෙදර අයවත් විශ්වාස කළේ නැහැ. ඒක මට එක අතකින් අවාසියක්.

නුවන් රංගනයට අමතරව තම සහෝදරයාට හිමි ප්‍රයිම් මූවී නිෂ්පාදන ආයතනයට සම්බන්ධ වී වැඩ කරනවා. ඒ වගේම මොඩ්ල් බැංකුවක් ද පවත්වාගෙන යනවා. එමඟින් නවකයන්ට අවස්ථාවක් ලබාදීමටත් නුවන් බලාපොරොත්තු වනවා.

නුවන්ගේ රංගන ජීවිතය සාර්ථක කර ගැනීමට මඟ හසර විවර කර දුන් නුවන් තරංග වික්‍රමධාර, උදය ධර්මවර්ධන, දුමින්ද පෙරේරා, සුගත් සමරකෝන්, ඩොනල්ඩ් ජයන්ත, ලාල් ප්‍රියදේව ඇතුළු පිරිස මතක් කළේ බොහොම ආදරයෙන්. රංගනයෙන් ඉදිරියටම ගොස් ලංකාවේ හොඳ නළුවකුª වන්නයි නුවන්ගේ අදහස. ඔහුගේ ඒ බලාපොරොත්තුව සඵල වන්නට සරසවිය ද සුබපැතුම් එක් කරනවා.

සටහන සහ ඡායාරූපය

ප්‍රසාද් සමරතුංග