දග ගෙයි දඩුවම් සියුමැළි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපන්

(2012. 02. 16 වෙනි දිනට යෙදෙන විජය කුමාරතුංගයන් ගේ විසි හතර වැනි (24) ගුණානුස්මරණ සමරු දින එතුමාණන්ට උපහාර වශයෙනි)

විජය කුමාරතුංගයන් ‘නැක්සලයිට්’ චෝදනා යටතේ බන්ධනාගාර ගත කළ දා එහි නිලධාරියකු ලෙස

කටයුතු කළ අපේ පාඨක ෂෙල්ටන් කුරේරා තම අත්දැකීම් පෙළ මෙලෙස අප වෙත ලියා එවන ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රතිභාපූර්ණ සිනමා නළුවකු වූද, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ආරම්භක ප්‍රථම සංවිධායක හා මහ ලේකම්වරයා වූ ද, මනුෂ්‍ය දයාව පිරුණ හදවතක් තිබූ විජය කුමාරතුංග ශ්‍රීමතාණන් මිනිස් තිරිසනුන් විසින් අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කර (අදට) 2012. 02. 16 වෙනි දිනට වසර විසි හතරකි. එතුමාගේ ජීවිතය ගැන විමසා බලන විට එතුමාව ඝාතනය කිරීමට ප්‍රථම එතුමාව (1982 පැවැති ජේ. ආර්. රජය) සිරගත කිරීම එතුමාට සිදු වූ බලවත් සමාජ අසාධාරණයකි.

වෘත්තියෙන් බන්ධනාගාර නිලධාරියකු වූ මා එවකට සේවය කරන ලද්දේ වැලිකඩ බන්ධනාගාරයේය. එවකට පැවති රජය (ජේ. ආර්. රජය) පෙරළා දැමීමට කුමන්ත්‍රණය කළ කුමන්ත්‍රණකරුවන් යයි (නැක්සලයිට්කාරයෝ) චෝදනා කරමින්, විජය සිර ගත කළ ප්‍රථම දින එම මොහොතේ සිට එනම් විජය වැලිකඩ හිර ගෙදරට රැගෙන ආ මොහොතේ සිට එතුමාව එදින පස්වරු පහට රාත්‍රී කාලයේදී රැඳවීම සඳහා සිර මැදිරිය තුළට යවා එහි දොරටු ඉබි යතුරු දැමූ මොහොත දක්වාම වැලිකඩ හිර ගෙදර තුළදී සිදු වූ සිදුවීම් මා මනසේ මැවී පෙනෙයි. විජය මහත්මා, අප සහෘදයා ජීවමානව කතා කරනවා මට ඇසෙයි.

කලා හා සිනමා කටයුතුවලදී විජය කුමාරතුªංග මහත්මාගේ පුද්ගලික හිතවතකු හා රසිකයකු වූ මා හට සැබෑ ජීවිතයේදී එතුමාව සිරගත කළ අවස්ථාවේ එතුමාට සිර මැදිරි ආරක්ෂිත රාජකාරි කටයුතු ඉටු කිරීමට සිදුවීම මතකයට එන විට සියුම් සතුටක් සිත්හි ජනිත වන අතර ඊටත් වඩා වැඩි දුකකින් හදවත වෙලී යයි. එම අත්දැකීම් සමුදායෙන් බිඳක් සරසවිය පාඨක, රසික ඔබගේ දැනගැනීම පිණිස ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණයි.

විජය මහත්මාව වැලිකඩ හිරගෙදර සිරගත කරන ලද්දේ 1982 11. 25 වෙනිදාය. වැලිකඩ හිරගෙදර තිබෙන ‘එච් වෝඩ්’ නමින් හඳුන්වන තට්ටු තුනකින් හා සිරමැදිරි පනහකින් පමණ සමන්විත එම ගොඩනැගිල්ලේ රඳවා සිටි සියලුම සිරකරුවන් එයින් පිටත යවා එහි තුන්වෙනි මහලේ වම් පස පළමුවන සිර මැදිරියේ විජයව ප්‍රථම වරට රඳවන ලදී. එම මොහොතේ වේලාව සවස තුන පසු වී විනාඩි හතළිහකි. එම ගොඩනැගිල්ල තට්ටුවෙන් තට්ටුව කිසිවෙකු හට ඇතුල්වීමට නොහැකි වනසේ පියගැට පෙළ ළඟින් වසා දැමිය හැකි පිළිවෙළට සාදා තිබුණු එකකි. නොවැම්බර් මස 25 වෙනිදා මෙයට අවුරුදු පහකට පෙරදි එනම් 1977 වසරේදී ‘කිඳුරු කුමාරි’ නමැති චිත්‍රපටයේ විජය සිරකරුවකු ලෙස රඟපෑ අතර එහි එම ජවනිකා පෙළ රූගත කරන ලද්දේ ද මෙම ගොඩනැගිල්ලේ (එච් වෝඩ්) පළමුවන මහලේ දකුණු පස හතරවෙනි සිර මැදිරියේය. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මාය. එහි නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කරන ලද්දේ ජෙරාඩ් ප්‍රනාන්දු මහත්මා ( සිනමා නිළි මොරීන් චාරුණීගේ මාමා) විසිනි.

එවකට ද වැලිකඩ හිරගෙදර සේවය කරමින් සිටි මා හට එම මහතුන් දෙදෙනාගේ කාරුණික අනුග්‍රහය යටතේ එම චිත්‍රපටයේ විජය සිරකරුවකු ලෙස සිර මැදිරියේ රඟන විට සිර මැදිරි ආරක්ෂිත රාජකාරියේ යෙදෙන නිලධාරීන් දෙදෙනාගෙන් එක් නිලධාරියකු ලෙස රඟපෑමට අවස්ථාව ලැබුණි. එම සිදුවීමත්, මෙම සත්‍ය ජීවිත සිදුවීමත් වැලිකඩ හිරගෙදර මෙම සිර ගොඩනැගිල්ලේදීම සිදුවීමත්, කිසියම් දෛවෝපගත සිද්ධීන් විය හැකි යයි අද මම සිතමි. මේ අවස්ථාවේදී ඒ පිළිබඳව මම විජයට මතක් කර දුනිමි. චිත්‍රපටයේ නම විජයට මතක තිබුණත් එහි කතාව එතුමාට මතක තිබුණේ නැත. ‘එදා මම බොරුවට හිරකාරයෙක්. අද මම ඇත්තටම හිරකාරයෙක් වෙලා . . ., පුදුමයි මේ ජීවිතය . . . පුදුමයි මේ සමාජය . . .’ යයි සුසුමක් පිට කරමින් විජය පැවසූ හැටි මට අද වගේ මතකය.

මගේ සමරු සටහන් පොත මගේ කාර්යාල මේසයේ තිබෙන බව මතක් වූ මම, එය සිරකරුවකු යවා ගෙන්වා ගෙන සිර ජීවිතය මතක්වීමට මොනවා හරි ලියන්න කියා විජයට දුනිමි. මම විජයට සමරුව දෙන ගමන් මේ සමරු පොතේ, මම පාසල් යන කාලයේදී ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ද අත්සන් තබා ඇති බව විජයට කීවෙමි. එවිට මට කියාම එම පිටුව පෙරළාගන බැලූ විජය මොහොතක් අත්සන දෙස බලා සිට මැතිනිය අත්සන් කර තිබූ පිටුවට ඉදිරිපස පිටුවේ මෙසේ ලිව්වේය.

වැලිකඩ සිරගෙදරදීය.

1982. 11. 25

‘කවදා හෝ මේ පවතින අසාධාරණ සමාජ ක්‍රමයෙන් සත්‍යයත්, සාධාරණත්වයත් එළි දකිනා තෙක් ඔබත්, මමත්, අප හැම දෙනාමත් සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන ඉදිරියට යමු. එදාට උදාවෙන ‘විමුක්තියෙන්’ සියලු සත්ත්වයෝ යහතින් වෙසෙත්වා!’

* විජය කුමාරතුංග

විජය එම සමරු සටහන ලියා සමරු පොත මට දුන්නේය. එය කිය වූ මම ‘විජය මහත්තයාගෙ පුතාගෙ නමත් විමුක්ති නේද?’ යයි ඇසූ විට විජය,

‘ඔය මං එහෙම ලිව්වෙ මට බැරි වුණොත් ජනතාවට විමුක්තිය ලබා දෙන්න මගේ පුතා විමුක්ති කවදා හෝ එය ඉෂ්ට කරයි කියලා මම විශ්වාස කරනවා’ යයි ගැඹුරු ස්වරයෙන් පැවසීය.

මේ අවස්ථාවේදී මෙම ‘එච්’ වෝඩ් එකටත් අඩි තිහක් පමණ එහායින් තිබෙන ‘අයි’ වෝඩ් එකටත් අතර තිබෙන මිදුලට රැස්ව සිටි සිරකරුවන් විශාල පිරිසක් අත් ඔසවමින් අත් වනමින් විජයට ආචාර සමාචාර දක්වන්නට විය. ඒ අතර අප නිලධාරින් ද කීප දෙනෙකු සිටි අතර, විජය ද ගොඩනැගිල්ලේ ජනේලයේ යකඩ කූරු අතරින් අත එළියට දමා එම පිරිසට ප්‍රතිචාර දක්වන්නට විය. මේ අවස්ථාවේදී එම පිරිස අතර සිටි අප නිලධාරීන් මා අමතමින් ‘මචං, ෂෙල්ටන් දොර ඇරපන්කො, අපිටත් විජය ළඟට යන්න’ යයි ආයාචනා කර සිටියේය.

මේ අවස්ථාවේදී විජය මා දෙස හෙලුවේ සුහද මෙන්ම අපූරු බැල්මකි. මම විජය දෙස බැලුවෙමි. කුමක් කරන්නද? මට නොතේරේ. මේ මා සමඟ එකට සේවය කරන නිලධාරීන්, සහෝදර නිලධාරීන් නොවේද? භීතියත්, මිනිස්කමත් අතර පවතින විශාල පරතරයේ මේ අවස්ථාවේදී අතරමං වූ මා, තට්ටුවෙන් තට්ටුව පියගැට පෙළ ළඟින් වසා තිබුණු දොරවල් දෙක විවෘත කර දමා අවසානයේ ගොඩනැගිල්ලේ ප්‍රධාන යකඩ දොරටුව ද විවෘත කළෙමි. දොරටු විවෘත කළේ සහෝදර නිලධාරීන් උදෙසා වුව ද මේ මොහොතේ සිරකරු, නිලදරු භේද අමතක වූ පිරිස එකිනෙකා පෙරළාගෙන පොරකමින් සිර මැදිරිය වෙතට, විජය ළඟට පැමිණ ඔහුට ආචාර සමාචාර දක්වන්නට වූ අතර එතුමාව සිප වැළඳ ගැනීමට පවා ඔවුන් පසුබට නොවීය. අවස්ථාව පාලනය කිරීම අසීරු විය. මේ මොහොතේ සිරකරුවන් හා නිලධාරීන් පිරිස ඇමතූ විජය . . .

‘දැන් ඉතින් ඔය සහෝදරවරු කරුණාකරල පහළට බහින්න. නැත්නම් මටත් වඩා කරදර වෙන්නේ මේ නිලධාරි මහත්තයටයි . . .’පැවසීය.

විජයගේ හඬට අවනත වූ පිරිස පහළට බැස ගියේය. මා ප්‍රකෘතියට පැමිණියේ එම මොහොතේදීය. හිරගෙදර නිලධාරීන් හිරගෙදරදී විජයට උදව් උපකාර කරන බවට සැක කර රහස් පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලද්දේ මේ දිනවලදීය. විජයව වැලිකඩ හිරගෙදරට රැගෙන එන ලද දිනයේ සිට එනම් 1982. 11. 25 වෙනි දින සිට 1982. 11. 28 වෙනි දින දක්වා විජය පිළිබඳ බන්ධනාගාර නිලධාරීන් විසින් සටහන් තබන ලද සියලුම රාජකාරි සටහන් පොත්පත්, ලිපි ලේඛන රහස් පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. මෙම පරීක්ෂණයේදී අප නිලධාරීන් දෙදෙනකුගේ රැකියා තහනම් කරන ලද්දේය. මෙම නිලධාරීන් දෙදෙනාට (සෝමවංශ සහ විමලසිරි) විරුද්ධව රහස් පොලීසිය විසින් පවරන ලද නඩුවට හිටපු බන්ධනාගාර කොමසාරිස් ජේ. පී. දෙල්ගොඩ මහත්මා ඇතුළු සාක්කිකරුවන් පනස් දෙදෙනකු (52) නම් කර තිබුණි. එහි ප්‍රථම සාක්කිකරු ලෙස නම් කර තිබුණේ විජයට සිරමැදිරි ආරක්ෂිත රාජකාරි ප්‍රථම වරට ඉටු කිරීමට සිදු වූ මගේ නමය. එම සිවිල් නඩුව ප්‍රථම වරට විනිශ්චය කරන ලද්දේ එවකට හිටපු රජයේ මහා භාරකාරතුමාය. ඉන් පසුව පවත්වන ලද විනය පරික්ෂණය පවත්වන ලද්දේ බන්ධනාගාර අධිකාරිවරයකු විසිනි.

එවකට පැවති ජේ. ආර්. රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කළ ක්‍රමන්ත්‍රණකරුවන් යයි (නැක්සලයිට්වරු) යයි චෝදනා නඟමින් විජය මහත්මා සමඟ සිරගත කරන ලද අනිත් පුද්ගලයන් දෙදෙනා වූයේ යසරත්න අමරතුංග මහතා සහ ජාඇල පීලික්ස් පෙරේරා යන මහතුන් දෙදෙනාය. යසරත්න අමරතුංග මහත්මාව වැලිකඩ හිරගෙදර ‘පී’ වෝඩ් නමින් හඳුන්වන ලද විශේෂ ආරක්ෂිත සිර මැදිරි විස්සකින් පමණ සමන්විත දෙමහල් ගොඩනැගිල්ලේ සිරගත කර සිටි අතර පීලික්ස් පෙරේරා මහත්මාව සිරගත කර සිටියේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේය.

විජය මහත්මාගේ රාත්‍රී ආරක්ෂිත රාජකාරි කටයුතු භාරදීම යෙදී තිබුණේ පස්වරු පහටය. එය වැලිකඩ හිරගෙදර සිරකරුවන් රාත්‍රී කාලයට රැඳවීම සඳහා සිර මැදිරි තුළට දමා වසා දැමීමට පටන් ගන්නා වේලාවයි. සවස 4.45 ට පමණ විජය මහත්මාව වෙනත් සිර මැදිරියක් වෙත රැගෙන යාම සඳහා සහකාර බන්ධනාගාර අධිකාරිතුමා ඇතුළු නිලධාරීන් කීප දෙනකු ‘එච්’ වෝඩ් වෙත පැමිණියේය. දිවා සේවා නිලධාරීන් කීප දෙනකු ‘එච්’ වෝඩ් වෙත පැමිණියේය. දිව සේවා නිලධාරියා වශයෙන් විජයව මෙහි සිට එම සිර මැදිරිය වෙතට රැගෙන යාමේ රාජකාරි කටයුතු (ආරක්ෂණය කිරීමටත්) සඳහා මම ද ඔවුනට එක් වීමි.

එම සිර මැදිරිය තිබුණේ වැලිකඩ හිරගෙය ඇතුළත තවත් තාප්පයකින් වට කර තිබුණු ‘වයි ඕ’ කොටස නමින් හඳුන්වන එම කොටසේද කෙළවර තිබූ සිර මැදිරිය පුංචි කාමර දෙකකින් යුක්ත විය. එක සිර මැදිරියක සිරකරු රැඳවිණි. අනික් කාමරය වැසිකිලි හා ජල පහසුකම් සඳහා වෙන් කර තිබුණි. එසේ වුව ද මෙම සිර මැදිරිය මේ වන විට පරිහරණයට නොගෙන මාස කීපයක්ම අතහැර දමා තිබූ එකකි. එහි ජලනල කැඩී බිඳී ගොස් තිබුණි. විජය මහත්මාව වැලිකඩ හිරගෙදරට රැගෙන ආවේ සවස තුනට පමණය. දැන් පස්වරු පහට ආසන්නය. පැය දෙකක් පමණ සුළු කාලයක් තුළදී එම සිර මැදිරිය වටේට කටු කම්බි ගසා අඩි දොළහක් (12) පමණ උසට ටකරං ද ගසා ආවරණය කර තිබුණි. එම සිර මැදිරිය හඳුන්වන ලද්දේ ‘එස්’ වෝඩ් එක යනුවෙන්. ‘එස්’ වෝඩ් එක පිටුපස තිබුණේ ‘පී’ සිර මැදිරි ගොඩනැගිල්ලය. එහි අනිත් නැක්සලයිට්කරු වන යසරත්න අමරතුංග මහත්මාව සිරකර තිබුණි. එම සිර මැදිරිය කටු කම්බි ගසා ටකරංවලින් ආවරණය කරන ලද්දේ දෙදෙනාට එකිනෙකා පෙනීම වැළැක්වීම සඳහා සහ එකිනෙකා දැක ගනිමින් කතා කිරීම වැළැක්වීම සඳහා විය යුතුය. තවද නිලධාරීන්ට හැර වෙනත් කිසිවකුට එම සිර මැදිරිය වෙතට ළංවීමට නොහැකි වීම සඳහා විය යුතුය.

සිර ගතකර සිටියදී විජය මහත්මාව වැලිකඩ හිරගෙදර තුළදී මුණ ගැසීමට පැවති රජය අවසර දී තිබුණේ හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට පමණි. එම රජයේ නියෝගය පරිදි චන්ද්‍රිකා මැතිනිය පැමිණි පසුව ඒ බව හිරගෙදරින් රහස් පොලීසියට දැනුම් දිය යුතුය. එවිට අඩු තරමින් රහස් පොලිස් නිලධාරින් හතර දෙනකුවත් හිරගෙදරට පැමිණෙති. ඔවුන් පැමිණෙන්නේ කතා පටිගත කරන යන්ත්‍රයක් ද (ටේප් රෙකෝඩරයක් ද) රැගෙනය. වැලිකඩ හිරගෙදර තුළ ටකරං ගසා වට කරන ලද පුංචි මඩුවක් වැනි ස්ථානයකදී චන්ද්‍රිකා මැතිනියට විජය මහත්මාව මුණ ගැස්වීමේ රාජකාරි කටයුතු ඉටු කරන ලද අතර දෙදෙනා අතර ඇතිවෙන කතාබහ, රහස් පොලිස් නිලධාරීන් විසින් පටිගත කරන ලද්දේය. රහස් පොලිස් නිලධාරීන් විසින් පටිගත කරන ලද එම කතාබහ එම නිලධාරීන් විසින් එවෙලාවේදීම හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා වෙත ඉදිරිපත් කරන බව අප හට දැනගැනීමට ලැබුණි. දෙදෙනාගේ හමුවීමට, කතාබහට අවස්ථාව ලැබෙන්නේ විනාඩි විස්සක් වැනි ඉතා සුළු කාලයකි. මෙම කාලය තුළ ද කොටි සංවිධානයේ ප්‍රබල සමාජිකයන් වූ කුට්ටමනී, ජෙගන් හා නිත්‍යනාදන් ඇතුළු ද්‍රවිඩ සැකකරුවන් පනස් දෙදෙනකු ද (52) වැලිකඩ හිරගෙදර විශේෂ සිර මැදිරිවල රඳවා සිටියහ. ඔවුන්ව හමුවීම සඳහා එවකට විපක්ෂ නායකයා වූ ඒ. අමිර්තලිංගම් හා එහි ලේකම්වරයා වූ සිවසිදම්බරම් මහතා ඇතුළු ද්‍රවිඩ දේශපාලන නායකයන් කීප දෙනකු පැවති රජයේ විශේෂ නියෝගයක් රැගෙන වැලිකඩ හිරගෙදරට පැමිණියේය. ඔවුන්ගේ හමුවීමේ රාජකාරි කටයුතු වැලිකඩ සිරගෙදර තුළ කාර්යාලයේදී සිදු කරන ලද අතර, එහි විශේෂත්වය වූයේ ඔවුන් කරන කතාබහ නොඇසෙන දුරකින් බන්ධනාගාර නිලධාරීන් සිටිය යුතු බවට එම රජය පනවා තිබූ නියෝගයයි.

හිරගෙදර මගේ සේවා කාලය තුළදී කිසියම් සිරකරුවකු සිය ඥාතින් හමුවීමේදී ඔවුන් අතර ඇතිවෙන කතාබහ පටිගත කිරීමත්, එම අවස්ථාව බන්ධනාගාර නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට අතිරේකව රහස් පොලිස් නිලධාරීන් විසින් අධීක්ෂණය කිරීමත් මා දුටු ප්‍රථම අවස්ථාව ද සිරකරුවන් හා ඥාතීන් හමුවීමේදී ඇතිවන කතාබහ නොඇසෙන දුරකින් බන්ධනාගාර නිලධාරීන් සිටිය යුතුවීමේ නියෝගයක් තුළදීී එතෙක්, මෙතෙක් ක්‍රියාත්මක වූ ප්‍රථම හා එකම අවස්ථාව මෙයයි. ඒවා ශ්‍රී ලංකාවේ හිරගෙවල් තුළ එතෙක් මෙතෙක් සිදු නොවූ හා සිදු නොකළ ක්‍රියා බව හිරගෙවල් ඉතිහාසය දන්නා නිලධාරින්ගේ අදහසයි. එය ජේ. ආර්. රජය මූලික මිනිස් අයිතිවාසිකම්වලට ගරු කළ හා සැලකූ අපූරුතම ආකාරය මැනවින් ප්‍රකාශිත ඉතිහාස ගත විය යුතු සිද්ධින් විය යුතුය.

විජය කුමාරතුංග මහත්මාගේ රාත්‍රී ආරක්ෂිත රාජකාරි කටයුතුවල ප්‍රථම වටයේ රාජකාරි කටයුතු බාර ගැනීම සඳහා ‘එස්’ සිර මැදිරිය ඉදිරියට අප නිලධාරියකු සුදානම්ව සිටියේය. සිර මැදිරිය වෙත රැගෙන එන ලද විජය කුමාරතුංග මහත්මාව රාජකාරි සටහන් පොතේ මෙසේ සටහන් කර, මවිසින් විජයව එම නිලධාරියාට බාර දුනිමි.

* 1982. 11. 25 දින පස්වරු 5.10 යි. ‘එච්’ වෝඩ් එකේ සිට ‘එස්’ වෝඩ් එක වෙත ආරක්ෂණය කරන ලද විශේෂ සැකකරු අංක 3020 දරන විජය කුමාරතුංග නැමැත්තාව රාත්‍රී සේවා ප්‍රථම වටයේ නිලධාරී බී. සැම්සන් පෙරේරාට බාර දුනිමි.

නි/ෂෙල්ටන් කුරේරා

විජයව සිර මැදිරිය තුළට යවා එම නිලධාරියා විසින් සිර මැදිරියේ දොර ඉබි යතුරු දැමුවේය. වසන ලද මැදිරියේ ලෑලි දොරේ තිබෙන පුංචි කවුළුවෙන් විජයගේ ආකර්ෂණීය වත යන්තමට පෙනුණි. විජයගෙන් ද එම නිලධාරියාගෙන් ද සමුගත් මම බැරක්කයට (නවාතැනට) පැමිණියෙමි. විජය මහත්මාව වැලිකඩ හිරගෙදර සිරගත කරන ලද ප්‍රථම දිනයේ එම පැය කීපය තුළ සිදු වූ සිදුවීම් හා ඉන් පසුව සිරගෙදරදී විජය මහත්මා පිළිබඳ අත්දැකීම් ද සුවඳ හම හමා මා මතකයට පැමිණ විජය ජීවමානව සිය සහෘදයන් අමතන අයුරු මැවී පෙනෙන විට පැවසිය නොහැකි වේදනා යහුලකින් හද පතුල දෙදරුම් කා සිදුරු වී යයි.

විජය මහත්මා හිරගෙදරින් නිදහස් වී ගිය පසුව - විජය බන්ධනාගාර නිලධාරීන් පිළිබඳ හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහත්මා සමඟ පවසා ඇති අදහස් පිළිබඳ ගාමිණී ෆොන්සේකා මහත්මා විසින් ‘පූජිත ජීවිත’ පස්වන කලාපයට (1994) මෙසේ ප්‍රකාශ කර ඇත.

* ඔවුනට මුරකාවල් යෙදූ නිලධාරීන් තුළත් සැඟ වී තිබුණු ලොව නොදන්නා යහපත්කම් ගැන ඔහු වදන් සිය ගණනක් ප්‍රකාශ කර ඇත.

* සරසවිය පුවත්පත

1995. 10. 13

මනුෂ්‍ය දයාව පිරුණ හදවතක් තිබූ විජය, අප පිළිබඳ එවැනි යහපත් ප්‍රකාශයක් කර තිබීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ට ගෞරවයකි, සතුටකි.

සිය ජාතියට පමණක් නොව වාදභේදවලින් තොරව ලෝකවාසී සියලු සත්ත්වයන්ගේ සාමය, සමාදානය හා විමුක්තිය උදෙසා ඇප කැප වී ක්‍රියා කළ මනුෂ්‍ය දයාවට දිවි දුන් විරුවාණෙනි, සහෘදයාණෙනි, ඔබ හට නිවන් සුව පතමි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව