හොදම නිළිය නොවූ දක්ෂ නිළියක්

නදීකා ගුණසේකර

නදීකා ගුණසේකර මව් උරුමයෙන් සිනමාවට පිවිසි නිළියකි.

ප්‍රවීණ නිළියක වූ තලතා ගුණසේකර ඇගේ මව වූවාය. නදීකා මුලින්ම රඟපෑවේ ‘කාංචනා’ චිත්‍රපටයේය. ඊට ඉහත ‘සිකුරුලියා’ චිත්‍රපටයේ රඟපෑමට ආරාධනා ලැබුණත් ඇය ඊට කැමැත්ත පළ කර නොමැති බවක් වාර්තා වෙයි.

නදීකා විශ්ව විද්‍යාල උපාධිධාරිණියකි. අපේ නිළියන් අතරින් අයිරාංගනී සේරසිංහ, යශෝධා විමලධර්ම, දුලීකා මාරපන ඇතුළු කීප දෙනෙකු හැරුණු කොට උපාධි සහතිකයක් ඇති නිළියක වේ නම් නදීකා විය යුතුය.

1958 දී මහනුවර උපන් නදීකාගේ සම්පූර්ණ නම දිසානායක විජේසූරියගේ සන්ධ්‍යා දර්ශනී ගුණසේකරය. කෑගල්ල උඳුගොඩ පාසල, බණ්ඩාරවෙල විශාඛා, මහනුවර මහමායා ඇය අධ්‍යාපනය ලැබූ පාසල් අතර වෙයි. ඇගේ නම නදීකා යනුවෙන් වෙනස් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නිළියක වූ සන්ධ්‍යා කුමාරිය. සිනමාවට සන්ධ්‍යාලා දෙදෙනකු අනවශ්‍ය යැයි ඇය සිතුවා විය යුතුය.

එක් පැත්තකින් ‘චංචල රේඛා’ චිත්‍රපටයේ දං චූටිගේ චරිතයෙනුත් අනිත් පැත්තෙන් ‘බැද්දේගම’ චිත්‍රපටයේ හින්නිහාමිගේ චරිතයෙනුත් නදීකා ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වූවාය. ඉන් ඇය සාක්ෂාත් කළේ තමාට සම්භාව්‍ය හා වාණිජ යන සිනමා ධාරා දෙකේම විශිෂ්ට දස්කම් පෑ හැකි බවය.

‘බැද්දේගම’ චිත්‍රපටයේ රඟපෑම් උදෙසා නදීකා 1984 ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම සහාය නිළිය ලෙස සම්මාන ලැබුවාය.

‘බැද්දේගම’ හැරුණු කොට ‘අධිෂ්ඨාන’ (මංගලිකා), ‘රිදී නිම්නය(කුසලාවතී), ‘බිත්ති හතර’ (නන්දනී), ‘යහළු යෙහෙළි’ (මුදිතලතා), ‘වත්සලා අක්කා’ (වත්සලා), ‘යසෝමා’ (යසෝමා) නදීකාගේ සාර්ථක රඟපෑම් ඇතුළත් චිත්‍රපට කීපයකි.

1983 ජාතික කතෝලික සිනමා පර්ෂදයේ (ඕ. සී. අයි. සී.) උත්තමාචාර උළෙලේ දී නදීකා චිත්‍රපට තුනක රඟපෑම සඳහා සම්මානයට පාත්‍ර වූවාය.

‘රිදී නිම්නය’, ‘බිත්ති හතර’, ‘යහළු යෙහෙළි’ එම සිනමාපට තුනයි.

මෙහි කිසියම් විශේෂත්වයක් ද තිබිණි. එනම්, මෙම සම්මානය ස්වර්ණා මල්ලවආරච්චි හා නදීකා අතර සමසේ බෙදී යාමය.

(ස්වර්ණා සම්මානයට පාත්‍ර වූයේ ද ඉහත සඳහන් චිත්‍රපටවලම කළ චරිතාංග නිරූපණය සඳහාය).

අසූව දශකයේ මුල් භාගය (1982 – 1985) නදීකාගේ සිනමා නිළි ජීවිතයේ ස්වර්ණමය අවදිය වෙයි. ඇයට හොඳ චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව ලැබුණේත් ඇය සම්මානයන්ගෙන් පිදුම් ලද්දේත් එකී වකවානුවේදී බැවිනි.

1982 දී නදීකා ‘සරසවිය’ සම්මාන උළෙලේදී වසරේ නැඟී එන නිළිය ලෙස සම්මානනීය වූවාය.

වාණිජ චිත්‍රපටවලදී ද නදීකා පෑ රංග කුසලතාව අපේ ඇගැයීමට ලක්විය යුත්තකි. විශේෂයෙන් ‘ඔක්කොම රජවරු’ (දර්ශනී), ‘හොඳින් නැත්නම් නරකින්’ (ගෝතමී මොලමුරේ), ‘චායා’ (සෙල්ලි) වැනි චිත්‍රපට මෙහිලා සැලකිල්ලට ගත හැකිය.

එහෙත් කිසියම් අවාසනාවකට දෝ නදීකාට කිසිදාක හොඳම නිිළිය සඳහා වන සම්මානය ලැබුණේ නැත. ‘යහළු යෙහෙළි’, ‘යසෝමා’ වැනි සිනමාපට ඒ සඳහා ඇයට අවස්ථාව උදා කර දුන්න ද, වෙනත් නිළියන් වෙනත් චිත්‍රපටවල ඇය අභිබවමින් රඟපෑම හේතු කොට ගෙන ඒ අවස්ථා ගිලිහී ගියා සේය. නදීකාගේ සමකාලීනයකු වූ සබීතා පෙරේරා වැනි නිළියක් ජනප්‍රියත්වයෙන් හා දක්ෂතාවයෙන් නදීකා ඉක්මවීම ද ඇයට අභියෝගයක් වූවේදැයි සලකා බලනු වටී.

න දීකා චිත්‍රපට නිෂ්පාදිකාවක් ද වන්නීය. ඇය මාලිනී ෆොන්සේකා සමඟ එක්ව ‘අහිංසා’ චිත්‍රපටය නිෂ්පාදනය කළාය. ‘ඇය ඔබට බාරයි’ නදීකා නිෂ්පාදනය කළ තවත් චිත්‍රපටයකි.

නදීකා ටෙලි නාට්‍ය කීපයක ද රඟපා ඇත. ‘නිරූපමාලා’, ‘එතෙර පැතුම්’, ‘හිමි අහිමි’ ඇය රඟපෑ ටෙලි නාට්‍ය අතර වෙයි.

නදීකා කලක් ජාතික චිත්‍රපට සංස්ථාවේ විධායක ශ්‍රේණියේ රැකියාවක නිරතව සිටියාය.

නදීකා අද චිත්‍රපට ක්ෂේත්‍රයෙන් ඉවත්ව සිටින බවක් පෙනී යයි. ඇතැම් විට සිනමාවේදී ඇයට ගැළපෙන චරිත නොලැබෙනවා විය හැකිය.

මෙය ඇය පමණක් නොව ඇගේ සමකාලීන නිළියන් ද මුහුණ දෙන අර්බුදයකි.

මැදි වයස් පාදක කර ගත් චරිත බටහිර සිනමාවේ නම් කොතෙකුත් දැක්ක හැකිය. එහෙත් අපේ සිනමාවේ තවමත් කේන්ද්‍රීය වන්නේ තාරුණ්‍යයෙන් හෙබියා වූ පෙම්වතියයි. එබඳු පසුබිමක නදීකා වැනි නිළියන්ට නිහඬව සිටිනු හැර වෙන කළ හැක්කේ කුමක්ද?

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව