ආදරවන්තයන්ගේ දිනයේ ආදරියේ ඇරැඹෙයි

යොවුන් ආදරයේ ආදරණීය ඉසව් ස්පර්ෂ කරන ‘ආදරියේ’ ඔබ හමුවට එන අලුත්ම ප්‍රේමනීය ටෙලි කතන්දරය ආදරවන්තයින්ගේ දිනයේදී ස්වර්ණවාහිනිය ඔබට ආදරයෙන් තිළිණ කරන්නට පටන් ගත්තා.

‘ආදරියේ’ තිසුල දීප තඹවිට ගේ අධ්‍යක්ෂණයක් සහ රිහාන් රවීන්ද්‍රගේ තිර පිටපතක්.

නිර්මල, අප්සාරි, අහිංසා සහ චේතිය වටා සිතුවම් වන ‘ආදරියේ’ ටෙලි සිතුවම රංගනයෙන් හැඩ කරන්නේ රෙබෙකා නිර්මලී, කුසුම් පෙරේරා, ධනංජය සිරිවර්ධන, නදීශා හේමමාලි, බුද්ධික ජයරත්න, අනර්කලී ආකර්ෂා, ශ්‍රීමාල් වෙඩිසිංහ සහ ගුණවර්ධන හෙට්ටිආරච්චියි.

සෑම සතියේ දිනකම සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 7.30 ට ස්වර්ණවාහිනියට එන්න.


මන බඳනා රුව කාගේ

සුරූපී නිළියන්ගෙන් නම් අපේ ටෙලි නාට්‍ය කලාවට අඩුවක් නෑ. නමුත් සුවිශේෂී රූ සොබාවකට උරුමකම් කියන රංගන ශිල්පිනියකගේ දායකත්වය ‘නමක් නැති මිනිහෙක්’ ටෙලි නාට්‍යයට උපුල් ගුණවර්ධන ලබා ගන්නා බවට අපිට ආරංචියක් ලැබුණා.

ඔබ මේ ඡායාරූපයෙන් දකින ඇයව තමයි අපි සොයා ගෙන ගියේ. හැබැයි ඇය වෙනුවට අපිට හමු වුණේ රංගන ශිල්පී සඳුන් විජේසිරි. ඔහු තමයි ‘නමක් නැති මිනිිහෙක්’ ටෙලි නිර්මාණය ඔස්සේ කලා ක්ෂේත්‍රයට පිවිසෙන නවතම රංගන ශිල්පිනිය.


සේෆ් හවුස් ලිබර්ටි ලයිට් එයි

ඇකඩමි සම්මාන දිනූ ඩෙන්සිල් වොලින්ටන් සමඟ රයන් රෙනෝල්ඩ්ස්, වේරා නමිගා, බ්‍රෙන්ඩන් ග්ලීෂන්, සෑම් ෂෙපර්ඩ් ඇතුළු නළු නිළියන් රැසක් රඟන නවතම ක්‍රියාදාම චිත්‍රපටයක් වූ සේෆ් හවුස් මේ සිකුරාදා (17) සිට කොළඹ ලිබර්ටි සිනමාහලේ තිරගත වෙයි. ඩැනියෙල් එස්පිනෝසා මෙහි අධ්‍යක්ෂවරයාය. ඩෙන්මාර්කයේ දී සිනමාව හැදෑරූ ඔහු ස්වීඩන ජාතිකයෙකි. මෙයට පෙර ස්වීඩනය හා ඩෙන්මාර්කය වෙනුවෙන් චිත්‍රපට තැනූ ඔහුගේ මුල්ම හොලිවුඩ් චිත්‍රපටය මෙයයි.


මෙවර ආලකමන්දාවෙන් ප්‍රේමරත්නගේ සිනමාව

ජාතික රූපවාහිනියේ ආලකමන්දාව විචිත්‍රාංගය මෙම මස 23 වැනිදා රාත්‍රී 10.05 ට විකාශය වීමට නියමිතය. මෙවර ආලකමංදාව විචිත්‍රාංගය යටතේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ එච්. ඩී. ප්‍රේමරත්නගේ සිනමා භාවිතය විමසා බැලේ. සුනිල් මිහිඳුකුල තිර පිටපත ලියූ මෙම වැඩසටහනේ අධ්‍යක්ෂවරිය වන්නේ සම්මානලාභී රූපවාහිනි ශිල්පිනී විනීතා කරුණාරත්නය.


සෙනසුරාදා, ඉරිදා සිරිවාසල බලන්න

කලාවත්, දේශපාලනයත් සමඟ ජීවන ගමනේ යෙදෙන ඔහු කීර්ති ගජනායක. කෙතරම් යෞවනියන්ගේ ආකර්ෂණය ලැබුණ ද ඔහුගේ සිත නවතින ඇය සිරිවාසල වලව්වේ චිත්‍රා කුමාරි. ඉන් පසු සිදු වන්නේ කුමක්ද? සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 8.30 ට සිරස නාලිකාවෙන් ‘සිරිවාසල’ට ගොඩ වන ඔබට එම පැනයට විසඳුම් සොයා ගන්න හැකි වේවි.

දිනිඳු ජාගෙඩ, රුවන්ති මංගලා, දමයන්ති ෆොන්සේකා, මංජුල මොරගහ, කුමුදු නිශාන්ත, උදයන්ති කුලතුංග, තරුෂි පෙරේරා, චංචලා වර්ණසූරිය, අංජලී ලියනගේ, දයා තෙන්නකෝන්, සරණපාල ජයසූරිය, සුනීතා විමලවීර සහ අරුණි මෙන්ඩිස් සිරිවාසලේ සාමාජික සාමාජිකාවන්. සිරිවාසල ප්‍රියන්ත සමරකෝන්ගේ අධ්‍යක්ෂණයක්. ප්‍රියන්තට කැමරාකරණයෙන් සහ ආලෝකකරණයෙන් සහය වෙන්නේ තිලක් රංජන් සහ වසන්ත ජයලත්. සහය අධ්‍යක්ෂක ලෙස ප්‍රියන්ත පතිරගේ, කලා අධ්‍යක්ෂක ලෙස ස්ටැනි ද සිල්වා දායක වන සිරිවාසල මිල්රෝයි සල්ගාදුගේ කතා සංකල්පයක්. සංගීත අධ්‍යක්ෂණයෙන් ගයාන් ගණකධාර. ගීත රචනයෙන් ආනන්ද ලොරොන්සු හේවා, ගීත ගායනයෙන් සනත් නන්දසිරි, වේෂ නිරූපණයෙන් ඩබ්. ජයතිස්ස සහ නිෂ්පාදන කළමනාකරණයෙන් ඉන්දික සමීරත් ‘සිරිවාසල’ ටෙලි සිත්තම සාර්ථක කර ගන්න උර දෙනවා. සිිරිවාසල පුංචි තිරයේ දිග හැරෙන්නේ පැරමවුන්ට් සිනෙ වීඩියේ නිෂ්පාදනයක් ලෙසින්.


පෙර දිනක දොරට වඩී

ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරාගේ ගී රචනා ඇතුළත් ‘පෙර දිනයක’ සංගත තැටිය පසුගියදා දොරට වැඩිණ.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ යෝජනාවක් පරිදි ‘ගී ප්‍රසන්ටේෂන්ස්’ නිෂ්පාදනය කළ සංගත තැටියේ මුල් පිටපත ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත වැලිවේරිය මහතා සුනිල් සරත් පෙරේරාට පිළිගැන් වූ අයුරුයි.

රංජිත් වීරක්කොඩි, නිමල් ප්‍රේමසිරි, ආචාර්ය අජන්තා රණසිංහ, ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර, අධ්‍යක්ෂ රංජිත් ගාමිණී විජේසේකර යන මහත්වරුද ඡායාරූපයේ වෙති.


තුන්කොන් සංගීත සටන 18 ගම්පහදී

සන්ෂයින්, පර්පල් රෙන්ජ්, සීදූව සරසි තුන්කොන් සංගීත සටන මෙම 18 වැනිදා රාත්‍රී 8.00 ට ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වේ.

චාමර වීරසිංහ, අසංක දේවමිත්‍ර, දමිතා අබේරත්න, සුප්‍රියා අබේසේකර, කසුන්, කවීෂ කවිරාජ් මෙම ප්‍රසගයේ ගී ගයන අතර කථනය සුදත් සමරදිවාකරගෙනි. එම්. එස්. සී. ක්‍රීඩා සමාජය මෙය සංවිධානය කරයි

සිරස සුපර් ස්ටාර් පළමු අදියරේ අවසන් තරගකරුවන් හත්දෙනා අතරට පැමිණි වරුණ මධුශංක පසුගිය 26 වැනිදා කාංචනා මනෝරි රාජකරුණා සමඟ විවාහ ගිවිස ගත්තා. වරුණටත්, මනෝරිටත් සරසවිය අපේ සුබපැතුම්.


සිරස සුපර් ස්ටාර් පළමු අදියරේ අවසන් තරගකරුවන් හත්දෙනා අතරට පැමිණි වරුණ මධුශංක පසුගිය 26 වැනිදා කාංචනා මනෝරි රාජකරුණා සමඟ විවාහ ගිවිස ගත්තා. වරුණටත්, මනෝරිටත් සරසවිය අපේ සුබපැතුම්.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව