Q & A

පූජා අපේ

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට,

ඔබ නිර්මාණය කළ ‘කුස පබා’ චිත්‍රපටයේ පබාවතියගේ චරිතයට පූජා උමාශංකර් තෝරා ගැනීම මට පෙනෙන්නේ අපගේ රංගන ශිල්පිනියන්ට කළ අගෞරවයක් බවයි. රංගනයෙන් අති විශිෂ්ඨ තරුණ රූපෙන් පවා පිරිපුන් මෙරට නිළියන් අමතක කොට පිටරටක නිළියක් සම්බන්ධ කර ගැනීම හරිද?
 

දයාරත්න ගනේගොඩ, මූණමල්ගහවත්ත, කැලණිය.

දයාරත්න,

මගේ කුස පබා නිර්මාණයට ගැළැපෙනම කෙනා මම තෝරා ගෙන තියෙනවා. කුස ජාතකය බිහි වෙන්නේ ඉන්දියාවේ. ඇය ඉන්දියාවේ ආභාෂය තියෙන අපේ කෙනෙක්. පූජා උමාශංකර්ගේ මව අප රටේ සිංහල බෞද්ධ කාන්තාවක්. ඇය විදේශීය නිළියක් නොවේ. මාගේ සිතේ ඇඳුණ පබාවතියට ඈ හරියටම ගැළැපෙනවා. මෙරට දක්ෂතාවයෙන් පිරිපුන් රංගන ශිල්පිනියන් සිටින බව සත්‍යයයි.

නමුත් පූජා උමාශංකර් යනු හොඳ රංගන හැකියාවක් සමඟ ගැඹුරු රංගන දැනුමක් ඇති තැනැත්තියක්. මෙරට ආභාෂයත් ඇයට හිමියි. අනික මෙරට ඕනෑ තරම් චිත්‍රපටවල විදේශීය නිළියන් රඟපා තිබෙනවා. නමුත් පූජාට ලංකාව හා සෘජු ඥාතිකමකුත් තියෙනවානේ. ඇය විදේශීය නොව අපේ රංගන ශිල්පිනියක්.

විජය – රවී කළ චරිතයක්

රොජර් සෙනෙවිරත්නට,

ඔබ ඉතාම දක්ෂ කුසලතාපූර්ණ රංගන ශිල්පියෙක්. එහෙත් ඔබේ රංගනයන් මා කලකින් දුටුවේ නැහැ. ඔබේ දක්ෂ රඟපෑම් ඇතුළත් ‘සිරිපාල හා රන්මැණිකා’ ටෙලි නාට්‍යයෙහි ඔබ රඟන චරිතය ගැන පහදන්න.
 

වෛද්‍ය නෙල්සන් වීරසිංහ – අනුලා වීරසිංහ-පොල්ගහවෙල, පූජාපිටිය.

කලක් මහත් ආන්දෝලනයට ලක් වූ මරු සිරාගේ කතාව දෙවරක් සිනමාවට නැඟුණා. එහිදී විජය කුමාරතුංගයන් හා රවීන්ද්‍ර රන්දෙණිය සිරිපාල ලෙස රඟපෑවා. මෙදා එම කතාවම ටෙලි නිර්මාණයක් ලෙසින් එළි දකින විටදී මට සිරිපාලගේ චරිතය නිරූපණයට ඇරැයුම් ලැබුණා. විවිධ සමාජ බලපෑම් නිසා, නිසි සන්නිවේදනයක් නැති නිසා, මානූෂීය ලෙස පුද්ගලයකු දිහා නොබැලීම නිසා මෙවැනි සිරිපාල කෙනෙක් බිහි වුණා. එය හොඳින් නිරූපණය කිරීම තමා මගේ කාර්යය.

මේ දිනවල සකිසඳ සුවාරිස්, රජවත්ත, විජය කුවේණි ආදී නිර්මාණ ඔබ අතරට ගෙන ඒමට නියමිතයි. ඒ වගේම හරුන් ලන්ත්‍රා, සමන්ති ලැනරෝල් ඇතුළු වයෝවෘද්ධ වියේ පසුවන කලාකරුවන් කිහිප දෙනෙකුට නිවෙස් සාදා දීම සඳහා විමල් වීරවංශ අමාත්‍යතුමාගේ සහයෝගය ඇතිව වැඩ පිළිවෙලක් සකසාගෙන යනවා.

නිදහස් සිතුවිලි දැනුණු දවසක්

මනෝජ් පීරිස්ට,

ඔබ පසුගියදා නිදහස් දවසේ අනුරාධපුර ජනපති මැදුරේදී ප්‍රසංගයක් මෙහෙය වූවා. නිදහස් දිනයේ ලැබුණු ඒ විශේෂ අවස්ථාව ගැන දැනගන්නට කැමැතියි.
 

රසික පෙරේරා අනුරාධපුර.

රසික,

හැටහතර වැනි නිදහස් උළෙල වෙනුවෙන් අනුරපුර ජනපති මැදුරේ සවස පැවැති විශේෂිත උත්සවයේදී සංගීත අනුවාදන ඉදිරිපත් කිරීම මා ඇතුළු මගේ සහෝදර වාදක මණ්ඩලයට පැවැරී තිබුණා. දේශයේ දේශාභිමානී හැඟුම් අවදි කළ දේශාභිමානී ගීත තමයි එහිදී අනුවාදන ලෙස මිහිරිව වැයුණේ. මේ අවස්ථාවට විවිධ රටවල තානාපතිවරුන් ඇතුළු විශාල ප්‍රභූන් පිරිසක් සහභාගී වුණා. මෙය මගේ ජීවිතයේ මගේ රට වෙනුවෙන් කරන්නට ලැබුණු ඉතාම විශාල මෙහෙයක්.

මේ පුණ්‍ය භූමියේ ඉපදීම පිනක්

නිරෝෂා විරාජිනීට,

භාෂා කිහිපයකින්ම ගී ගැයීමේ විශේෂ හැකියාවක් ඇති ඔබ, ඉපදෙන්න තිබුණේ විදේශ රටකයි යන්න මගේ හැඟීමයි. ඇත්තමයි ඔබ දුන් ගී රසයට, ඔබව ඇගැයුනා මදි යයි මට හිතෙනවා. ඔබට සම්මාන ලැබිය යුතු අවස්ථාවලදී එය අහිමිව ගිය අවස්ථා අනන්තයි. ඒ ගැන ඔබට දුකක් නැතිද?
 

කමලා සෙනෙවිරත්න හෝකන්දර දකුණ.

කමලා,

මම සතුටු වෙනවා මේ පුණ්‍ය භූමියේ උපත ලැබීම පිළිබඳ. මා දුන් ගීත රසයට මට නිසි ඇගැයීමක් ලැබිලා තියෙනවා කියන හැඟීම මට තියෙනවා. මම හිතුවටත් වඩා ප්‍රමාණයකදී මට සම්මාන ලැබිලා තියෙනවා. ඒ වගේම නිර්දේශ වෙලා තියෙනවා. ඇත්තටම මට ඒ ගැන දුකකට වඩා තියෙන්නේ සතුටක්.

නැවතත් සිනමාවට

හයසින්ත් විජේරත්නට,

ළඟදී චිත්‍රපටවලට දායක වන්නේ නැතිද?
 

ක්ලෝඩ් ද ලිවේරා - නාලිනී ද ලිවේරා

කටුවාපිටිය වතුයාය,

මීගමුව.

මම මේ දිනවල විදේශ ගත වෙලයි සිටින්නේ. මෙහේ වැඩ කටයුතු හමාර කළ පසු මේ මස අවසානයේදී නැවත මම ලංකාවට එනවා. ආපසු ආරාධනා ලැබුණොත් සිනමා පටයකට දායක වෙන්න පුළුවන්. මා ගැන විමසුවාට බොහෝම ස්තුතියි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව