වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ කලාව ජාත්‍යන්තරයට ගෙන යන සුමිත් තිසේරා

අපේ කලාව ජාත්‍යන්තරයට ගෙන යන සුමිත් තිසේරා

අපේ රට පුංචි දූපතක් වුණාට අපි සතු කලා උරුමයන් නම් ගොඩක් විශාලයි. ලෝකයේ කිසිම රටකට නොදෙවෙනි වෙන සංස්කෘතියක් අප සතු වීම ඇත්තෙන්ම ආඩම්බරයක්.

ලෝකයේ කොතනට ගියත් අපේ කලාව රැක ගැනීම අප සතු යුතුකමක්. සමහරු නොහිතුවත් එහෙම හිතන අයත් ඉන්නවා. එහෙම කෙනෙක් තමයි සුමිත් තිසේරා. දැනට මව් බිමෙන් බැහැරව කැනඩාවේ ජීවත් වුණත් ඔහු ලාංකේය කලාවට ගොඩක් ලැදියි. ඒ නිසාම ඔහුගේ වෑයම අපේ කලාව ලොව ප්‍රචලිත කිරීමයි. පියවරෙන් පියවර ඒ සඳහා යන ගමන සාර්ථක වෙලා.

ඒ ගමන් මග ගැන අපි සුමිත්ගෙන්ම අහමු.

මම කුඩා කාලයේ සිටම කලාවට ගොඩක් ආස කලා. පාසල් වේදිකාව මට රංගනයේ දොරටු විවරකර දුන්නත් එහි රැෙඳන්න මට වරම් ලැබුණේ නැහැ. නමුත් මම කලාවට හැමදාම ආදරය කළා. ඒ වගේම සිංහල සිනමාවට සේවයක් කරන්න ඕන කියන අධිෂ්ඨානය මගේ හිතේ හැමදාම තිබුණා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි 1985 වසරේදී ජාත්‍යන්තර මාධ්‍යවේදී පදනම බිහි වෙන්නේ. මගේ බලාපොරොත්තුව වුණේ අපේ සිංහල සිනමාවට කලාවට සේවයක් කරල අගැයීමට ලක් නොවුණ කලාකරුවන්ට නිසි තැනක් දෙන්න. ඒ අනුව පැවති උපහාර උළෙලවල්වදී ජී. එස්්. බී. රාණි පෙරේරා, ආරියරත්න කහවිට, හරූන් ලන්ත්‍රා, මාලිනී ෆොන්සේකා, සෝනියා දිසා, අයිවෝ ඩෙනිස්, රෝයි ද සිල්වා, ක්‍රිෂ්ටි සොයිසා, ලතා වල්පොල, ශ්‍රියාණි අමරසේන, ජයසේන ජයකොඩි, උදුලා දාබරේ, ටෝනි රණසිංහ, ධර්මසිරි ගමගේ, අනුලා කරුණාතිලක විතරක් නෙවෙයි 1996 වසරේදී ලෝක ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ අර්ජුන රණතුංග සම්මානයට පාත්‍ර වුණා.

කලාවට සේවය කරන්න ජාත්‍යන්තර මාධ්‍යවේදී පදනම බිහි වෙන්නේ කොහොමද?

මමයි මගේ පාසල් මිතුරකු වූ චිත්‍රපට අධ්‍යක්ෂ එච්. ඩී. ප්‍රේමරත්නයි දවසක් චිත්‍රපටයක් බලද්දි තමයි මේ තීරණයට ආවේ. ඒ අවස්ථාවේදී අපි කතා වුණා අගැයීමට ලක් නොවූ පැරැණි කලාකරුවන් අගයන්න ඕන කියල. ඒ අනුව 1988 දී අර්නස්ට් පෝරුතොට පියතුමා ඇතුළු එච්. ඩී. ප්‍රේමරත්න, රවීන්ද්‍ර රන්දෙණිය, මිල්රෝයි පෙරේරා එක්ව ජාත්‍යන්තර මාධ්‍යවේදී පදනම පිහිටුවන්නේ. මේ වන විට රංග ප්‍රේමරත්න සභාපති ලෙසත් මම ජාත්‍යන්තර සභාපති ලෙසත් කටයුතු කරනවා.

ජාත්‍යන්තර මාධ්‍යවේදී පදනමේ සාර්ථකත්වය?

2000 වසරේ දී අපි ඇමරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ තවත් ශාඛා දෙකක් පිහිටුවූවා. මේ ඔස්සේ අපට ජාත්‍යන්තර මට්ටමෙන් ලාංකේය කලාවට සේවයක් කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ අනුව අපි ශ්‍රී ලංකාවේ 50 වැනි නිදහස් උත්සවය නිමිත්තෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව නගර 18 ක සංස්කෘතික උළෙලවල් පැවැත්වූවා. ඒ සඳහා මෙරට කලාකරුවන් රැසකගේ සහභාගිත්වය ලැබුණා. ඊට අමතරව මෙරට දරුවන්ට සිනමාව හා කලාව පිළිබඳ පාඨමාලා, සම්මන්ත්‍රණ පවත්වන්නටත් කටයුතු යොදලා තියෙනවා.

ඔබගේ පෞද්ගලික තොරතුරු ගැනත් සඳහන් කළොත්?

මම අධ්‍යාපනය ලැබුවෙ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය හා කොළඹ 07 ඇලෙක්සැන්ඩ්‍රා විද්‍යාලයෙන්. අනතුරුව මම නාවික සේවයට බැදුණා. මේ වන විට මම නාවික මිනින්දෝරුවෙක් විදියට සේවය කරනවා. දැනට පදිංචි වෙලා ඉන්නේ කැනඩාවෙ. මගේ බිරිඳ සන්ධ්‍යා තිසේරා. මට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. ජාත්‍යන්තර මාධ්‍යවේදී පදනමේ වැඩ කටයුතු කීපයක් වෙනුවෙන් තමයි මම ලංකාවට ආවේ.

ඉදිරිය ගැනත් කතා කරමු.

ඉදිරි කාලයේදී චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. නැසීගිය ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය තිස්ස අබේසේකරගේ අවසන් තිර රචනයට අනුව තමයි මෙය සිදු කෙරෙන්නේ. සම්මානනීය කැමරා ශිල්පී සුමින්ද වීරසිංහ සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කරල තිබුණත් නොසිතූ මොහොතක ඔහු අප අතහැර ගියා. කෙසේ වෙතත් ඉදිරියේදී මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.