සප්ත ස්වරයේ සප්ත දශකයට සරසවිය සුබපැතුම්

මෙම 18 වැනිදාට යෙදෙන ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ සැත්තෑ වැනි උපන් දිනයට සරසවිය මෙසේ සුබපැතුම් එක්කරයි. වික්ටර්, ඔබට චිරං ජයතු!

විජය සමරා ගුණ සමරු රැසක්

අදට යෙදී තිබෙන විජය කුමාරතුංගයන්ගේ විසි හතර වැනි ගුණ අනුස්මරණය නිමිති කර ගනිමින් ජාතික මහජන සහෘද සංසදය සංවිධානය කරනු ලබන විජය උපහාර උළෙලක් මෙම 16 දින එනම් අද සවස 2.00 ට කොළඹ 07 නව නගර ශලාවේදී පැවැත්වේ. මෙම සැමරුමේ විශේෂ දේශනය කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න පවත්වනු ලබයි.

මෙහිදී අඩු ආදායම්ලාභී සහ ආබාධිත පිරිසක් සඳහා රෝද පුටු, කිහිලිකරු, අත්වාරු සහ නිවාස ආධාර ප්‍රදානය කිරීමද, පාසල් දරුවන් දහසකට පොත්පත්, කිරි පිටි බෙදා දීම ද යන සත්කාරක වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරේ.

විජය සමරමින් තවත් ගුණානුස්මරණ උත්සවයක් අද මහනුවර කැප්පෙටිපොළ ශාලාවේදී පැවැත්වෙනු ඇත. ඊට සමගාමීව පුස්ථකාල සඳහා පොත් පරිත්‍යාගයක්, පාසල් දුවා දරුවන්ට අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ බෙදා දීමක්, මහනුවර ප්‍රදේශයේ සිටින ජීවිතයේ සැඳෑ කල ගෙවන කවීන් කිහිප දෙනෙකුට මුදල් පරිත්‍යාගයක් ද, ‘මා හැඳීන ගත් විජය කුමාරතුංග’ නමින් ග්‍රන්ථයක් දොරට වැඩීමත් සිදුවේ. මෙය මහනුවර සමාජ සංස්කෘතික කේන්ද්‍රයේ සංවිධානයකි.

කුස පබා සියලු ආදායම් වාර්තා බිඳ හෙලයි

දින දහ අටට ලක්ෂ 420

කුස පබා සිනමාපටය මේ වන විට දින දහ අටක් තුළදී ලක්ෂ 420 ක ආදායමක් උපයා තිිබේ.

එමෙන්ම පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දිනයේ පමණක් එහි ආදායම ලක්ෂ 100 කි.

එය මෙතෙක් සිංහල චිත්‍රපටයක් දින දෙකක් තුළ ඉපයූ වැඩිම ආදායම බව ඊ. ඒ. පී. ආයතනනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ජයරත්න ගලගෙදර මහතා පවසයි.

ඉට්ස් මැටර් ඔෆ් ලව් විශේෂ දර්ශනයක්

රෝයි ද සිල්වාගේ ඉට්ස් අ මැටර් ඔෆ් ලව් සිනමාපටයෙහි විශේෂ දර්ශනයක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ.

මෙය රෝයි ද සිල්වා දෙවැනි වරට ඉංග්‍රිසි බසින් නිර්මාණය කළ චිත්‍රපටය වේ. ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් ඔහුගේ පළමු ඉංග්‍රීසි චිත්‍රපටයයි. ලකී ඩයස්, විජය නන්දසිරි, රෝසි සේනානායක, අයිරාංගනී සේරසිංහ, අනර්කලී ආකර්ෂා, සාරංග දිසාසේකර, නෙහාරා පීරිස්, රොනී ලීච්, කොරීන් අල්මේදා සමඟ හඳුන්වා දෙන කේෂියා ලීච් ඇතුළු පිරිස ඉට්ස් අ මැටර් ඔෆ් ලව් රංගනයෙන් හැඩ කරති. මෙය දේවාදිත්‍ය ෆිල්ම් වෙනුවෙන් සුමනා අමරසිංහගේ නිෂ්පාදනයකි.

ඉට්ස් අ මැටර් ඔෆ් ලව් චිත්‍රපටයේ පිරිවර එදින සමූහ ඡායාරූපයකට පෙනී සිට් අයුරු

වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයෙන් කෙටි චිත්‍රපට උළෙලක්

යෞවන කටයුතු සහ නිපුනතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන යොවුන් හා වාර්තා කෙටි සිනමා නිර්මාණ තරගාවලිය 2012 සඳහා නිර්මාණ බාර ගැනීම් මේ දිනවල සිදුවේ.

යොවුන් වෘතාන්ත කෙටි චිත්‍රපට තරග අංශය, යෞවන (අවුරුදු 16 – 29) යොවුන් වෘත්තාන්ත කෙටි චිත්‍රපට තරග අංශය විවෘත (වයස් බේදයක් නැත), සහ වාර්තා කෙටි චිත්‍රපට තරග අංශය යනුවෙන් තරග අංශ තුනකින් මෙය පවත්වනු ලබයි.

වාර්තා කෙටි චිත්‍රපට තරගය සඳහා ඕනෑම තේමාවක් යටතේ නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර යොවුන් වෘතාන්ත කෙටි චිත්‍රපට තරග අංශ දෙක සඳහා යෞවනය තේමා කර ගත් නිර්මාණ සැකසිය යුතුය.

දායකත්ව නාමාවලිය හැර චිත්‍රපටයේ උපරිම ධාවන කාලය විනාඩි 10 ක් විය යුතුය. නිර්මාණ බාර දිය යුත්තේ ඩී. වී. ඩී. තැටි මගිනි. එක් තරගකරුවකුට තරග අංශ කිහිපයක් සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර මීට ප්‍රථම වෙනත් තරග සඳහා යොමු කළ නිර්මාණ මීට වලංගු නොවේ. www.univotec.ac.lk  යන වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලීය වෙබ් අඩවිය ඔස්සේ හෝ විශ්ව විද්‍යාලයේ මාධ්‍ය අංශය මගින් අයැදුම්පත් ලබාගත හැකි අතර ඒවා මෙම මස 28 වැනිදාට ප්‍රථම වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මාධ්‍ය අංශය වෙත භාර දිය යුතුය. නිර්මාණ භාරගන්නා අවසන් දිනය මෙම මස 30 වැනිදායින් අවසන් වේ.

ලියා පදිංචි පිළිවෙලට චිත්‍රපට

ලාංකේය සිනමාව රැක ගැනීමේ සංවිධානය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා සභාපති අශෝක සේරසිංහ මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. චිත්‍රපට අධ්‍යක්ෂවරුන් හා නිෂ්පාදකයින්, කාර්මික ශිල්පීන් මෙන්ම නළු නිළියන්ගෙන් ද සැදුම් ලත් එකී සංවිධානය කියා සිටින්නේ චිත්‍රපට රූගත කිරීමේ පිළිවෙල රැගුම් පාලක මණ්ඩලයේ ලියා පදිංචි වන අනු පිළිවෙලට සිදු විය යුතු බවයි.

චිත්‍රපට තිරගත කිරීමේදී විවිධ අක්‍රමිකතා ඇති වී තිබෙන නිසා මෙය සාධාරණ පිළිවෙතකට අනුව සිදු විය යුතු බව ඔවුන් තවදුරටත් පෙන්වා දුන්නේය. එහිදී සභාපතිවරයා කියා සිටියේ යම් කිසි ක්‍රමවේදයකට අනුව චිත්‍රපට තිරගත කිරීම සිදු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

නන්දා – රන්ජන් – මහින්දාගමනයට මහජන සම්මාන
 

ස්ලීම් නීල්සන් ආයතනය මගින් වාර්ෂිකව පවත්වනු ලබන මහජන සම්මාන උළෙලේදී වැඩිම මහජන මනාපය දිනාගත් ගායිකාව වශයෙන් නන්දා මාලිනිය පිදුම් ලබයි. පිට පිට පස් වැනි වතාවටත් රන්ජන් රාමනායක ජනප්‍රියම නළුවාට හිමි සම්මානය මෙවර දෝත දරා ගත්තාය.

එමෙන්ම වසරේ වැඩිම ජනතා ප්‍රසාදය ලත් චිත්‍රපටය වූයේ මහින්දාගමනයයි. එහි අධ්‍යක්ෂ සනත් අබේසේකර එයට හිමි සම්මානය ලබා ගත්තේය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව